HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ විද්වතුන්ගේ පරිසර දැනුමට අභියෝග කළ දාරළුවේ කෲඩියා සිලනිකා

කෲඩියා සිලනිකා මැරිලා ඉපදිලා අපට හොඳ පරිසර පාඩමක් කියලා දුන්නා කියලයි මට හිතෙන්නේ. අපේ රටේ උගතුන්ගෙ වුනත් පරිසර සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක තියෙන බවත්, ඔවුන් අපේ පරිසරයට ආදරෙයි කියන්නේ පට්ටපල් බොරුවට බවටත් පෙන්නලා දුන්නා. ඒ වගේ ම ඇත්තට ම අපේ රටට, ගහකොළවලට ආදරේ අය කවුද ? ඒ අය ඉන්නේ කොතැනද ? කියලා අපට පෙන්නල දුන්නා.
ගස ගැන මුලින් හෙළි කළ ඩිල්රුවන් ජයසිංහ සහ කෲඩියා සිලනිකා ශාකය

අපේ 13 වසරේ දරුවන්ට ජීව විද්‍යාව උගන්වද්දී ලෝකයෙන් ම වඳවී ගිය (Extinct) ශාකයකට නිදසුනක් ලෙස මේ කෲඩියා සිලනිකා දක්වා තියෙනවා. මෙය කර ඇත්තේ 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) වඳවී ගිය ශාකයක් ලෙස දක්වා ඇති බව උපුටාා දක්වමින්. 2012 ජාතික රතු දත්ත නාමාවලියේත් මෙය වඳ වී ගිය ශාකයක් ලෙස දක්වා තියෙනවා. 

මෑත දී මේ වර්ගයේ ගසක් පිළිබඳ තොරතුරු හෙළි කර ගෙන ඇත්තේ අපේ පරිසරවේදී හිමේෂ් ඩිල්රුවන් ජයසිංහයි. මේ බව අපි ‘මල් කැකුළු’ තුළින් හෙළි කළා ඔබට මතක ඇති. මධ්‍යම පරිසර අධිකාරිය කඩවත සිට මීරිගම දක්වා හැදෙන අධිවේගී මාර්ගයට හසුවන ප්‍රදේශය පිළිබඳ පරිසර තත්ව වාර්තාවක් මාර්ගය මනිද්දී ලබා ‍ගෙන තිබුණා. ඒ අනුව ඒ මාර්ගය ඉදි කිරීමෙන් පරිසරයට හානියක් නැතැයි තහවුරු කර තිබුණා. ඒ වන විට පාර හදන්නට පටන් අරන් නොතිබුණු නිසා 2019 දි මධ්‍යම පරිසර අධිකාරිය යළිත් වෙනත් පිරිසකට පැවරුවා ඉක්මනින් ම පරිසර වාර්තාවක් දෙන්න කියා. ඒ පිරිසේ එක් අයෙක් තමයි, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ. කලින් මේ ගැන වාර්තා සැපයූ පරිසරවේදී විශේෂඥයන් මෙන් නොව පරිසර‍යට ආදරය කරන සැබෑ පරිසරවේදියකු වන ඩිල්රුවන් තමයි, මේ ගණයේ ගස් දෙකක් එකම තැන තියෙන බව මුලින් ම හඳුනා ගෙන තියෙන්නෙ. 

පරිසරවේදී නීතිඥ ජගත් සහ ගම්පය වනජීවී නිලධානි දේවානි

හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ, සිය වාර්මාර්ග ඉංජිනේරු වෘත්තිය අතහැර පරිසරවේදියකු බවට පත් වූ අයෙක්. ශ්‍රී ලංකාවේ සමනල්ලු ගැන ඉංග්‍රීසියෙන් සවිස්තරාත්මක පොතක් පළ කළ අයෙක්. ඔහු මේ ගැන දැනුම් දුන් පසු මාර්ගයේ වැඩ නැවැත්තුවා ඒ ගහ තවදුරටත් හඳුනා ගන්න මල් පිපෙනතුරු. ජාතික ශාකාගාරය කරන පරීක්ෂණ නිම වනතුරු මාර්ගයේ ඒ කොටසේ වැඩ නතර කෙරුණා. 

පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන කියන්නේ මෙවැනි දුර්ලභ ශාකයක්, වන සත්ව ආඥා පනතේ 42 වැනි වගන්තිය යටතේ ඇති වන උපලේඛනය අනුව ආරක්ෂිත ශාකයක් ලෙස නීතියෙන් රැකවරණ සලසා ඇති නිසා එවැන්නක් කැපීම හෝ විනාශ කිරීම හෝ දඬුවම් දිය හැකි වරදක් බවයි. 

අප රටට ආවේණික දුර්ලභ ඒකදේශීය ශාකයක් වුවත්, රනිල කුලයේ ශාකයක් ලෙස පසට නයිට්‍රජන් එක් කිරීම හැරෙන්නට පරිසරයට වෙනත් ප්‍රයෝජනයක් මෙයින් නැති බවත්, ගැමියන් මේවා භාවිත කර ඇත්තේ දරට පමණක් බවත් කියන පේරාදෙනියේ ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය ජනරාල් ශිලෝමී අරැල්චෙල්වි ක්‍රිෂ්ණරාජා මේ එතැනින් ඉවත් කිරීමේ වරදක් දකින්නේ නැහැ. ඇයට ඉන්දියාවේ හරියානා කෘෂිකාර්මික විශ්ව විද්‍යාලයෙන් ජෛවී තාක්ෂණය පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙනවා. ඒ නිසා ඇය මෙවැනි ජෛව අගය නොදන්නේ යැයි සිතිය නොහැකියි. ඇය කියන්නේ මේ ශාකයෙන් තවත් පැල රෝපණය කර ගෙන ඇති නිසා දැන් වඳවී යාමේ තර්ජනයක් නෑ කියලයි. 

දාරළුවේ කෲඩියා සිලනිකා සාංඝික කළ අවස්ථාව

කාලයක් තිස්සේ පරිසරයට අහිමි වී තිබුණු ගහක්, ශ්‍රී ලංකාවට අවේණික වූ ගසක් යළි හමුවීම අපට නම් ඇඟකිලිපොළා යන සතුටක් ගෙන දෙන දෙයක්. ඒ සතුට අපේ පරිසරවේදීන්ටත් දැනුණා. ඒත් සතුට ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂවරියට නොදැනුන එක නම් අපට පුදුමයක්. ඇය ඒ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇත්තියක්. ඇගේ ඒ අදහස් දැක්වීම ගැන පරිසරවේදීන්ටත් අපට බියක් ඇති වුණා, ඒ නිසා ම දාරළුවේ කෲඩියා සිලනිකාට මාරයා අතවනනවා වගේ අපට දැනුණා. 

පරිසර තත්ව වාර්තා හා පරිසරවේදීන්ගේ ඉල්ලීම් නොසලකා හරිමින් මේ ගස උගුල්ලා ගෙන ගොස් වෙනත් තැනකට ගෙන යන්නට සූදානමක් ඇති බව දැනගත් ‍ගම්පහ වන ජීවි නිලාධාරිනි දේවානි ජයතිලක වහාම එහි ගියා. ඒ වන ඒ ගස අවට බුල්ඩෝසරයකින් ශුද්ධ කරමින් තිබුණා. ඇය ඒ පිළිබඳ නීතිය පහදා දී ඇගේ බලතල භාවිතා කොට එයට තහංචි පැනෙව්වා. ඇගේ දෙපාර්තමේන්තු ප්‍රධානියා වූ ආචාර්ය චන්දන සූරියබණ්ඩාර පවා ඒ වන විට ඊට අනුමැතිය දීලයි තිබු‍නේ. ඒත් දේවානි ඇ‍ගේ මතයේ සිට කටයුතු කළා. 

අප මේ ගැන කලින් ‘මල්කැකුළු’ තුළින් ඔබට කියා තිබුනත්, දේවානිගේ මේ මැදිහත් වීමෙන් පසුව තමයි, මුළු රට ම කැළමුණේ. පරිසර ඇමතිතුමාත් ලේකම්තුමාත් අදාළ නිලධාරිනුත් ඇවිත් බැලුවා. අගමැතිතුමා, හිටපු ජනාධිපතිතුමා පවා ඒ ගස දැක ගන්නට පැමුණුණා. පරිසරවේදීන් මොනවා කීවත් මේ ගලවා ගෙන යයි බිය අඩුවු‍ණේ නැති නිසා ස්වාමීන් වහන්සේලා ගස සොයා ගෙන ඇවිත් පිරිත් කියලා ගස සාංඝීක කළා. සඟ සතු දේපළක් නිසා දැන් ගහ ගෙනියන්න ගිහියන්ට පුලුවන් කමක් නැහැ. එහෙමයි ඒ දුර්ලභ ශාකය රැක ගන්න කවුරුත් උත්සුක වුණේ. දැන් අධිවේගී මාර්ගය ගහ මඟ හැර යාවි. මේ විදියට බේරුණත් වෙන් තැන්වල සිදුවන අපේ පාරිසරික විනාශය නම් අඩුවෙන්නේ නැහැ. පරිසරය වනසන එක දේශපාලනඥයන්ටත්, ආත්මාර්ථය පෙරදැරි කරගෙන වැඩ කරන විද්වතුන්ටත්, සල්ලිකාරයන්ටත් සෙල්ලමක් වෙලා. 

මේ විදියට බෝ ගහක් මඟ මඟ හැර ගිය මහපාරක් ගම්පහ දිස්ත්‍රික්කයෙම තියෙනවා. ඒ ශ්‍රී ලංකාවේ අංක A1 මාර්ගය වූ කොළඹ නුවර පාරයි. නුවර පාරේ කඩවත, රන්මුතුගල, ගෝනහේන බෝධිය ළඟින් නුවර පාර වංගුවක් දමා යන හැටි නුවර පාරේ යන හැමෝම දන්නවා. ඒක මහා මාර්ගයක නිහඬව සිදුවුණු හොඳ දෙයක්. 

ඒත් පරිසරයට බලවතුන්‍ගෙන් නිහඬව සිදුවන හානිය අති විශාලයි. ඒ බව වරින්වර අපේ පරිසරවේදීන් හඬ නඟනවා. ඒ හඬට කන්දී ඔවුන්ට ශක්තියක් වීමට පෙරට එන්න සනිටුහන් කර ගනිමු. කිසිදු ප්‍රතිලාභයක් නැතිව ඔවුන් කරන මෙහෙය අගය කරමු. පරිසරවේදීන් සංවර්ධනයට අකුල් හෙළන අය ලෙස ඔවුන්ට චෝදනා කරන, අමන, කුහක, ඇබ ඇටයක තරම්වත් පරිසරය ගැන දැනුමත් නැති දේශපාලනඥයන් හෙළා දකිමු. බොරුවට නොව ඇත්තට ම අපේ රටට, අපේ පරිසරයට ඇත්තට ම ආදරය කරමු. දාරළුවේ කෲඩියා සිලනිකාව අපට කියා දුන් පාඩම මතක තියා ගෙන පරිසරය ගැන දැනට වඩා උනන්දුවෙන් කටයුතු කරමු. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments