නස්රුදින් නඩුවකට පැටලුණා. ඔහු නීතිඥයෙකු හමුවෙලා ඒ ගැන කතා කර ගන්න ගියා.
‘අපට බැරිද නඩුකාරයාට රන් කාසි 100ක් දීලා අපට වාසි වෙන්න තීන්දුවක් ගන්න බැරි වෙයිද?’ නස්රුදින් නීතිඥයාගෙන් ඇහුවා.
නීතිඥයා බයවෙලා කෑගැහුවා. ‘ඔහෙ එහෙම කරන්න ද යන්නේ? ඒක හරිම භයානක වැඩක්! එතුමා එහෙම දේකට කැමති වෙන්නෙ නෑ කීයටවත්. එහෙම දෙයක් කළොත් එතුමා ඒකම හේතුවක් කර ගෙන අපට විරුද්ධව තීන්දුවක් දේවි. පගාව දෙන්න හැදුවා කියලා ඔහෙම සිරභාරයට ගන්න කියලා නියෝග කරාවි.’ නීතිඥයා කීවා.
‘ඔහෙට විශ්වාසද එතුමා එහෙම කරාවි කියලා’ නස්රුදින් ඇහුවා.
‘මට හොඳටම විශ්වාසයි. මං නඩුකාරයා ගැන හොඳට දන්නවා’ නීතිඥයා කිව්වා.
පහුවදා නස්රුදින් උසාවියට ගියා. නඩුකාරයා නඩුව ඇහුවා. නස්රුදින් නඩුවෙන් දිනුවා.
නීතිඥයාට පුදුමයි. ‘ඔහෙ එහෙනම් තීන්දුව ඔහෙට වාසි වෙන්න ගත්තා නේද?’ ඔහු නස්රුදින්ගෙන් ඇහුවා.
‘ඔහෙ දන්නවද? මට ඒ රන් කාසිවලිනුත් වැඩක් වුණා.’ නස්රුදින් පුංචි හිනාවක් දාලා කිව්වා.
‘ඒ කියන්නෙ ඔහෙ ඇත්තටම නඩුකාරතුමාට රන් කාසි යැව්වද?’ නීතිඥයා ඇස් දල්වා ගෙන ඇහුවා.
‘ඔව්! යැව්වා තමයි. ඒත් ඒක යැව්වේ මං යවනවා කියලා නෙවෙයි, මගේ විරුද්ධවාදියා යවන විදියට’
- පර්සි ජයමාන්න
0 Comments