සියවසකට පෙර ඉපිද ලාංකික ප්‍රාසංගික කලාව වෙනස් කළ චිත්‍රසේන

සියවසකට පෙර ඉපිද ලාංකික ප්‍රාසංගික කලාව වෙනස් කළ චිත්‍රසේන 1934 දී රබීන්ද්‍රනාත් තාගෝර් තුමා ශ්‍රී ලංකාවට සැපත්වීමත් සමග මෙරට විශාල කලා ප්‍රබෝධයකට මඟ පෑදුවා. ලංකාවේ තරුණයන් රැල්ලක් සේ ඉන්දියාව බලා යන්නට පෙලඹුණා. අද වර්තමානයේ ඇති තත්වයට අපේ රටේ සංගීත, නෘත්‍ය, ගීත ඇතුළු කලා ක්ෂේත්‍ර ගණනාවක විශාල ප්‍රගතියක් ඇති වී තිබෙන්නේ ඒ පෙලඹවීම නිසයි. ඒ වගේ ම එදා තාගෝර්තුමන්ගේ නාට්‍ය කණ්ඩායම මෙහි දැක්වූ රැඟුම්වලින් වශී වූ 13 හැවිරිදි දරුවෙක් නර්තනයට සිත් බැඳ ගත්තා. පියාට තමාගේ ආශාව සැල කළ පසු ඔහු පුතාට නැටුම් උගන්වන්නට තීරණය කළා. ඒ අනුව අල්ගම කිරිගණිතයා, මුදුන්නාවේ අප්පුවා හා බැවිල්ගමුවේ ලපයා යන ගුරුන්නාන්සේලාගෙන් නර්තනය හැදෑරීමට සැලැස්සුවා. 
ප්‍රාසාංගික නර්තන කලාවේ 
පෙරගමන්කරු - ආචාර්ය චිත්‍රසේන

ඔහු නමින් මොරිස් ඩයස්. ඔහු අවුරුදු 15 දී එවකට ප්‍රකට නාට්‍යශිල්පියකු ව සිටි ඔහුගේ පියා වූ සීබට් ඩයස් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘සිරිසඟබෝ’ නාට්‍යයේ රඟපාමින් සිය මංගල නර්තනය ඉදිරිපත් කළා. ඒ 1936 දී කොළඹ රීගල් සිනමා හලේ දියි. උඩරට නැටුම් කලාව උගත් ඔහු 1939 දී භාරතයට ගියේ කථකලි නර්තනය හදාරන්නයි. එහි දී ඔහුගේ මුල්ම ගුරුවරයා වූයේ ශ්‍රී ගොපිනාත්ය. ඔහුගෙන් පසුව කේරළ කලා මණ්ඩලම්හී නර්තනය හැදෑරූ මොරිස් ඒ කාලයේ ම උදය ශංකර්ගේ නාට්‍ය කලා මධ්‍යස්ථන‍යේත්, අසාම්, ලක්නව් හා ලාහෝර් ආදියෙහි පිහිටි කලා මධ්‍යස්ථානවලත් නැටුම් ශිල්පියකු වශයෙන් ද කටයුතු කළා. 

ඔහුගේ නර්තන අධ්‍යාපනය සම්පූර්ණ වූයේ ශාන්ති නිකේතනයේදියි. පළමු පෙළ සිසුවකු ලෙස සමත් වූ ඔහුට සමස්ත ඉන්දීය නර්තන උළෙලෙහි දී ඒකල නර්තනයක් ඉදිරිපත් කිරීමට ද එහිදී අවස්ථාව ලැබුණා. ඒක එරට සිසුවකුටවත් නොලැබෙන තරමේ දුර්ලභ අවස්ථාවක්. ඒ සමග ම, තාගෝර්තුමා ගේ මිනිපිරිය වූ නන්දිතා ක්‍රිප්ලානි සමග තාගෝර්ගේ ‘චණ්ඩාලිකා’ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟපාන්නට ද ඔහුට අවස්ථාව සැලැසුණා. 

1939 දී ඉන්දියාවට ගිය මොරිස් ඩයස් ආපසු 1943 දී ලංකාවට ආවේ චිත්‍රසේන ලෙසයි. ඒ වසරේ ම ඔහු මෙරට සිටි තරුණ නැටුම් ශිල්පීන් බෙර වාදකයන් එක්කොට, ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තන කණ්ඩායම වූ ‘චිත්‍රසේන නර්තන සංසදය’ පිහිටුවා ගත්තා. ඒමගින් සාම්ප්‍රදායික මෙන් ම කාලීන නැටුම් ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ඊළඟට ඔහු මෙරට මුල්ම සාම්ප්‍රදායික නර්තන පුහුණු පාසල පටන් ගත්තා. ඒ 1944 දියි. එය ‘චිත්‍රසේන කලායතනය’ නමින් හැඳින්වුණා. ආධුනික නර්තන ශිල්පීන් සඳහා ප්‍රථම විෂය මාලාවක් හා පළපුරුදු බෙර වාදකයන් නර්තන නිර්මාණ ශිල්පීන් සඳහා විධිමත් පුහුණු වැඩසටහනක්ද මුලින් ම ආරම්භ කෙරුණා. මේ අනුව දිවයින පුරා නර්තන ක්ෂේත්‍රයෙන් ඉදිරියට ඒමට සිටි පරම්පරා ගණනාවකම නර්තන ශිල්පීන්ට අවස්ථාව සැලසුණා. 

චිත්‍රසේන හා වජිරා මුද්‍රානාට්‍යය රංගනයක යෙදෙද්දී

චිත්‍රසේනයන්ගේ භාෂාව වූයේ නර්තනයයි. ඒ නිසා ඔහු අපට රසමිහිර බෙදුවේ නර්තනයෙන්. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ මුද්‍රා නාට්‍ය ශෛලියයි. කලින් මුද්‍රා නාට්‍ය දැක නොතිබුණු ශ්‍රී ලාංකික අපට එය නවමු අත්දැකීමක් වුණා. ඔහුගේ මුල් ම නිර්මාණය වූයේ ‘රාවණ’ මුද්‍රා නාට්‍යයයි. ඒ 1949 දීයි. එහි සංගීතය සුනිල් සාන්තගෙයි. ගීත රචනා හියුබත් දිසානායකගෙයි. ඒ මුද්‍රා නාට්‍යය සඳහා සුනිලුන් ගැයූ ‘සිහි කැරැ ඔබෙ රුව වැලපෙමි සොඳුරේ’ රාම වැලපිල්ල තවමත් ජනප්‍රිය ගීතයක්. එහි රාවණා ලෙස රංගනය චිත්‍රසේනගේය. සීතා ලෙස රඟපෑවේ අයිරාංගණී මීදෙනියයි (සේරසිංහයි). මුවාගේ මුද්‍රා රංගනය වජිරාගේය. 

එවකට සියලු ප්‍රබුද්ධ කලාකරුවන්ගේ තෝතැන්න වුණේ කොල්ලුපිටියේ ‘චිත්‍රසේන කලායතනය’යි. ඒ නිසා එවකට භාරතයෙන් පුහුණුව ලබා මෙහි ආ සංගීතඥයන්ටද එහි සංගීත පන්ති පැවැත්වීමට චිත්‍රසේනයන් අවස්ථාව සලසා දුන්නා. සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, ඩබ්ලිව්.බී.මකුලොලුව, අමරදේව, ලයනල් අල්ගම, සෝමදාස, ඇල්විටිගල, ප්‍රේමකුමාර එපිටවෙල, පනීභාරත, එදිරිවීර සරච්චන්ද්‍ර, ශේෂා පලිහක්කාර, වසන්ත කුමාර, සෝමබන්දු විද්‍යාපති ආදීන් ද ඒ අතර සිටියා. 

ඒ ගැන චිත්‍රසේනයන් ඔහුගේ මහර නිවසේ දී ‘සරසවිය’ පුවත්පත වෙනුවෙන් ආවර්ජනය කළේ මෙහෙමයි. ‘ඉන්දියාවේ සංගීතය හදාරා ලංකාවට ආපු අයට කොල්ලුපිටියේ තිබුණු මගේ කලායතනයේ පන්ති පවත්වන්න මම ඉඩ දුන්නා. එහෙම පන්ති පැවැත්වූ එක් කෙනෙක් තමා ආනන්ද සම‍රකෝන්. එයා ළමයින්ට ‘ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ’ කියමින් ගායනය උගන්වන කොට මට ඇහෙනව අනික් පැත්තෙන් සුනිල් ශාන්ත ළමයින්ට එයාගේ ‘ඕලු පිපීලා විල ලෙළ දෙනවා සුදට සුදේ නංගෝ’ කියන ගීය ගයන්න කියා දෙනවා. ඒ දෙකම මට ඇහුනේ එකම තනුවක් විදියටයි.’ චිත්‍රසේනයන් ඒ අතීතය මතක් කරමින් පෑ සිනහව මට අද වාගේ මතකයි. 

ප්‍රථම වෘත්තීය නර්තන වේදිනිය - වජිරා

චිත්‍රසේනයන්ගේ නිර්මාණ අතරින් මා මුලින් ම දු‍ටුවේ ‘කරදිය’ මුද්‍රා නාට්‍යයයි. 1961 දී පාසල් සිසුවකු ව සිටියදී ඉන් මා ලද ආස්වාදය අදටත් අමතක කරන්න බැහැ. ඔහුගේ මුද්‍රා නාට්‍යවලින් අපට නැවුම් ආස්වාදයක් ලැබුණා. ඊළඟට ආ ඔහුගේ ‘නල දමයන්ති’ මුද්‍රා නාට්‍යය සුවිශේෂ මතක සටහනක් අපට එක් කළා. එහි නල කුමරු හා දමයන්ති කුමරිය එක් කරන හංසිය ලෙසින් මුද්‍රා රංගනය ඉදිරිපත් කළ වජිරාගේ විස්මිත රංගනයත් ඇය දමයන්තියට නල කුමරු ගැන පවසන අවස්ථාවේ ඇසෙන වැනුමත් අපට කිසිදාක අමතක නොවන එකක්. එහි ආ ගීය ගායනය කළේ අමරදේවයන්. ලියුවේ මහගම සේකරයි. සංගීතය ලයනල් අල්ගමගෙයි. බලන්න! මේ ගිය කොයි තරම් ප්‍රශ්සත නිර්මාණයක්ද කියා. (මෙහි 'ලදලියන්' කියා ඇත්තේ යෞවනියන්ටයි.) 

ඈත කඳුකර හිමව් අරණේ - සීත චන්දන ලපලු සෙවණේ 

සුළං රැල්ලේ පාව එන්නේ - ඔහුගෙ නාමය වේ. 

සඳැල්ලේ මිණි තලාවේ - තාරකා පිපි වෙලාවේ 

ලදලියන්ගේ සීන අතරේ - මැවෙයි ඒ රූපේ 

රනින් කළ වන් පුළුල් උරයෙන් - හසුන් ළමදේ මුසු කරන්නේ 

හදේ මෝරන ආදරේ - සඳේ සොමි ගුණ යා කෙරේ 

සරාගී නිල් නුවන් බඳුනින් - නුරා ඉතිරෙන්නේ 

අපේ ගීත සාහිත්‍යයෙහි නෙයෙකුත් ස්ත්‍රී වර්ණනා රැගත් ගීත තිබුණත් පුරුෂ ගුණ වැයීමක් අසන්නට ලැබෙන එකම එක ගීය එයයි. එය දෙවැනි වන්නේ බෞද්ධ සාහිත්‍යයෙහි එන යසෝදරා දේවිය බුදුන්වහන්සේගේ ගුණ ගයන නරසීහ ගාථාවලට පමණයි. 

චිත්‍රසේනයන් නර්තන නිර්මාණ 30ක් පමණ සිය ජීවිත කාලය තුළ දී ඉදිරිපත් කළා. ඒ අතරින් කීපයක් මෙසේයි. ‘සාම විජය’ (1951), කරදිය (1961), නල දමයන්ති (1963), නෘතාංජලී (1965), කිංකිණි කෝලම (1978), ශිවරංග (1984) ආදිය කැපී පෙනෙනවා. 

චිත්‍රසේනයන් සිය තර්තන කණ්ඩායම සමග රුසියාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, කැනඩාව, පෝලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, එංගලන්තය, ජපානය ඇතුළු රටවල් විසි හයකට පමණ ගොස් ඔහුගේ රංගන වින්‍යාසයන් ඉදිරිපත් කළා පමණක් නොව අපේ දේශීය නර්තනයේ ඇති සුවිශේෂ රංගන විලාසයන්ගෙන් ලොව ම මවිත කළා. 

1951 දී චිත්‍රසේන විවාහ වූයේ ඔහුගේ දක්ෂම ශිෂ්‍යාව වූ වජිරා සමගයි. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය නාට්‍යවේදිනියයි. චිත්‍රසේන හා වජිරා යුවළට උපේඛා, අංජලිකා යන දියණියන් දෙනෙකුත්, අනුදත්තය නමින් පුතකුත් ඉන්නවා. මිණිබිරියන් වන හේෂ්මා, උමී හා තජී තිදෙනාත් නර්තනයට යොමු වී තියෙනවා. තුන්වන පරම්පරාව වන ඔවුන් අද වන විට නාරාහේන්පිට චිත්‍රසේන කලායතනය චිත්‍රසේනයන්ගේ උරුමය පවත්වා ගෙන යනවා. 

චිත්‍රසේනයන්ගේ ජන්ම ශත සංවත්සරය යෙදී තිබුණේ 2021 ජනවාරි 26 වැනිදාටයි. චිත්‍රසේනයන් උපදින විට නැටුම් කලාව පොදු ජනයා පිනවන ප්‍රාසාංගික අත්දැකීමක් ව තිබුණේ නැහැ. රජකාලයේ පටන් පැවති ආ නැටුම් කලාව යොදා ගනු ලැබුවේ දෙවියන්, රජුන්, වංශවතුන් පිනවීමට පමණයි. එසේ ම උඩරට හෝ පහතරට හෝ සබරගමු නැටුම් කලාව භාවිත වුයේ කංකාරි කර්ම, ශාන්තිකර්ම, දෙවොල් මඩු, ගම්මඩු තොවිල්පවිල් වැනි අවස්ථා සඳහායි. පොදු ජනයා රස වින්දේ ඒ අවස්ථාවලදී පමණයි. එහෙත් චිත්‍රසේනයන් මේ මුහුණුවර වෙනස් කළා. වර්තමානයේ අප අත් විඳින්නේ ඔහු කළ ඒ පෙරළියේ ප්‍රතිඵලයි. 

- පර්සි ජයමාන්න


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments