HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද වැලන්ටයින් දිනයයි - ආදරවන්තයන්ට වෙනම දිනයක් අවශ්‍ය ද?

අද පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් දිනය ලෙස සැලකෙනවා. ලෝකයේ හැම දෙයකට ම වෙන්වූ දිනයක් තියෙනවා. ඇත්තට ම කීවොත් එහෙම වෙන් කර ගත්තු හැම දෙයකට ම දිනයක් වශයෙන් වෙන් කළොත්, ඒ ගැන කතා කරන්න අපට දවස් 365 මදි වෙනවා,. ඒ නිසා අවශ්‍ය යැයි හැ‍‍ඟ‍ෙන තැනකදි විතරක් යමක් කියන්න අදහස් කළා. මෙතෙක් ලෝකයේ කිසිම රටක් වැලන්ටයින් දිනය නිවාඩු දිනයක් කර නැහැ. 

ඇත්තට ම අපට වැලන්ටයින් දිනයක් අවශ්‍ය ද? වැලන්ටයින් දිනය සැමරීම නම් අවශ්‍යයෙන් ම කළ යුතු දෙයක් නොවෙයි. එක අතකින් කොරෝනා වසංගතයෙන් එල්ල කරන තර්ජනකාරී තත්වය උඩ ආදරවන්තයන් එක් රැස්වීම නීති විරෝධී වෙනවා. ඒවාගේම, කොවිඩ් - 19 ව්‍යාප්තියට ඉන් බලපෑමක් ඇති විය හැකි නිසා සමාජ විරෝධී වෙනවා. 

ඒත් අපට ඒ නිසා වැලන්ටයින් ගැන නොසලකා ඉන්න බැහැ. ඒ හේතු දෙකක් නිසයි. එකක් අද ‘වැලන්ටයින්’ (Valentine) යන්න ‘ආදරවන්තයා’ හඳුන්වන්න පර්යාය පදයක් (සම අරුත් ඇති පදයක්) වශයෙන් අපේ භාෂාවටත් එක්වී තිබීම. අනෙක් හේතුව වානීජකරණය වී තිබීම. එනම් ව්‍යාපාරික ප්‍රජාව එයත් එක් ජීවනෝපායක් කර ගෙන තිබීම. ඒ නිසා ඔවුන් එයට පාටක් හා හැඩයක් හා වටිනාකමක් දීල තියෙනවා. ඒ අනුව දිනය රතු පාටයි. ආදරය ප්‍රකාශ කරන්න රතු පාට රෝස මලක් දෙන්නේ ඒ නිසයි. හැඩය හදවතයි. හදවත් දෙකක් විනිවිද යන හීයක් යොදන්නෙත් ඒකයි. 

තමන්ගේ ආදරය ප්‍රකාශ කර ගන්න බැරිව ඉන්න කෙනෙකුට මෙයින් හොඳ අවස්ථාවක් ලැබෙනව සන්නිවේදන උපක්‍රමයක් මගින් වක්ක්‍රෝත්තියෙන් ඒක කර ගන්න. එහෙම කෙනෙකුට අවුරුද්දකට සැරයක්වත් එහෙම අවස්ථාවක් ලැබෙන එක කොච්චර හොඳද? ඒ නිසා එදා දවසේ මුල් ම හමුවීම සිදුවන අවස්ථාවේ දී රතු රෝස මලක් දී සුබ පැතීම හෝ ආදරවන්තකම සංකේතවත් කරන සුබ පැතුම් පතක් යැවීම, ඒ වෙනුවෙන් ම විශේෂයෙන් තැනූ චොකලට් එකක් තිළිණ කිරීම කළ හැකියි. 

එහෙමත් නැත්නම්, ඔබ ‘ආදරවන්ත ණයකාරයෙක්’ වෙන්න කැමති නම්, වෙළෙන්දා ආදරවන්තයන් වෙනුවෙන් ම නිපදවා ඇති තිළිණයකින් එය කරන්නත් පුලුවන්. එතැනදි මං දැක්කා වෙළෙන්දන් මේ ‘වැලන්ටයින්’ නාමය යොදා ගෙන ඔබව මාස තුනක් හෝ හයක් හෝ බැඳලා තියා ගන්නත් උගුලක් අටවලා තියෙනවා. ඒ අනුව ඔබට වැලන්ටයින් වෙන්න ඕනෙ නම්, (වයස ප්‍රශ්නයක් නැහැ), ‘මේ ඔබේ වැලන්ටයින්ගෙන්’ (from your valentine) කියලා ‘ග්‍රීටිං කාඩ්’ එකකුත් එක්ක ලක්ෂ ගණනක් වටිනා තිළිණයක්, ඔබ ඉදිරියේ දී මුදල් ගෙවන පොරොන්දුව පිට credit card එකක් පාවිච්චි කරල ගෙදර ඉඳන් ම යවන්නත් පුලුවන්! ඒක ඔබට කවදත් ආදරේ  වෙළෙන්දා ගෙන් ඔබට ම ලැබෙන ‘උදාර’ සේවාවක්. 

ඔබට වැලන්ටයින් වීමට කෙනෙක් නැත්නම් ඒ වෙනුවෙන් ම විශේෂයෙන් නිපදවා ඇති තිළිණයක් අර ගෙන ඔබට ම තිළිණ කර ගෙන සතුටු වෙන්න! වෙළෙන්දා ඒකෙනුත් සතුටු වෙයි! 

දැනට ඒ ඇති! මෙතැන් සිට වැලන්ටයින් දිනය හා සම්බන්ධ ඉතිහාස ගත කරුණු කීපයක් ඔබේ විස්මය පිණිස කෙටියෙන් කියන්න මං කැමතියි. 
පෙම් හසුන් ලියන උපකරණය සහිත සාන්ත වැලන්ටයින් පියතුමා

වැලන්ටයින් දිනයට නම ලැබුණේ කොහොමද? 

ඒක ක්‍රිස්තු වර්ෂ තුන් වැනි සියවස තෙක් දිව යන කතාවක්. වැලන්ටයින් දිනය නම් කර ඇත්තේ දෙවන ක්ලෝඩියස් කියන රෝම අධිරාජයා විසින් වැලන්ටයින් පියතුමා ඝාතනයට ලක් කළ දිනය හැටියටයි. පසුව සාන්තුවරයෙකු බවට පත් කරන ලද ඒ පියතුමා ඝාතනය කෙරුණේ මක් නිසාද? ඒ අධිරාජයාගේ කාලේ රෝම හමුදාවේ සොල්දාදුවන්ට විවාහ වීම තහනම් කර තිබුණා. විවාහය නිසා සොල්දාදුවකු දුර්වලයෙකු වන්නේ යැයි ඔහු විශ්වාස කළ නිසයි. ඒක අසාධාරණයක් යැයි සිතූ එකල විසූ වැලන්ටයින් නමි පූජකවරයකු හොර රහසේ ඔවුන් විවාහ කරන්නට පටන් ගත්තා. ඒ බව දැන ගත් පසු දෙවන ක්ලෝඩියස් අධිරාජයා කළේ එතුමන්ව සිරකර තැබීමට නියම කිරීමයි. 

දේව බලයෙන් ලෙඩ හොඳ කිරීමේ හැකියාවක් ඒ වැලන්ටයින් පියතුමාට තිබුණා. එතුමාගේ මේ හැකියාව නිසා සිරගෙදර රැකවලුන්ගේ රෝගාබාධ සුව කිරීමෙන් ඔවුන්ගේ සිත් දිනා ගන්නට සමත් වුණා. එතුමා සිරගෙදර ප්‍රධාන රැකවලාගේ දෑස් අන්ධ දියණියට දේව බලයෙන් පෙනීම ලබා දීලා තියෙනවා. ඒ අනුව ඔවුන් අතර රහස් පෙම් සබඳකමක් ඇති වුණා. වැලන්ටයින් පියතුමා රහසේ පෙම්වතිය හමු වූ අවස්ථාවක් ඇගේ පියාගේ අතටම අසු වුණා. එයින් කෝපයට පත් ඔහු රහසේ ම වැලන්ටයින් පියතුමා ඝතනය කළ බවයි, එක් ප්‍රවාදයක සඳහන් වන්නේ. එය තහවුරු වී තියෙන්නේ මරණයට යාමට පෙර දියණියට ලියූ ආදර හසුනක අගට ‘මේ ඔබේ වැලන්ටයින්’ (Your Valentine) කියා ලියා ‍තිබීම නිසයි. තවත් තැනක කියැවෙන්නේ, අධිරාජයාගේ නියෝගය කඩ කිරීම නිසා කරවූ ඝාතනයක් ලෙසයි. එදා එතුමා ලියූ ‘මේ ඔබේ වැලන්ටයින්’ යන වැකිය අද ලොව පුරා මලියන ගණනක් දෙනා අතර භාවිත වන ආදරණීය වදනක් වෙලා හමාරයි. 

> 1477 දී ලියන ලදැයි සැලකෙන පැරණිතම ඉංග්‍රීසි බසින් ලියැවුණු වැලන්ටයින් පණිවිඩය

වැලන්ටයින් දිනය පෙබරවාරි 14 වුණේ කොහොමද? 


වැලන්ටයින් පියතුමා ඝාතනය කරන්නට බොහෝ කලකට පෙර ආදි රෝමයේ පෙබරවාරි 14 දිනය සාඵල්‍යතා දිනය ලෙස සලකා පුද පුජා ආදී වතාවත් පවා කරලා තියෙනවා. පෙබරවාරි 13-15 අතර පැවැත් වූ මේ පිළිබඳ උත්සවය හඳුන්වා ඇත්තේ ‘ලුපකැලියා’ (Lupercalia) කියායි. එහි දී එළුවකු හා බල්ලකු මරා බිලි පූජාවක් කර දරුඵල නැති නිරුවත් කාන්තාවන්ට සමින් කළ කසයකින් පහර දෙනවා. එයින් අපේක්ෂා කෙරුණේ වැඩියෙන් දරුඵල ලැබීමයි. පස් වැනි සියවසේ දී පළමුවන ගෙලසියස් (Pope Gelasius) පාප් වහන්සේ විසින් ඒ උත්සවය තහනම් කොට ඒ වෙනුවට පෙබරවාරි 14 වැනි දින සාන්ත වැලන්ටයින් සැමරීමේ දිනය ලෙස පැවැත්වීමට නියෝග කොට තියෙනවා. එදා තමයි දැන් තියෙන වැලන්ටයින් දිනය ඇති වුණේ. 

කාලයාගේ ඇවෑමෙන් වැලන්ටයින් දිනයට විවිධ අරුත් එක් වුණා. නෝමන්වරුන් මෙය සමරා ඇත්තේ ගැලටියන් දිනය (Galatin) ලෙසයි. (ගැලටියන් යනු ‘ස්ත්‍රීලෝලියා’යි) ඒ වගේ ම 14 සියවසේ අග භාගයේ දී ජ්‍යොෆ්රි චෝසර් ලියූ ‘කුකුළු පාර්ලිමේන්තුව’ (Parliament of Fowls,) නම් කාව්‍ය සංග්‍රහයේ ‘ලව් බර්ඩ්ස්ලා’ වැලන්ටයින් දා ඔවුන්ගේ සහකාරියන් තෝරා ගත් බව කියැවෙනවා. මේ දිනය ආදරයට ම වෙන්වූ දිනයක් වූ 16 වන සියවසේ අග භාගයේ දී මහා නාට්‍යකරු විලියම් ෂේක්ස්පියර්, ඔහුගේ හැම්ලට් නාට්‍යයේ ඔපීලියාගේ මරණය හැඟවීමට පෙරනිමිත්තක් ලෙස වැලන්ටයින් දිනය යොදා ගැනීමෙන් පසුවයි. 

වර්තමානයේ දී වැලන්ටයින් දිනය හා බැඳුණු විස්මිත දෑ රැසක් තියෙනවා. ඉන් බොහොමක් රතු පාටටත්, රෝස මලටත්, රුධිරයටත් සමිබන්ධයි. මල්වලටත්, මල් සරාටත්, හදවත් සංකේතයටත් ඇති සම්බන්ධතාව පසුගිය සියවස පුරා ම දිගට ම තෑගි දීමට පවත්වා ගෙන මේ දිනය එකවර ම අතීතයේ දී මෙන් රුධිර වගුරුවන දිනයක් බවටත් පත් වුණා. ඒ දිනය මුල් කර ගෙන එවැනි සමූහ ඝාතන රැසක් බටහිර රටවලින් වාර්තා වෙනවා. ලේ වගුරුවනවාට වඩා තෑග්ගකින් හෝ හාද්දකින් ඒක සමරන එක කොච්චර හොඳද!. 

බටහිර රටවල වැසියන් නත්තලට ඇරුනා ම වැඩියෙන් ම මුදල් වැය කරන්නේ වැලන්ටයින් දින තෑගිවලටයි. එයින් ඔවුන් රසකැවිලිවලටත්, මල්වලටත් විශාල මුදලක් වැය කරනවා. ඉන් වැඩිම මුදලක් වැය කරන්නේ ඇමෙරිකානුවන්. එයිනුත් ඔවුන් වැඩි ම මුදලක් වැය කරන්නේ ස්වර්ණාභරණ වලටයි. 2020 දී ඔවුන් ඒ සඳහා ඩොලර් බිලියන 5.8ක් වැය කළා. ඊළඟට වැඩියෙන් ම ඔවුන් වැය කළේ 2020 වසරේ වැලන්ටයින් දා හැන්දෑවෙ යි. ඒ ඩොලර් බිලියන 4.3ක්. ඒ රෙදිපිළි, රසකැවිලි හා මල් ආදිය සඳහායි. 

ඇමරිකාවේ සුරතල් සතුන්ටත් වැලන්ටයින් දිනය විශේෂයි! 

ඇමරිකානුවන් වසරකට 14 කෝටි 50 ලක්ෂයක් වැලන්ටයින් සුබ පැතුම් පත් යවනවා. වැලන්ටයින් දින ආදර තෑගිවලට ඩොලර් බිලියන ගණන් වැය කරනවා. 2020 ඔවුන් වැය කළ ගණන ඩොලර් බිලියන 27.4ක්. ඔවුන් සිය සුරතල් සතුන්ටත් වැලන්ටයින් තෑගි දෙනවා. ඇමරිකානුවන් මිලියන 27.6ක් දෙනා පසුගිය වසරේ වැලන්ටයින් තෑගි සුරතල් සතුන්ට දුන්නා. එයින් බළලුන්ට විතරක් තෑගි පාර්සල් මිලියන 17.1ක් දීලා තියෙනවා. ඒ වැලන්ටයින් දා සිදු කෙරෙන ප්‍රධාන ම කටයුත්ත වන්නේ විවාහ ගිවිස ගැනීම් තමයි. වසරකට ඇමරිකාවේ විතරක් තරුණ ජෝඩු 60 ලක්ෂයක් විතර විවාහ ගිවිස ගන්නවා. 

 - පර්සි ජයමාන්න 


Post a Comment

0 Comments