HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ මහා විප්ලවයකට මග පෑදූ මුල්ම ඇපල් - 1 පරිගණකය මෙන්න!

දැන් ඇපල් කිව්වාම ඇපල් ගෙඩියටත් වැඩිය ඉක්මනින් මතකයට එක්කේ ඇපල් ෆෝනය නැත්නම් ඇපල් පරිගණකයයි. මුල් ම ඇපල් පරිගණකය භාවිතයට ඇවිත් දැන් වසර 45ක්. ඒ පරිගණකය ආවට පසුවයි, අද අප දකින පරිගණක විප්ලවය පටන් ගත්තේ. ඊට කලින් පරිගණකය යෝධ උපකරණයක් හැටියටයි, තිබුණේ, ලොකු ආයතනවල, විශාල ඉඩකඩක් අහුරා ගෙන. ඒ තිබුණෙත් ඒ ආයතනවල වැඩට විතරයි. ඇපල් 1 පරිගණකයෙන් තමයි, පරිගණකයේ සේවය පොදු මිනිසාගේ ඔඩොක්කුවට ආවේ. මේ වසර හතළිස් පහට පරිගණකය කොච්චර දුරක් ඇවිල්ලද කියල ඔබටම වටපිට බලපුවාම හිතා ගත්තෑකි. 
1976 දී අලෙවි කළ තවමත් හොඳ තත්වයෙන් ඇති මුල් ම ඇපල් පරිගණක අතරින් එකක්. 
අද එදා මිල මෙන් 2,250 ගුණයකට eBay හරහා විකිණීමට ඉදිරිපත් කරල තියෙනවා.

ඇපල් සමාගම නිපදවූ මුල්ම පරිගණකය ‘ඇපල් 1’ යි. එයින් පරිගණක 175ක් තමයි, විකුණුණේ. එකක් ඒ කාලේ විකුණුවේ ඩොලර් 666.66කටයි. ඩොලරයේ අගය වෙනස් වී ඇති ආකාරයට අනුව එහි අද මිල ඩොලර් 3,126කට සමානයි. (අද රුපියල් වලින් නම් 6,21,318ක් විතර වෙනවා.) ඒ මුල් ම ඇපල් 1 පරිගණකයක් eBay හරහා විකුණන්න දාලා තියෙනවා එහි අයිතිකරුවා වූ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවකු වූ ක්‍රිෂ්ණා බ්ලේක් විසින්. අද එහි වටිනාකම ලක්ෂ 10කට වැඩියි. 

එය තාමත් එදා වගේ ම ඉතා හොඳ ක්‍රියාකාරී තත්වයේ පවතිනවා. වටිනා දැව කේසයක් ඇතුළේ සවි කර ඇති මෙය මේ වර්ගයේ දැනට ඉතිරිව ඇති පරිගණක හයෙන් එකක්. eBay හරහා ඔවුන් මෙය ඩොලර් මිලියන 1.1කට (රුපියල් කෝටි 22කට) විකිණීමට බලාපොරොත්තු වෙනවා. එය ඇත්ත වශයෙන් ම 1976 පැවති මිල මෙන් 2,250 ගුණයකටත් වැඩි මුදලක්. 

මුල් ම ඇපල් පරිගණකයෙහි ඇතුළත සකසා කිබුණේ මෙහෙමයි.

ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියැක් දෙපළ එක්ව පිහිටුවා ගත් ඇපල් සමාගම එවැනි පරිගණක 200ක් අළෙවි කරන්න සැලසුම් කළා ඒවායින් 175ක් පමණයි, අළෙවි කරනු ලැබුවේ. තාමත් හොඳින් වැඩ කරන, ඒ අතරින් එකක් වන, මේ වෙන්දේසියට තබා ඇති පරිගණකය, ක්‍රිෂ්ණා බ්ලේක් විසින් මිල දී ගෙන ඇත්තේ 1978දියි. ඒ සමග ඔහු මිලදි ගත් අනෙක් උපාංග වූ මොනිටරය සඳහා ස්ටීව් ජොබ්ස් අනුමත කළ වූ සෝනි ටීවී 115 යන්ත්‍රයත්, අත්පොතත්, කැසට් භාවිත කළ හැකි අතුරුමුණතත් මේ පරිගණකය සමග විකීණීමට තබා තියෙනවා. 

2020 මාර්තුවේදී තවත් ඇපල් 1 පරිගණකයක්, එහි දැව ආවරණ පෙට්ටිය නැතිව බොස්ටන් නගරයේ දී ඩොලර් 458,711කට වෙන්දේසි කෙරුණා. 

තවමත් සක්‍රිය තත්වයේ පවතින මුල් ම ඇපල් පරිගණකයෙහි ක්‍රිෂ්ණා මිලදී ගත් උපකරණය. 
මෙහි අත්පොතත් කැසට් භාවිත අතුරුමුණතත් මේ සමග දෙනවා.

ඒ මුල්ම ඇපල් පරිගණකය තැනුවේ, පෙට්ටියෙන් එළියට ගත්තු ගමන්, දැන් එයින් කරන විස්මිත දේ කරන්න නෙමෙයි. විනෝදයට ඉලෙක්ට්‍රොනික විද්‍යාව හදාරන අයට දෙන උපකරණ කට්ටලයක් හැටියටයි. ඒ අනුව පා‍ලෝ ඇල්ටෝ ගෘහස්ථ පරිගණක සමාජයේ සාමාජිකයන්ට දෙන්නයි, මුලින් ම මේවා තැනුවේ. 

කෙසේවෙතත් මෙය මුල්ම පරිගණක යන්ත්‍රය බවට පත් වූයේ කැලිෆෝනියාවේ මවුන්ටන් විව්හී ‘ද බයිට් ෂොප්’(The Byte Shop) කියා පුද්ගලික පරිගණක අලෙවි හලක් ආරම්භ කළ පෝල් ටෙරිල් නම් ව්‍යාපාරිකයා විසින් මේ කට්ටලයෙන් මුළුමනින් ම එකලස් කළ යන්ත්‍ර 50ක ඇණවුමක් සපයන ලෙස ඇපල් සමාගමෙන් ඉල්ලා සිටීමෙන් පසුවයි. 

ඒ අනුව කැලිෆෝනියාවේ මවුන්ටන් විව්හීදී ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්‍ට අයත් ගරාජයක ඒවා එකලස් කිරීම ඇරඹුණා. ස්ටීව් ජොබ්ස් හා ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් එක්ව පරිගණක 200ක් එකලස් කරන්න සූදානම් වුනත් එයින් 175ක් පමණයි, අලෙවි කර ගත හැකි වූයේ. 

2020 මාර්තුවේ මුල් ඇපල් -1 පරිගණකයක් වෙන්දේසියේ විකුණුණා ඩොලර් 458,711කට, ඒත් ඒකෙ ක්‍රිෂ්ණාගේ මෙවර අලෙවියට තබා ඇති පරිගණකයේ වගේ මුල් ලී පෙට්ටිය නැතුවයි ඒ මිලට අලෙවි වුණේ.

මේ ‘ඇපල් 1’ තමයි, 1977දී තැනූ වඩාත් දියුණු කළ ‘ඇපල් 2’ තැනීමට ඔවුන්ට මග පෙන්වූයේ. ඒ පරිගණකය ඇසුරැවේ ප්ලාස්ටික් පෙට්ටියකයි. ඒ වගේ යතුරුපුවරුවත් ඒකටම සම්බන්ධ කර තිබුණා. මේ ඇපල් 2 හා ඊට අයත් උපාංග හා ඊට යෙදූ මෘදුකාංග අලෙවියෙන් ඇපල් පරිගණක සමාගමේ ආදායම අවුරුදු තුනක් පමණක් ඇතුළත ඩොලර් 774,000 සිට ඩොලර් මිලියන 118ක් දක්වා වැඩි වුණා. 

මුල් ඇපල් පරිගණකයට ස්ටීව් ජොබ්ස් විසින් යෝජනා කර තිබුණු සෝනි ටීවී-115 යන්ත්‍රයත් මෙයට ඇතුළත්.වෙනවා

එදා ඒ බයිට් ෂොප් එකෙන් විකුණපු ඇපල් පරිගණකවලින් දැනට ඉතිරිව ඇති පරිගණක හයයෙන් එකක් තමයි, මෙසේ අන්තර්ජාලයෙන් වෙන්දේසි කරන්න යන්නේ. ක්‍රිෂ්ණා මිලදී ගත් පරිගණකය ඇපල් 1 ලැයිස්තුවේ අංක 79 ලෙස ලියා පදිංචි කර තියෙනවා. මේ පරිගණකය ඇතුළු දැන් සුරැකිව ඇති පරිගණක පහක විනාශ නොවී මෙතෙක් පැවතුණේ හොඳින් ගබඩා කර තිබීම නිසයි. මේ ඇපල් පරිගණකය නියම මුල් පරිගණකයක් බවට, ඇපල් - 1 විශේෂඥයකු වූ කොරේ කොහෙන් විසින් 2019 අගෝස්තුවේදී ඇමරිකාවේ කැලිෆෝනියාවේ පැවති වින්ටාජ් පරිගණක උළෙලට ඉදිරිපත් කරද්දී සහතිකයක් දී තිබුණා. 

අන්තර්ජාල‍ය ඔස්සේ පළමු වරට වෙන්දේසි කෙරෙන මේ ඇපල් පරිගණකයේ ඇතුළත පරිපථය

ක්‍රිෂ්ණා කියන්නේ ඔහු මේ පරිගණකය ලබා ගත්තේ එහි මුල් අයිතිකරු විසින් ඇපල් 2 පරිගණකයක් වෙනුවෙන් හුවමාරු කිරීම පිණිස ගෙනා අවස්ථාවේදියි. ඒ වන විට ක්‍රිෂ්ණා කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ ඇපල් 2 පරිගණක සඳහා අලෙවි සලක් පවත්වා ගෙන ගියා. 

මේ පරිගණකය සමග බේසික් පරිගණක භාෂාවත්, ක්‍රීඩා, සරල හා ගැඹුරු මතක ධාරණ පරීක්ෂණත් ඇතුළු තවත් දේ මිල ගන්නා තැනැත්තාට හිමි වෙනවා. හැබැයි මේකෙන් වර්තමාන ඇපල් පරිගණකයකින් කරන වැඩ කරන්න බැහැ. මෙහි ඇත්තේ ඓතිහාසික වටිනාකමක්. දුර්ලභ දෙයක් නිසා මෙවැනි භාණ්ඩ රැස් කරන්නන්ට අභිමානයක් ගෙන දෙනවා. 

දැනට මේ පරිගණකය ෆ්ලෝරිඩාවේ බැංකුවක සුරක්ෂිතාගාරයක තැන්පත් කර තියෙනවා. එය මිල දී ගත් තැනැත්තා අතටම ආරක්ෂා සහිතව ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments