HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

76 උපන් දිනය දා ආපසු හැරී බලද්දී මට හිතෙන දේ!


අද මා මගේ 76 වන උපන් දිනය පහු කළා. අපේ රට යටත්විජිතයක් ලෙස පවතිද්දියි, මං උපන්නෙ. ඒ කියන්නේ 1945 පෙබරවාරි මාසයේ 7 වැනිදා. නිදහස ලබන්න අවුරුදු තුනකට කලින්. අපට නිදහස ලැබුණෙ 1948 පෙබරවාරි 4 වැනිදා. මං පාසල් යන්න පටන් ගත්තේ නිදහස් ලංකාවකයි. ලංකාව නිදහස ලබන්න ඉස්සරින් ලංකාවේ අධ්‍යාපනය නිදහස් වෙලා තිබුණා. ඒ නිසා අධ්‍යාපනය බාර සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ට පින්සිදු වෙන්න අපට මුල ඉඳලම නිදහස් අධ්‍යාපනය ලබන්න පුලුවන් වුණා. 

ඒත් නිදහස් අධ්‍යාපනය කිව්වට ඉගෙන සල්ලි ඕනෑ වුණා. පන්තියෙ ඉගෙන ගන්නවට මුදල් අය නො කිරීම විතරයි, සිද්ධ වුණේ. අනිත් හැම දේට ම සල්ලි ඕනෑ වුණා. ඒ නිසා එදා නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගන්න හැකි වුණේ, ගල්කූරු, ගල්ලෑලි, පැන්සල්, පොත පත, ඇඳුම් පැලඳුම් ආදියට වියදම් කරන්න පුලුවන් හැකියාවක් තිබුණු අයට විතරයි, කොහොම වුනත් කලින් තිබුණාට වඩා රටේ වැඩි දෙනෙකුට සෙතක් සැලසුණා. රටේ ඈත දුෂ්කර පළාත්වල උන්නු ‘ඇති හැකි අය’ ටිකකට හරි ඉන් තමන්ගෙ ළමයින්ට උගන්වන්න ඉඩ සැලසුණා.

ඒත් අධ්‍යාපනයේ තවත් විෂමතා තිබුණා. කොළඹ, නුවර, ගාල්ල, යාපනය වගේ ප්‍රධාන නගරවල තිබුණු පාසල්වලත් ගම්බඳ පාසල්වලත් සිදුවුණු අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ වෙනස්කම් තිබුණා. ඒ නිසා කන්නන්ගර මැතිතුමා රටපුරා හයෙන් ඉහළ පන්ති විතරක් ඇති මධ්‍ය විද්‍යාල 50ක් ඇති කරමින් නගරයේ පාසල්වල ගුණාත්මක භාවය ගමට ගෙනියන්න පියවර ගත්තා. කන්නන්ගර මැතිතුමා ඒ සමඟ ම දිළිඳු අයගේ දරුවන්ට ඉගෙන ගන්නට පහේ ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කළා. ඒ ශිෂ්‍යත්වය ක්‍රමය ආරම්භ වුණේ දක්ෂ දිළිඳු දරුවන්ට පමණක් අධ්‍යාපන වරම් දෙන්නක් ලෙසයි. ඒ නිසා ගුරුවරුන්ගේ දරුවන් වූ අපට ඒ ශිෂ්‍යත්ව වරම් හිමි වුණේ නැහැ. අද ඒ ශිෂ්‍යත්වයේ මුල් අරමුණ තවමත් රඳවාගෙන තිබුණත් ලොකු පාසල්වලට ළමයින් බඳවා ගන්නට දෙන වරමක් බවට පත් කර ගෙන ඇති නිසා දරුවන්ටත් මාපියන්ටත් විශාල හිරිහැරයක් වෙලා. 

ඒ එකකින්වත් දරුවන් සැමට නිදහස් අධ්‍යාපනය පරිපූර්ණ වුණේ නැහැ. පුද්ගලික පාසල් හා රජයේ පාසල් වශයෙන් දෙකක් තිබුණු නිසා අධ්‍යාපනයේ පොදු ප්‍රමිතියක් තිබුණේ නැහැ. ඒ නිසා ඊට පිළියමක් හැටියට පාසල් රජයට ගැනීමේ යෝජනාවක් ආවා. මා නුවර ධර්මරාජයේ ඉගෙන ගන්නා කාලේ, අපේ පාසලේ ආචාර්යවරයකු වූ හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ශිෂ්‍ය සමිති එකතු කරගෙන පාසල් රජයට ගන්නා ලෙස බල කරමින් ප්‍රථම උද්ඝෝෂණ පෙළපාළිය ගිය හැටි මට මතකයි. කෙසේ හෝ අන්තිමේ දී පාසල් රජයට ගනු ලැබුවා. ඒත් අධ්‍යාපනයේ ප්‍රමිතිය සමාන වුණේ නැහැ. ඒ පාසල් පෙළ පොත්වල තිබූ අසමානතා නිසා. ඊට පිළියම් යෙදුවේ අයි. එම්. ආර්. ඊරියගොල්ල මැතිඳුන්. ඒ පාසල් පෙළ පොත් සියල්ල සකසා රජයේ වියදමින් නොමිලයේ ලබා දීමෙන්. 

එත් තවමත් අධ්‍යාපනයෙන් සමාජයට අවශ්‍ය දේ ඉටුවෙලා නැහැ. විරැකියා වැඩි වෙලා. සමාජය තුළ අසහනය වැඩි වෙලා. විනය පිරිහෙලා. පරිසර දූෂණය වැඩි වෙලා. හොරකම් මැරකම් වැඩි වෙලා. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැඩි වෙලා. වැරදි කිරීම, බොරු කීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. මිනිසුන් තුළ වැරදි කිරීමට තිබූ ලජ්ජා බය නැති වෙලා. මිනිසා එකිනෙකාට ගරු කරන්නේ නැහැ. මෙයට පිළියම් යෙදිය යුත්තේ අධ්‍යාපනය තුළින් පමණයි. මිනිසා තුළ විශේෂයෙන් තිබිය යුතු විනය ගරැක බව (discipline) සමාජ වගකීම් (social responsibility), වගවීම (accountablity) වැනි ගුණාංග යළි ඇති කළ යුතුයි. මෙය ඇති කළ හැක්කේ ඉතා කුඩා කාලයේ පටන් දෙන අධ්‍යාපනයෙන්, අවබෝධයෙන් හා ආදර්ශයෙන් පමණයි. 

හැම පුරවැසියකු ම සමාජයට තමන්ගෙන් ඉටුවිය යුතුකම්, සමාජ වගකීම් හා කාර්යභාරය කුමක්දැයි මුලින් ම හඳුනා ගත යුතු වෙනවා. මා මුලින් සිතා සිටියේ ගුරුවරයකු වෙන්නයි. ඒත් පසුව මට පුවත්පත් කලාවේදියකු වීමට සිදුවුණා. එහිදී මා තෝරා ගත්තේ පුවත්පත් තුළින් අවිධිමත් අධ්‍යාපනය ලබාදීමේ කාර්යභාරයයි. මට ඒ සඳහා පරමාදර්ශී චරිත කීපයක් මා රැකියාවට ගිය ලේක්හවුසියෙන් ම බිහි වී තිබුණා. ඉන් ‘දිනමිණ’ට ආ සිළුමිණක් වන් පත්‍රකලාවේදියා මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයි. ඔහු පුවත්පත්වලින් පාඨකයන්ට දැනුම බෙදා දීමේ පුරෝගාමියායි. සතුන් ගැන, සත්ත්ව සන්තතිය, පරිණාමවාදය, දර්ශනවාදය, මානව විද්‍යාව, සිංහල සංස්කෘතිය, අපේ උරුමය, සාහිත්‍යය ආදී නොයෙක් විෂය තුළින් අප දැනුවත් කළ අන්දම පාසල් වියේ සිටම මගේ සිත් තදින් ඇද ගත්තක් වුණා. එතුමාගෙන් පසුව ආ එඩ්වින් ආරියදාස, බෙනඩික්ට් දොඩම්පෙගම යන මහත්වරු මට මග පෙන් වූ අනෙක් දෙදෙනායි. 

ඔවුන් අනුව යමින් මාත් පුවත්පත් ඔස්සේ දැනුම බෙදා දීම පටන් ගත්තා. සරසවිය, මිහිර, නවයුගය, දිනමිණ, ජනතා, සිළුමිණ, ලංකාදීප, ඉරිදා ලංකාදීප, විජය, සිරිකත, නවලොව ඇතුළු පුවත්පත්වලට ලියූ ලිපිවලින් හා ඒවා සමග නිකුත් කළ විශ්ව දැනුම, විශ්වකෝෂ, ඥානකෝෂ ආදී අතිරේක තුළින් මා මගේ අරමුණ ඉටු කර ගන්නට වෙහෙසුණා. ගත වූ වසර පනස් හත තුළ ලිපි විශේෂාංග දස දහස් ගණනක් ලිව්වා. ‍අංකුර ලේඛකයන් සිය ගණනකට අත දෙන්නට මට අවස්ථාව ලැබුණා. 

මගේ ජීවිතයේ වැදගත් සිහිවටන අතර මගේ කලා හා සන්නිවේදන මෙහෙය අගයමින් මා උගත් ධර්මරාජ විදුහලෙන් පිරිනැමුණු සම්මානය මට අමතක නොවන්නක්. ඒ වගේ ම ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධනයන්, වරක් පුස්තකාලවේදය හැදැරූ විද්‍යාර්ථීන් පිරිසක් වෙනුවෙන් පැවති සමුළුවක දී ගෙන හැර පෑ උදාහරණයකදී මට කළ උපහාරය ද මගේ සිතේ තදින් ඇඳී තියෙනවා. එදා ඒ මහතා කීවේ ‘ඉස්සර කාලයේ අපට අද වාගේ ඉන්ටර්නෙට් එකෙන් දැනුම ලබා ගන්න පිහිටවෙන ගූගල් වගේ සෙවුම් යන්ත්‍ර තිබුණේ නැහැ. එකල අපේ පිහිටට ආ ”සෙවුම් යන්ත්‍ර” වුණේ එඞ්වින් ආරියදාස මහතා, පර්සි ජයමාන්න වැනි අයයි.' 

අද ආ පසු ජීවිතය දෙස හැරී බලන මට මෙතෙක් කළ දේ ගැන සතුටු වෙන්න පුලුවන්. තවමත් මා ‘මල් කැකුළු’ තුළින් කරන්නේත් ලොව පුරා වෙසෙන සිංහල බස වහරන ළමා පරපුර වෙත දැනුම බෙදා දීමයි. 

-පර්සි ජයමාන්න

Post a Comment

1 Comments

  1. ඉතා වැදගත් ලිපියක්. අපේ අධ්‍යාපන ක්‍රමයේ අතිතය ගැන වත්මන් පරපුරට දැන ගත යුතු බොහෝ දෑ අඩංගු කර තිබෙනවා.සමකාලීනයෙකු වශයෙන් ලිපියේ සදහන් කරුණු පිළිබද අත් දැකීම් මට ද තිබෙනවා.එකල අධාපන ක්‍රමය දැන් මෙන් හැන්දෙන් පෙවීමක් නොවුනු බව මතකයි.එකල.යම් විෂයය ක්ෂේත්‍රයක් උගන්වා නිමකළපසු ඒ ගැන වැඩි දුර හදාරා අභ්‍යාස කිරීම සිසුන්ට පැවරුණු කාර්යයක්මො වූ බව මතකයි. මොළය සමග අත ද හුරු පුරුදු වන පරිදි විෂස මාලාව සැකසී තිබූ බව ද කිව යුතුයි.සිසුන්තුළ නිර්මාණාත්මක හැකියාවන් ප්‍රවර්ධනය වීමටත් අනාගත සමාජය තුළ තමන්ට මෙන්ම සමාජයට ද යහපතක් වන පරිදි ක්‍රියා කිරීමට ඇවැසි දැනුම් ආකල්ප හා නිපුණතා දරුවන් තුළ රෝපණය වන ආකාරයට අපේ අධ්‍යාපන ක්‍රමය යළි හැඩ ගැස්වීම දැනටමත් ප්‍රමාද වැඩිදැයි සිතෙනවා.මිතුරන් හා ඇසුරු කරන්නන් අතරේ ඇවිදින විශ්ව කෝෂයක් ලෙස විරුදාවලි ලත් ඔබේ දැනුම මෙම ජීවිත සැඳැ සමය තුළ තව තවත් සමාජය වෙත දායාද කිරිම් වස් සතුට සාමය නිරෝගීභාවය ඔබට ලැබේවා යනු අප සැමගේ පැතුමයි

    ReplyDelete