ඒ කඳුකරයේ පිහිටා ඇති රයිනී (Raini) ගම්මානයේ වැසියන් කියන්නේ ඒ ඛේදවාචකයට හේතුව ඇමරිකන් ඔත්තු සේවය විසින් කලකට ඉහත කඳුකරයේ හිම අතර තැන්පත් කළ න්‍යෂ්ටික මෙවලමක් හිම යට තිබී එහි බලපෑම නිසා හිමකඳු දියවී ගලා හැළුණු බවයි.
රයිනී ගම් ප්‍රධානියා වූ සංග්‍රම් සිං රාවත් කියන්නේ දශක කීපයකට පෙරාතුව චීනය ගැන ඔත්තු බැලීමට හිම කඳුමත අටවන ලද න්‍යෂ්ටික උපකරණයක් මේ විනාශයට හේතුවන්නට ඇතැයි ගම් වැසියන්ගේ විශ්වාසය බවයි. ‘අපි එහෙම හිතන්නේ මේ හිමකඳු දිය වී ගලා හැළුණේ ශීත කාලයේ දී වීම නිසයි. මෙෙතක් කිසි කලෙක ශිතකාලේදී හිම දියවීම් සිදු වෙලා නැහැ. මං හිතනව රජය මේ ගැන අවධානය යොමු කරලා විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා.’ ඔහු අවධාරණය කරනවා.
1960 ගණන්වල දී ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියානු රජයත් සම එක්වී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ආවේක්ෂණ උපකරණ වගයක් හිමාලයේ උස් කඳුකරයේ තැන්පත් කළා, චිනයේ මිසයිල අත්හදා බැලීම් සිදුවන්නේ දැයි ඔත්තු බලන්න. මේ තත්වය ඇති වුණේ නිරවි යුද සමයේ උච්ච අවස්ථාවේ දී චීනය 1964 දී ඔවුන්ගේ පළමු න්‍යෂ්ටික අවිය අත්හදා බැලීම කළ නිසයි.
1965 ඔක්තෝබරයේ දී එක්සත් ජනපදයේ පිරිසක් ඉන්දියානු නඳු නඟින්නන් පිරිසකගේ උදවු ඇතිව ප්ලූටෝනියම් කැප්සියුල හතක් හා ආවේක්ෂණ උපකරණ වගයක් නන්දා දේවි කඳුමුඳුනට රැගෙන ගියා. නන්දාදේවි අඩි 25,643ක් උස වන අතර එය හිමාලයේ දෙවන උසම කන්ද ද වෙනවා.
මේ මෙහෙයුම සිදුකළේ ඇමරිකාවේ CIA ඔත්තු සේවය විසින්. ඔවුන්ට ඉන්දියානු ඔත්තුසේවා කාර්යාංශයේ සහයත් ඊට ලැබුණා. ඔවුනගේ අරමුණු වුණේ නන්දාදේවී කන්දේ චීනය දේශ සීමාවට මුහුණපා ඇති පැත්තේ ඉහළ ම තැනක මේ උපකරණ තැන්පත් කරන්නයි. ඉහළ නැඟීමේ දී ඔවුන්ට ප්‍රචණ්ඩ හිම කුණාටුවකට මුහුණ දෙන්න සිදුවුණා. කඳු නැග්ග පිරිසට තවදුරටත් ඉහළට නැඟිය නොහැකිවුණා. කඳු නැග්ම නවතා ඔවුන්ට ජීවිත ගලවා ගැනීමට පසු බසින්නට සිදුවුණා. ආපසු ඒමේ දී ගෙන ගිය දෑ ගෙන ඒමද අපහසුවක් වුණා. ඒ නිසා ඔවුන් කඳුමුදුනේ පැතලි තැනක සුරක්ෂිතව ඒවා තැන්පත් කර කුණාටුවෙන් දිවි ගලවා ගෙන ආපසු ආවා.
එසේ නන්දාදේවි කඳු මුදුනේ රඳවා ආ උපකරණ අතරට අඩි හයක් දිග ඇන්ටෙනාවක්, ගුවන් විදුලි සන්නිවේදන උපකරණ කට්ටල දෙකක්, විදුලි බලය සපයන ‘පවර් පැක්’ එකක්, ප්ලූටෝනියම් කැප්සියුල හතක් අයත් වුණා. ඒවා බරින් කිලෝ ග්රෑම් 57ක් විතර වුණා.
ඊළඟ වසන්තය එළඹුුණු පසු ඔවුන් යළිත් කන්ද නැග්ගේ තමන් තැන්පත් කළ තැනින් ඒ උපකරණ අරගෙන යළිත් කඳුමුනේ ඉලක්කය කරා ගෙනි යන්නයි. ඒත් ඔවුන්ට ඒ උපකරණ කට්ටලයට අයත් කිසිවක් කිසිම තැනක සොයා ගත හැකි වුණේ නැහැ. පසුගිය වසර කීපය තිස්සේ ම මෙහෙයුම් කණ්ඩායම් ගණනාවක් ඒවා සොයා ගවේෂණයන්හි යෙදුනත් කාටත් ඒ පිළිබඳව ලකුණක්වත් සොයා ගත හැකි වුණේ නැහැ.
අන්තිමේ දී නන්දා දේවි කන්ද නැගීම විදේශ කඳු නගින්නන්ට තහනම් කෙරුණා. 1974 වන තෙක් ම මේ තහනම ක්‍රියාත්මක වුණේ මේ ඔත්තු පරීක්ෂණ උපකරණ සොයා ගෙන ප්‍රශ්නයක් ඇති වෙතැයි බියෙන්.
එදා මේ කඳු නැඟි ඉන්දියානු පිරිසට අයත් වූ කැප්ටන් මන්මෝහන්සිං කෝලි කියන්නේ එදා ඔවුන් රැගෙන ගිය ප්ලූටෝනියම් ප්‍රමාණය හිරෝෂිමාවට දැමූ බෝම්බය තැනීමට ගත් ප්‍රමාණයෙන් අඩකට තරම් සමාන බවයි. Pu-238 සහ Pu-239 නම් ප්ලූටෝනියම් අයිසටෝප වර්ග දෙකකින් තැනුනු ඉන්ධන දඬු එහි තිබූ බවයි. ඒවායෙන් තමා, චීනය දියත් කරන මිසයිල අවි පිළිබඳ තොරතුරු ලබා ගන්නා ඇමරිකන් මෙවලම වූ SNAP (System for Nuclear Auxiliary Power) නම් අවේක්ෂණ උපකරණ කට්ටලය බල ගැන්වුණේ. මෙය සක්‍රිය කළ විට විකිරණ තාප ශක්තිය විදුලි බලය බවට පෙරළා එහි වූ සවන්දීමේ උපකරණය හා ඇන්ටෙනාව ක්‍රියාත්මක කෙරෙනවා.
1967 දී තුන්වන මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා . එවර අලුත් උපකරණ කට්ටල කීපයක් රැගෙන ගියා, අඩි 22,510ක් වූ නන්දා කොට් (Nanda Kot) නම් අල්ලපු කඳු ශිඛරයේ මුදුනට. ඒ වතාවේ කටයුත්ත සාර්ථක බවක් පෙනුනත්, පසුව එය හදිසියේ අක්‍රිය වූයෙන් ඔවුන්ට යළිත් කන්ද නැඟ ඒ ගැන විපරම් කරන්න සිදුවුණා. ඒ උපකරණය යළි සකසද්දී ඔවුන්ට පෙනී ගියා ඉන් නිකුත් වූ තාපය නිසා හිම කන්දේ අඩි 8ක විතර ප්‍රමාණයක් දිය වී ගොස් ඇති බව. ඒ නිසා ඔවුන් ඉක්මනටම ඒ මෙවලමත් අරන් එතැනින් ආවා.
මේ කතාව නිසයි, ගැමියන් සිතන්නේ කලින් අස්ථාන ගත වූ උපකරණවලට අයත් වූ න්‍යෂ්ටික බල සැපැයුම සොයා ගත නොහැකි ලෙස හිම යට සැඟවී මේ ආසාමාන්‍ය හිමධාවයන් ඇති කරනවා කියායි. මේ පිළිබඳ ව එක් වාර්තාවක කියැවෙන්නේ, ඒ ආකාරයට ප්ලූටෝනියම් පවර් පැක් එකේ ඇති විකිරණ දිය වීමට වසර සිය දහස් ගණනක් ගත වන නිසා, ඒවායින් හිමාලයේ හිම කුට්ටිවලට විකිරණ කාන්දුවීමටත්, ඒවා ගංගා නම් ගඟට එක්වී ඉන්දියානු ගංගා පද්ධතියට හානි පැමිණවීමටත් ඉඩ ඇති බවයි.
ඇතැම් අය සිතන්නේ මෙවර සිදු වූ ගංවතුරට හේතුව ඒ අවට සිදුවන මහා පරිමාණයේ ඉදි කිරීම්, අධිවේගී මාර්ග, ජල විදුලි බල ව්‍යාපෘති ආදිය නිසා කියායි.
එත් කපිතන් කෝලි නම් කියන්නේ න්‍යෂ්ටික හේතුව නිකම්ම බැහැර කළ යුත්තක් නොවන බවයි. එහෙත් ඔහු කියන්නේ ඒ උපකරණය තාපය අධික ලෙස නිකුත් කිරීමක් හෝ පුපුරා යාමක් හෝ සිදු කරතැයි එක එල්ලේ ම කිව නොහැකි බවයි.
ඒත් රාවත් නම් රයිනී ගම්මුලාදැනියා කියන්නේ ඒ න්‍යෂ්ටික උපකරණ කොහේ හෝ හිම යට වැළලී තිබී ඉදිරියටත් තවත් හිමකඳු ගලනයන් ඇති විය හැකි බවයි.
- පර්සි ජයමාන්න
2 Comments
ela
ReplyDeletesyndi ekk https://sithuvili.net/
Thank you
Delete