HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගුණසේන හෙළදිව මහා පොත්හලේ සියවසක විස්මිත ගමන් මග!

ගුරුළුගෝමී ලාංඡනය

මේ ලාංඡනය දැක්කාම ඔබට මතක් වෙන්නේ මොකක්ද? ඒ ගුණසේන පොතක් බවයි. මේ ලකුණ හොඳ පොතක සංකේතයයි. මේ රූපය පසුපස අපූරු කතාවක් තියෙනවා. ඒකට අපේ සාහිත්‍ය ඉතිහාසයේ දැවැන්තයින් පස් දෙනෙකුගේ හා මෙරට බිහි වූ විශිෂ්ට චිත්‍රශිල්පියකුගේ නම් සම්බන්ධයි. මේ චිත්‍රය ඇන්දේ ජී. ඇස්. ප්‍රනාන්දු. මාර්ටින් වික්‍රමසිංහගේ ‘සාහිත්‍යෝදය කථා’ නම් සාහිත්‍ය විචාර ග්‍රන්ථයේ කවරයටයි. එයින් නිරූපණය වුණේ ලේඛනයේ යෙදෙමින් ඉන්නා ගුරුළුගෝමී පඬිතුමායි. 

ඒ වන විට ගුරුළුගෝමී පඬිතුමාගේ හැඩරුව ගැන කිසි කෙනක් දැන ගෙන හිටියේ නෑ. කිසි තැනක ලිඛිතව සඳහන් වෙලා තිබුණෙත් නැහැ. ඒ නිසා මාර්ටින් වික්‍රමසිංහ සූරීන් එයාගේ ‘සාහිත්‍යෝදය කථා’ නම් කෘතියට කවරය සඳහා ගිහි පැවිදි පඬිවරුන් දෙදෙනෙකු විස්තර පවසා ඒ දෙනාගේ රූප සංකලනය කර එක රූපයක් අඳින්නයි. ඒ ඇඳපු රූපය තමයි, ගුරුළුගෝමී. 12 වන සියවසේ (පොළොන්නරු යුගයේ) විසූ අමාවතුර හා ධර්ම ප්‍රදීපිකාව කළ පඬිවරයා. 

මාර්ටින් වික්‍රමසිංහ හා වී. ඩී. ද ලැනරෝල් දෙන්නා හොඳම යාළුවො. ඒ දෙන්නා දවල් කෑමටයි හවස තේ‍ බොන්ටයි හැමදාම එක් වෙනවා. එහෙම වෙලාවක ලැනරෝල් අහල තියෙනව, මාර්ටින් වික්‍රමසිංහගෙන් ගුණසේන පොත්වලට ලාංඡනයක් සඳහා අදහසක් ගැන. මාර්ටින් වික්‍රමසිංහ ගත් කටට ම කිව්වලු මගේ ‘සාහිත්‍යෝදය කථා’ පොතට ඇඳපු කවරයේ චිත්‍රය ගන්න. ඒකේ ඉන්නේ ගුරුළුගෝමී. කියලා තවත් විස්තර කිව්වලු. 

ඇම්. ඩී. ගුණසේන මහතා

මේ ලාංඡනය නිරූපණය කරන සියක් වස් සමරන,‘හෙළදිව මහා පොත්හල’ යන නමින් පරම්පරා තුනක ජන හද දිනා ගත් ඒ ‘දැවැන්ත’ පොත් ව්‍යාපාරය ආරම්භ කළ තැනැත්තා මහා දැවැන්තයෙතු නොවේ. ඔහු සල්පිටි කෝරළයේ පිළියන්දල නගරයට සමීප වෑවල ගමේ උපන් පුංචි මිනිහෙක්. නමින් මලගලගේ දොන් ගුණසේන (ඇම්. ඩී. ගුණසේන). ඔහු වෑවල රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබ ඉංග්‍රීසි උගෙනුම පිණිස කොළඹ වෙස්ලි විදුහලට ඇතුළත් වුවද ආර්ථික දුෂ්කරතා නිසා එය කර ගෙන යාමට නොහැකි වුණා. 

ඒ නිසා ඔහු අධ්‍යාපනය අතර මග නවතා දමා කො‍ටහේනේ වෙද මහත්තයකු ළඟ වෙදකම ඉගෙනීමට ගියා. එහිදී ඔහුට පාලි හා සංස්කෘත ඉගෙනීමට සිදුවීම නිසා ඊට වෙහෙ‍ෙසනු දුටු කොළඹ නගරයේ ව්‍යාපාරිකයකු වූ ඔහුගේ අයියා ඒ අසීරු කටයුත්ත නවතා දමා වෙළඳාම ඉගෙන ගන්නට යැයි ඔහුට කීවා. ඒ අවස්ථාවේ දී ඔහු එසේ නම් තමා ‘බෝයිස් ඉන්ඩ්‍රස්ට්‍රියල් හෝම්’ ආයතනයට ඇතුළත් කොට මුද්‍රණ ශිල්පය ඉගෙන ගන්නට සලස්වන්නැයි ඉල්ලා සිටියා. ඉන් ලද පුහුණුවෙන් පසු ඔහු පළමු රැකියාව ලෙස තෝරා ගත්තේ එච්. ඇස්. පෙරේරා කර්තෘ ලෙසින් ඇරැඹුණු ‘දිනමිණ’ පත්‍රයේ වර්ණයෝජනයයි. අසනීප වීම නිසා රැකියාව අත හැර ගෙදර ගිය ඔහු යළි කොළඹ ආවේ රජයේ මුද්‍රණාලයට බැ‍ඳ‍ෙන්නයි. එහෙත් එවකට එහි ප්‍රධානියාව සිටි සුදු ජාතිකයා විදේශ ගතව සිටි නිසා ඒ රැකියාව හරි ගියේ නෑ. 

ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය

ඒ නිසා ඔහු අලුත්කඩේ ‘ඉන්ඩිපෙන්ඩන්ට්’ ඉංග්‍රීසි පුවත්පත මුද්‍රණ කළ ආයතනයට බැඳුණා. ඒත් වර්ණ යෝජකයෙකු ලෙසමයි. කල්යත්ම ඔහු මුද්‍රණ අංශයේ හැම කාර්යයක් පිළිබඳවම ලත් දැනුම හා කුසලතාව නිසාත්, ක්ෂේත්‍රයේ ඇසුරු කළ අයගේ ප්‍රසාදය හා විශ්වාසය දිනා ගත් නිසාත්, ඔහුට වේල්ල වීදියේ විජේවික්‍රමගේ ජෝන් අප්පුහාමිට අයත් ‘වික්ටර්’ මුද්‍රණාලයේ කළමනාකාර තනතුර භාර ගන්නා ලෙස ඇරයුමක් ලැබුණා. ඒ නව රැකියාව ඔහු ඉතා සතුටින් බාර ගත්තා. 

ඔහු එහි හැම වැඩක්ම කළා. වැඩ සොයා ගෙන ගියා. කළ වැඩ අනුග්‍රාහකයන්ට ගෙනිහින් දුන්නා. ඒ නිසාම ඔහුට වැඩි වැඩියෙන් ඇණුවුම් ලැබුණා. දවසක් උදේ වැඩට ආවේ 10ට විතර. එ් එසේ වැඩ සොයා ගිය ගමනකින් පසුවයි. ඒ බව නොදැන හදිසියේ එහි ගොඩ වූ හිමිකරු ජෝන් අප්පුහාමි ඔහුට පමාවීම ගැන දොස් කීවා. අවංක අයකු වූ ගුණසේන තරුණයා වහාම ඉල්ලා අස්වීම බාර දී එවේලේ ම ගෙදර ගියා. 

සතියකට පසු ජෝන් අප්පුහාමි තරුණ ගුණසේන සොයා ගියා. තමා කළ වරදට සමාව ඉල්ලූ ජෝන් අප්පුහාමි නැවත වැඩට එන ලෙස ඉල්ලුවා. එත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. අන්තිමේ දී ඒ මුද්‍රණාලය මිල දී ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලුවා. තරුණ ගුණසේන අත ඒ සඳහා මුදල් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු ඒකත් ප්‍රතික්ෂේප කළා. අවසානයේ දී එය බාර ගෙන කර ගෙන යන ලෙසත් එයින් ලැබෙන ආදායමෙන්, කොටස් වශයෙන් ගෙවා එය අයිතිකර ගන්නා ලෙසත් අප්පුයාමි ඉල්ලා සිටියා. එය තරුණ ගුණසේනගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ද වුණා පමණක් නොව එය මෙරට මුද්‍රණ හා ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ පෙරළි රැසක ආරම්භය ද වුණා. 

ඔහු මහත් කැපවීමෙන් හා දිවා රෑ නොලබා වෙහෙසවී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ මුද්‍රණාලය වඩාත් දියුණු වුණා. ඉන්පසු 1913 පෙබරවාරි 1 වැනිදා මුද්‍රණාලය බද්දට ගෙන තමාගේම ව්‍යාපාරයක් සේ කර ගෙන යාමට අවස්ථාව සලසා ගත්තා.1914 ජූලි මාසයේදී ඒ ව්‍යාපාරයට ඔහු අලුතින් තවත් යන්ත්‍රසූත්‍ර එක්කොට ‘නිව් වික්ටර් ප්‍රෙස්’ යනුවෙන් නම් කළා. ඔහු යුග දිවියට එළඹුණේ 1922 දීයි. ඉන් වසර තුනකට පසු, 1925 දී ‘වික්ටර් මුද්‍රණාලය’ සම්පූර්ණයෙන් ම මිලයට ගත් ඔහු එය ‘ඇම්. ඩී. ගුණසේන’ යනුවෙන් නම් කළා. ඉන්පසු මුද්‍රණාලයත් ප්‍රකාශන ආයතනයත්, පොත්හලත් හැඳින්වුණේ ඒ නමින්. 

ප්‍රථම ප්‍රකාශනය

යටත්විජිත සමයේ විසූ බොහෝ තරුණයන් මෙන් ඔහු තුළත් ජාතිමාමකත්වය දැල්වෙමින් තිබුණා. ඒ නිසා ඔහු පොත් ප්‍රකාශනයට හා අළෙවියට අත ගැසුවේ ආර්ථික ප්‍රතිලාභයටත් වඩා දෙසට රැසට බසට කරන සේවයක් හැටියටයි. ඔහු බෞද්ධ පොතපත මුද්‍රණයට වැඩි කාලයක් කැප කළා. දිවයින පුරා පොත් හල් පිහිටෙව්වා. පිටකොටුවේ ඕල්කොට් මාවතේ පිහිටි ප්‍රධාන පොත්හල විශාල කොට, 1963 දී විවෘත කරනු දකින්නට ඔහුට හැකි වුණේ නැහැ. ඔහු 1959 දී මිය ගියා. ඇම්. ඩී. ගුණසේන නමින් ‘හෙළදිව මහා පොත්හල’ ලෙස හැඳින්වුණු තෙමහල් මැඳුරයි. එය එවකට ආසියාවේ ලොකුම පොත්හල් අතරින් එකක් වුණා. 

ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශනයක් ලෙස දොරට වැඩි මුල්ම ප්‍රකාශනය වූයේ වී. ඩි. ද ලැනරෝල්ගේ ‘ළමා කව් මල්දම’ යි. එවකට ප්‍රකට ලේඛක පරපුරක ජ්‍යෙෂ්ඨයා වූ වී. ඩි. ද ලැනරෝල් මහතා ගුණසේන ප්‍රකාශන කටයුතුවල දී ලොකු සහයක් දුන්නා. ඔහු ළමයින් සඳහා පොත් රැසක් ලිව්වා. ප්‍රකාශනය සඳහා එවකට සිටි ප්‍රසිද්ධ ලේඛකයන් හැමදෙනාගේම කෘති ලබා ගත්තා. ගිහි පැවිදි පඬිවරුන් විශාල පිරිසක් ගුණසේන නාමය සමග එක් වුණා. වී. ඩී. ද ලැනරෝල්ගේ කුලුපග මිතුරා වූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තෙවැනි නවකතාව වූ ‘අයිරාංගනී’ මුලින්ම පළ වූයේත් ගුණසේන නාමය යටතේයි. 

වී.ඩී. ද ලැනරෝල් මහතා

මහාචාර්ය ගුණපාල මලලසේකර සූරීන්ගේ ‘මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය’ මුලින් ම එළි දුටවේ ගුණසේන ප්‍රකාශනයක් ලෙසයි. මෙතෙක් යාවත්කාලීන වෙමින් සංස්කරණය වන එකම ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය එයයි. එය අද පාඨකයන්ගේ විවිධ අවශ්‍යතා සපුරා ලන ශබ්දකෝෂ පෙළක් ලෙස දැනුදු පළ වෙනවා. 

මුල් යුගයේ ගුරුළුගෝමී පරපුරට එක් වූ විද්වතුන් අතර මුනිදාස කුමරතුංග (ව්‍යාකරණ විවරණය, ක්‍රියා විවරණය, හත්පණ, මඟුල්කෑම, හීන්සැරය), ඊ. ඇල් අමරරත්න (කුමාරොදය), ඩේවිඩ් කරුණාරත්න (සාහිත්‍ය විශ්වකෝෂය, එදා හෙළ දිව), විමලානන්ද තෙන්නකෝන් (උඩරට කැරැල්ල) ආදීන් කැපී පෙනුනා. 

එක් වූ අනෙක් ප්‍රකට ලේඛකයන් අතර පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර, මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි, රැයිපියෙල් තෙන්නකෝන්, හියුබත් දිසානායක, පියදාස සිරිසේන, හරිශ්චන්ද්‍ර විජයතුංග, කරුණාසේන ජයලත්, ලාල් ප්‍රේමනාත් ද මැල්, සිබිල් වෙත්තසිංහ ආදි වශයෙන් නම් කර දැක්විය නොහැකි තරම් විශාල පිරිසක් ඉන්නවා. 

ගුණසේන ප්‍රකාශනයක් ලෙස ගුරුළුගෝමී ලාංඡනය යටතේ පළ වූ කාණ්ඩ පහකින් යුත් ‘ශ්‍රී ලාංකේය ඉතිහාසය’ මෙත‍ෙක් ඔවුන් ආ ගමන් මගේ විශිෂ්ටතම මග සලකුණ ලෙස සලකන්න පුලුවන්. එහි ප්‍රධාන සංස්කාරක ධූරය දැරූ ආචාර්ය කරුණාරත්න විජේතුංග විසින් සංවිධානය කළ එම දැවැන්ත කාර්යයට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හයක ඉතිහාසඥයන් හා දිවයිනේ සිටි ප්‍රවීණ ඉතිහාසඥයන් 60ක දෙනෙකුගේ දායකත්වය ලැබුණා. වසර 35,000කට පෙර පටන් 2005 දක්වා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ හැම පැතිකඩක් ම ඊට ඇතුළත් වෙනවා. එවැනි අද්විතීය මෙන් ම ප්‍රශස්ත කෘතියක් මෙතෙක් කිසිම ප්‍රකාශකයකු විසින් කර නැහැ. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments