HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බුදුරදුන් පළමුවරට මෙරටට වැඩිය තැන - මහියංගනය

අදට යෙදෙන දුරුතු පොහොය බෞද්ධ අපට විශේෂ දිනයක්. එදින අපට සිහිපත් කරවන වැදගත් සිදුවීම් ගණනාවක් ම තියෙනවා. බිම්බිසාර රජතුමා බුදුන් ප්‍රමුඛ සංඝයාට වේළුවනාරාමය පූජා කළේ දුරුතු පෝදාකයි. අනෙක් වඩාත් ප්‍රමුඛතම සිදුවීම වන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයයි. බුද්ධ ශාසන ඉතිහාසයට අනුව සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව උඩ මෙරට මහියංගණයට වැඩම කළේ අද වැනි දුරුතු පෝ දිනයකයි. එදා බුදුන් වහන්සේ මෙහි වැඩම කොට ආපසු යාමට පෙර මෙරට බිහි වූ පළමු බොදුනු පිරිසට වන්දනාමාන කිරීමට කේශ ධාතු මිටක් ලබා දුන් බවත් ඒ සර්වඥ ධාතු නිදන් කොට මියුඟුණු සෑය ඉදි කළ බවත් ඒ ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. 
බුදුන් වහන්සේ දඹදිව උරුවෙල් දනව්වේ සිට ඍද්ධියෙන් 
එම යුද පිටියට වැඩම කළ අයුරු කැලණි විහාරයේ බිතුසිතුවම්වල 
සෝලියස් මෙන්දිස් සිත්තරා විසින් මැවූ හැටි.

බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයේ (ක්‍රි. පූ. 6 වන සියවසහි) මෙසිරිලක විසූවේ යක්ෂ, නාව දේව යන ගෝත්‍රික පිරිසක්. එකල ඌව පළාතේ මහියංගණය අවට ප්‍රදේශයේ වාසය කළේ යක්ෂ ගෝත්‍රිකයන්. දේව ගෝත්‍රිකයන් කඳුකරයේ ද, නාග ගෝත්‍රිකයන් කැලණි ගඟ අවට ප්‍රදේශයේ ද විසූ බව පැරණි ග්‍රන්ථවල දැක්වෙනවා. ඒ කාලයේ මහියංගණයේ විසූ යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් අතර මහා අරගලයක් ඇති වුණා. එදා මිනිබේ (අද මිනිපේ) යැයි හැඳින්වුණු ජනපදයේ පිහිටි මහානාග උයනට රැස්වූ මේ යක්ෂ ගෝත්‍රික දෙපිරිස දෙපසට බෙදී යුද වදින්නට සැරසී සිටින අයුරු බුදුරදුන් දිවැසින් දුටුවා. සිදුවෙන්නට යන මහා ජීවිත විනාශය තේරුම්ගත් බුදුන් වහන්සේ දඹදිව උරුවෙල් දනව්වේ සිට ඍද්ධියෙන් එම යුද පිටියට වැඩම කළා. 

උන්වහන්සේ බුද්ධත්වයට පත් ව එළඹුණු පළමු දුරුතු පෝය එයයි. අහසේ වැඩි සිටි බුදුන් වහන්සේ පත්කඩය බිම එළා වාඩි වීමට අවසර ඉල්ලුවා. අවසරය ලැබුුණු පසු එහි වැඩම කළ බුදුන් වහන්සේ එහිදී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ අතර ඒ දුටු අවි අමෝරාගෙන සිටි යක්ෂයන් දෙපිරිස බියට පත්ව ඈතට පලා ගියා. යුද මානසිකත්වය ඔවුන්ගෙන් ඉවත්කොට ඔවුන් සන්සුන් කළ බුදුන් වහන්සේ ඒ දෙපිරිසට දහම් දෙසුවා. අද අප මහියංගණයේ දී දකින, ‘පඨමක චෛත්‍යය’, මියුඟුණ සෑය, මහියංගණ මහා සෑය යන නම්වලින් හැඳින්වෙන චෛත්‍යය පිහිටුවා ඇත්තේ ස්ථානයේ බව පැරණි ග්‍රන්ථවල සඳහන් වෙනවා. 

ඒ පිළිබඳ වාර්තාවලින් කියැවෙන්නේ එදා බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දිව්‍යරාජයා ප්‍රධාන දිව්‍ය සමූහයක් ද එහි රැස්ව බුදු බණ ශ්‍රවණය කළ බවයි. ඒ බණ අවසානයේ දී සෝවාන් ඵලයට පත් සුමන සමන් දිව්‍යරාජයා වැඳුම් පිදුම් කරන්නට පූජනීය වස්තුවක් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ හිස පිරි මැද කේශ ධාතු මිටක් ගෙන සුමන සමන් දිව්‍යරාජයා අත තැබූ බවත් එම දිව්‍යරාජයා ඒවා රන්කරඬුවක බහා, බුදු පා පහස ලත් එම ස්ථානයේ සත් රියන් උස ඉඳුනිල් මිණි සෑයක් කරවා ඒවා තැන්පත් කළ බව වංශ කථාවෙහි සඳහන් වෙනවා. 

බුදුරදුන්ගේ ග්‍රීවා ධාතුව හා කේශ ධාතු නිදන් කර ඇති මියුඟුණු සෑය අද දිස්වෙන්නේ මෙසේයි.

මහියංගණ මහා සෑයේ නිදන් වස්තු ගැන තවත් සඳහනකින් කියැවෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පැවති ආදාහනෝත්සවයේදී බුදු සිරුර දැවෙමින් තිබිය දී සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයකු වූ සරභූ මහ රහතන් වහන්සේ විසින් ලබාගත් ග්‍රීව ධාතුව ද මේ සෑයේ නිදන් කළ බවයි. ඒ නිසා බුදුන් වහන්සේගේ ග්‍රීවා ධාතුවත් කේෂ ධාතුත් යන දෙනමම වැඩ සිටීම නිසා මේ සෑය විශේෂ වැදගත්කමක් උසුලනවා. ඒ වන විට මේ සෑය දොළොස් රියන් උසට ඉදි කළ බව සඳහන් වෙනවා. 

ඉන්පසු කලක් සඳහනක් නොමැතිව තිබී යළිත් මෙම වෙහෙර ගැන වාර්තා වන්නේ දෙවන පෑතිස් රජ සමයේ මෙය යළිත් පිළිසකර කොට තිස් රියන් උසට ඉදි කළ බවයි. ඒ කළේ එනිරිඳුගේ මලණුවන් වූ ශුද්ධ චූලාභය කුමරුන් විසිනැයි කියැවෙනවා. ඊළඟට මේ සෑය පිළිසකර කෙරුණේ දුටුගැමුණු මහ රජතුමා අතින් යැයි කියැවෙනවා. එතුමා එළාර සමග කළ යුද්ධයේ දී මුලින් ම බිඳ හෙළා ඇත්තේ මෙහි පිහිටුවා තිබූ එළාර රජුගේ බලකොටුවකි. එය බිඳ දමා මේ පෙදෙස අත්පත් කර ගත් පසු එය සලකුණු කරනු වස් දුටුගැමුණු රජතුමා මේ සෑය අසූ රියන් උසට යළි ඉදි කරවා තියෙනවා. 

එතැන් පටන් විවිධ රජවරුන් විවිධ වකවානුවල මේ චෛත්‍යය පිළිසකර කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. පොළොන්නරු රාජ්‍ය සමයේ දී පළමුවැනි විජයබාහු රජතුමාද කෝට්ටේ යුගයේ දී හය වන පැරකුම්බා රජුද මෙම දාගැබ ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වෙනවා. මහනුවර යුගයේදී වීර වික්‍රම, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, විජයරාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ද ‍‍මෙහි දියුණුවට වැඩ කළ බව දැක්වෙනවා. 

විදේශීය ආක්‍රමණ නිසා වරින් වර වනගත වූ මේ පින් බිම යළිත් පුනර්ජීවනයට පත් කෙරුණේ 1953 දී පිළිසකර කරනු සඳහා මුල්ගල තැබීමෙන් පසුවයි. එහි වැඩ නිමකරනු ලැබුවේ 1961 දී කොත් කැරැල්ල මුදුණේ චූඩාමාණික්‍යය පලඳවීමෙන් පසුවයි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments