HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නිදහස් ලංකාවේ ප්‍රථම අගමැතිකම සර් ඩී. බී. ජයතිලකට හිමි නොවූයේ ඇයි?

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ ඩී. ඇස්. සේනානයක මහතායි. එහෙත් ලංකාවට නිදහස ලබන්න පෙරාතුව ඒ ආසන්න සමයේ මෙරට බොහෝ ගිහි පැවිදි විද්වතුන් හා පඬිවරුන් සිතා සිටියේ ඊට පත් වන්නේ සර් ඩී. බී. ජයතිලක මහතා කියායි. ඒ යුගයේ සිටි මහා පඬිවරයා වූයේ ද ඒ මහතායි. ඒ මහතා ෂඩ්භාෂා පරමේශ්වරයෙක්. පුරාවිද්‍යාව, ඉතිහාසය, සාහිත්‍යය, නීතිය, බෞද්ධ දර්ශනය ආදී විෂයයන් අතැඹුලක් සේ දත් දුර්ලභ ගණයේ පඬිවරයකු වූ නිසා එකල සමාජයේ උගත් පරපුර එසේ සිතීම සාධාරණය. ඒ නිසා ම ඒ තරමට උගත්කමක් කොහ‍ෙත්ම නැති ඩී. ඇස්. සේනානායක මහතාට එය ලබා ගැනීමට හැකි වෙතැයි කිසිවකු නොසිතීම ද සාධාරණ ය. එහෙත් එය එසේ වූයේ කෙසේද? 
සර් ඩී. බී. ජයතිලක මැතිතුමා

ලංකාව ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක් ව පැවති යුගයේ දී අත්තනගල්ලෙන් කැලණියේ වරාගොඩට පැමිණි දොන් දානියෙල් ජයතිලකට හා එළිසියානා පෙරේරා වීරසිංහ මාතාවට 1868 පෙබරවාරි 13 වැනිදා උපන් දරුවාට නම තැබුවේ බාරොන් කියායි. ඒ අනුව ඔහු දොන් බාරොන් ජයතිලක විය. 

ඔහුට අකුරු කියවනු ලැබුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණෙහි විසූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් විසිනුයි. 1874 දියි. කැලණියේ වරාගොඩ බැප්ටිස්ට් මිෂනාරි පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. ඉංග්‍රීසි භාෂාවෙන් මිෂනාරි අධ්‍යාපනය ලැබීම නිසා දරුවා බුදුදහමෙන් ඈත් වෙතැයි බිය ට වූ දෙමාපියන් ධර්මාරාම නාහිමියන් යටතේ ධර්ම ශාස්ත්‍ර හැදෑරීමට යැව්වා. දිනක් බාරොන් ජයතිලක දරුවා නාහිමියන් වැඳ නමස්කාර කර තමන්ට මහන වෙන්න අවශ්‍ය යයි කීවා. උන්වහන්සේ දරුවා උපන් අවස්ථාවේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කර බලා දෙමාපියන්ට කී කතාව යළිත් මෙනෙහි කොට හුනස්නෙන් නැඟිට ඉදිරියට විත් තමන්ගේ දීප්තිමත්ම ශිෂ්‍යයාගේ හිස අතගා මෙහෙම කීවා. 

‘බාරෝ! උඹ මහණ වෙන්න එපා! උඹ රජවෙනවා’ කියා දරුවාට ආශිර්වාද කළා. ඒ වෙන කොට ඔහු ධර්මාරාම නාහිමියන් වෙතින් සිංහල, පාලි සංස්කෘත යන භාෂාත්‍රයෙන් සමතකු වී සිටියා. නාහිමියන් ගේ උපදෙස් මත ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ වෙස්ලි විද්‍යාලයට බැඳුණා. එහිදී ඔහු ග්‍රීක්, ලතින් හා ඉංග්‍රීසි භාෂාත්‍රය‍ෙන් ද සමත් වුණා. ඉන්පසු ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ විභාග උසස් ලෙස ජය ගත්තා. 

ඔහුට ඉන්ජිනේරුවකු වීමේ අභිලාෂයක් තිබුණ ද වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු නොවුණේ ඒ කාලේ යටත්විජිත යුගයේ මෙරට ඇති වූ බොදු පුනරුදය නිසයි. නව යොවුන් වියේ දීම ඔහුගේ සිත ඇදී ගියේ එතෙක් පැවති මිෂනාරි අධ්‍යාපනය වෙනුවට බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම කෙරෙහියි. එකල ඔහු තමා ඇසුරු කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ශ්‍රී ධර්මාරාම, වස්කඩුවේ ශ්‍රී සුභූති, වැලිගම ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි මා‍හිමිවරුන්ද සමග දොන් අන්ද්‍රියස් ද සිල්වා බටුවන්තුඩාවේ, දොන් කරෝලිස් හේවාවිතාරණ, දොන් ස්ටේපර් සේනානායක, තෝමස් අමරසූරිය, ජෙරමියස් ඩයස්, ශ්‍රී චන්ද්‍රශේඛර ඇතුළු ගිහි උතුමන්ද ඒක රාශී කර ගෙන කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමය පිහිටුවීමට පුරෝගාමී වුණා. 1880 දී ඇමෙරිකාවේ සිට මෙහි පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් හා එතුමන්ගේ භාෂා පරිවර්තක වූ අනගාරික ධර්මපාලයන් ද මේ සඳහා මුල සිටම ඔවුන් දිරිමත් කළා. 

ලංකා දේශපාලන ඉතිහාසයේ ඔටුනු නොපළන් කුමාරයා (ඉරිදා ඔබ්සර්වර් ඉංග්‍රීසි පුවත්පතේ පළ ලිපියක්. (වමේ) ජයතිලක මහතා තරුණ වියේදී.

පරමවිඥානාර්ථ සමිතිය විසින් කොළඹ, මහනුවර, ගාල්ල වැනි නගරවල බෞද්ධ විද්‍යාල ආරම්භ කිරීමේ දී උරදුන්නේ තරුණ ජයතිලකයි. ඒ නිසා ම මහනුවර උසස් බෞද්ධ විද්‍යාලය (පසුව ධර්මරාජ විද්‍යාලයය) පවත්වා ගෙන යාම ඔහුට බාර වුණා. ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරමින්, කඳුකරයේ බෞද්ධයන් ඒකරාශී කර ගනිමින්, අරමුදල් රැස්කරමින් එය දියුණු කරන්නට කටයුතු කළා. ඒ කාලයේ දී ම වන විට ඔහු කල්කටා විශ්ව විද්‍යාලයෙන් ලතින් හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ බී. ඒ. උපාධිය ලබාගෙන තිබුණා. 1890 දී ඔහු එහි ප්‍රථම විදුහල්පති ලෙස වැඩ බාර ගන්නා විට යම්තම් අවුරුදු 21ක් පිරුණා විතරයි. 

ධර්මරාජ විදුහලේ කටයුතු කරන අතර ඔහු සත්‍යෝදය කියා පුවත්පතක් ද සතිපතා පළ කළේ කඳුරට බෞද්ධ ප්‍රබෝධය උදෙසායි. ඔහුට බාර වූ ධර්මරාජ විදුහලේ දියුණුව ගැන පැහැදුණු පරමවිඥානාර්ථ සමිතිය විසින් 1898 දී ඔහු කොළඹ ආනන්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් පත් කරනවා. ඒ වසරේ දී ඔහු බෞද්ධ තරුණයන් එක් රැස් කර ගෙන කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භ කරනවා. ඔහු ඒ තනතුර මියයනතුරු වසර 44ක් ම දැරුවා. 

1898 දී ඩී. බී. ජයතිලක මහතා විවාහ වූයේ ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ දොන් අන්ද්‍රියස් ද සිල්වා බටුවන්තුඩාවේ මහතා එකම දියණිය වූ මල්ලිකාවන් සමගයි. ඔවුන්ට දරුවන් නොසිටි නිසා ඇය සිය සොහොයුරාගේ දරුවන් වූ ආනන්ද හා උපාලි දරුවන් සේ හදා වඩා ගත්තා. 

ඩී. බී. ජයතිලක මහතා ප්‍රථම විදුහල්පති පදවිය 
හෙබ වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයය

1902 දී පරමවිඥානාර්ථ බෞද්ධ සමිතියේ සාමාන්‍යාධිකාරි තනතුරටත්, පසුව 1908දී ප්‍රධාන ලේකම් ධුරටත් පත් කරනු ලැබුවා. ඒ සමග ඔහුට රාජකීය ආසියාතික සංගමයේ හා ප්‍රාචීණ භාෂෝපාකාර සමිතියේත් ඒ සමග ම සිංහල ශබ්දකෝෂ සම්පාදක මණ්ඩලයේත් සමාජිකත්වය පිරිනැමුණා. ඒ වගේ ම සිංහල ශබ්දකෝෂයේ ආරම්භක සභාපතිවරයා වූයේත් එතුමායි. 

1910 වසරේ දී ජාත්‍යන්තර සමුළුවක දේශනයක් සඳහා එංගලන්තයට ජයතිලක මහතා එහි නැවතී ඔක්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඇම්. ඒ. උපාධියත් ලින්කන්ස් විද්‍යාලයෙන් නීතිවේදී උපාධියත් ලබා අධිනීතීඥයකු ලෙස දිවුරුම්දී 1913 දී යළි මව්බිමට ආවා. 

ඒ වන විට ඉංග්‍රීසි ආණ්ඩුව රටපුරා ව්‍යාප්ත කර තිබූ සුරාව නිසා ඇතිවෙමින් තිබූ පරිහානිය හේතුවෙන් ජාතිමාමක පිරිස් පෙළ ගැසෙමින් තිබුණා. අමද්‍ය ව්‍යාපාරයත් රට නිදහස් කර ගැනීමේ අරගලයත් එක විට ඇරඹී තිබුණා. ජයතිලක මහතාත් ඊට එක්වුණා. එහි වැඩි බලයක් තිබුණේ සිංහල ‍බෞද්ධයන්ටයි. 

1915 දී ඇතිවූ සිංහල - මරක්කල කෝලාහලය යටතේ ඉංග්‍රීසීන්ට එරෙහි යැයි සිතන හැම නායකයකු ම සිරභාරයට පත් කරන්නට ඉංග්‍රීසි ආණ්ඩුව ක්‍රියා කළා. ඒ අනුව ඩී. බී. ජයතිලක මහතාටත් සිරබත් කෑමට සිදු වුණා. ටික කලකින් නිදහස් වී පැමිණෙන ඩී. බී. ජයතිලක මහතා ප්‍රමුඛ නායකයන් එක්ව 1923 දී පිහිටුවා ගත් ලංකා ජාතික සංගමයේ සභාපති පදවිය හිමි වූයේ ඩී. බී. ජයතිලක මහතාටයි. ඊළඟට 1931 දී ආරම්භ කෙරුණු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණිය මන්ත්‍රීවරයා ලෙස පත් වුණා. ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ධුරයත්, ස්වදේශ කටයුතු අමාත්‍යධුරයත් දෙකම දැරුවේ එතුමායි. 1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ධුරයත් එතුමාට ම හිමි වුණා. 

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණයෙන් පසු කොත් පැලඳවීමේ වරප්‍රසාදට හිමි වූයේ ද ඩී. බී. ජයතිලක මහතාටයි. 

දේශපාලන හා සමාජීය කටයුතු කෙතරම් බහුල වුවත් ශබ්දකෝෂයේ කටයුතුවලට නොවැරදීම සහභාගි වුණා. ශබ්දකෝෂයට වදන් සෙවීමේ පැරණි සිංහල පොත පරිශීලනය කරද්දී අතින් පිටපත් කිරීම නිසා සිදුව තිබූ දෝෂ වටහා ගත් එතුමා ඒ පැරණි ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ශුද්ධ කොට මුද්‍රණය කරවීම නිසා ශබ්දකෝෂයේ කටයුතු පහසු වුණා. එතුමා එසේ නොකරන්නට අද අපට ඒ පැරණි ග්‍රන්ථ බොහොමයක් පරිහරණය කරන්නට නොලැබීයන්නට ඉඩ තිබුණා. 

වතුකරයේ පුහුණු වන්නට ඕස්ට්‍රේලියාවෙන් ආ වතුපාලකයකු වූ මාක් ඇන්ටනි ලිස්ටර් බ්‍රේස්ගර්ඩ්ල් නම් ඉංග්‍රීසි ජාතිකයා වතුකරයේ කම්කරුවන්ට පාලකයන්ගෙන් සිදු වූ අකටයුතුකම්වලට එරෙහිව කම්කරුවන් දැනුවත් කරන්නට යෙදුණෙන් වතුපාලකයන් මෙන් ම ඉංග්‍රීසි ආණ්ඩුවත් ඔහුට එරෙහිව ක්‍රියා කරන්නට පෙළඹුණා. ඒ වන විට ස්වදේශ ඇමතිවරයා වූයේ සර් ඩී. බී. ජයතිලක මහතායි. එතුමා එංගලන්තයට ගොස් සිටියදී වාචිකව එතුමාගෙන් තමාට ලැබුණු අවසරයක් අනුව යැයි රජයට කියා එවකට සිටි සුදු ජාතික පොලිස්පතිවරයා බ්‍රේස්ගර්ඩ්ල් අත්අඩංගුවට ගත්තා. ඒ පිටුවහල් කිරීමේ අදහසින්. ඒ අනුව ආණ්ඩුකාරයා පිටුවහල් කිරීමේ නියෝගය ලබා දුන්නා. 

කොළඹ ආනන්ද විදුහල

බ්‍රේස්ගර්ඩ්ල් කම්කරුවන්ගේ පැත්ත ගෙන සිටි නිසා කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සමසමාජ පක්ෂයේ නායකයන් ද ඔහුගේ පැත්ත ගෙන ඔහු පිටුවහල් කිරීමේ නියෝගය දුන් ආණ්ඩුකාරයාටත් පොලිස්පති වරයාටත් එරෙහිව නඩු පැවරුවා. ආණ්ඩුකාරයා ඒ විභාග කරන්නට කොමිසමක් පත් කළා. එහි ප්‍රතිඵලය වූයේ හදිසි අවස්ථාවක් නැති විටෙක එවැනි නියෝගයක් දීම නීති විරෝධීයැයි කියා කොමිසම මගින් බ්‍රේස්ගර්ඩ්ල් නිදහස් කිරීමයි. 

එයින් සර් ඩී. බී. ජයතිලකට සිංහල නායකයන් වෙතින් නිකරුණේ අවලාද නැඟුණා. අමාත්‍ය මණ්ඩලයේ සර් ඩී. බී. ජයතිලක වෙනුවෙන් පෙනී සිටියේ ඩබ්ලිව්. ආතර් ද සිල්වා පමණයි. තමා එවැන්නක් නොකළ බව කීම නිසා ඉංග්‍රීසි ආණ්ඩුකාරයාත් නොසතුටුවුණා. කොමිසමේ තීන්දුවට එරෙහිව සර් ඩී. බී. ජයතිලකට පක්ෂව උද්ඝෝෂණයක් පවා කරවන ඩී. ඇස්. සේනානායක මහතා ඉන් අනතුරුව කළ දේ ගැන පිළිබඳව ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ කතුවරයා වූ හේමපාල මුනිදාස මහතා මෙසේ ලියා තියෙනවා. 

‘සර් ඩී. බී. ජයතිලක මහතා මන්ත්‍රී පදවියෙනුත්, ඇමති පදවියෙනුත්, සභානායක පදවියෙනුත් මිදී ගොස් දිල්ලියේ ලංකා මහකොමසාරිස් පදවියේ උඩුමහලට වැටෙන පරිද්දෙන් පයින් ගැසීම වූකලී මේ වියවුල සංසිඳීම සඳහා ඩී. ඇස් සේනානයක මහතා විසින් කරන ලද ගුරුකමය. මින් පසු සභා නායක පදවියත්, ජන නායතක්වයත්, දේශ නායකත්වයත් ඉබේ ම ඩී. ඇස්. කෙරෙහි පැවරුණේය.’ 

ඩී. ඇස්. සේනානායක මහතා කෙළින් ම ආණ්ඩුකාරයා වෙත ළං වී ඉල්ලා සිටියේ අමාත්‍යමණ්ඩලයේ ඇති අර්බූදය විසඳන්නට නම් සර් ඩී. බී. ජයතිලක මහතා දිල්ලියේ ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර යවන ලෙසයි. සර් ඩී. බී. ජයතිලකට ලංකාවේ ප්‍රථම අගමැතිකම වැරදී ගියේත් ඩී. ඇස්. සේනානායක මහතාට අගමැති පදවිය හිමි වූයේත් ඔහුගේ දුරදක්නා කූට බුද්ධිය නිසයි. 

ඉන්දියාවේ දී දරුණු හෘදයාබාධයක් වැළඳුණු සර් ඩී. බී. ජයතිලක මහතාට මිය යන්නට පෙර ලංකාවට ඒමට අවශ්‍ය වුණා. ඒ එන අතර මගදී රෝගය උත්සන්න වූ නිසා ඔහු රැගෙන ආ ගුවන් යානය බැංගලෝර ගුවන් තොටුපෙළට බැස්සවීමට සිදු වුණා. ‘දැන් ලංකාව දැ’යි ඔහු ‍ගුවන්සේවිකාවගෙන් ඇසූ විට ඇය ‘ඔව්!’ යයි කියා තියෙනවා. එතුමා ‘ආ! ලංකාව! ලංකාව!’ කියා සදහටම දෑස් පියා ගත්තා. ඒ 1944 මැයි 31 වැනිදායි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments