ගාමිණී වේරගම අලුතෙන් ලියන දේශීය සිනමා වංශය

මුල් ම සිංහල කතානාද චිත්‍රපටයේ මංගල දර්ශනය පෙන්වා මේ වන විට වසර 74ක් සපිරෙනවා. එය සැලකෙන්නේ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය පළමු වරට ප්‍රදර්ශනය වූ 1947 ජනවාරි 21 වැනිදා නිසයි. ඒ උත්සවය පැවැත් වුණේ කොළඹ කිංස්ලි සිනමාහලේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. ඒ නිමිති කොට ගෙන සිංහල සිනමා සාහිත්‍යයට එක්වූ අතිශය වැදගත් පොත් දෙකක් ගැන යමක් කියන්න මේ අවස්ථාව කර ගනිමි. ඒ ගාමිණි වේරගමගේ ‘දේශීය සිනමා වංශය’යි. ග්‍රන්ථ පෙළක් ලෙස කාණ්ඩ 3කින් නිකුත් කිරීමට සැලසුම් කර ඇති එහි ග්‍රන්ථ 2ක් දැන් නිකුත් වී ඇත. මෙය සරසවි ප්‍රකාශනයක්. මෙතෙක් පැවති ලොකු අඩුපාඩුවක් සම්පූර්ණ කිරීමක් ලෙස මෙය සලකන්න පුලුවන්. 
දේශීය සිනමා වංශකතාකරු - ගාමිණී වේරගම

‘මේ ග්‍රන්ථයට ඇතුළත් වන්නේ මගේ කියවීමයි. මේ යුගයේ බිහි වූ චිත්‍රපට අතුරින් තුනක් හැරෙන්නට අන් සියලු චිත්‍රපට නැරඹීමේ භාග්‍යය ලදිමි. එමෙන් ම වසර 35ක කාලයක් පුරා සිනමාව පිළිබඳ ව ගවේෂණයේ යෙදෙමින් නොයෙකුත් විචාර හා අධ්‍යයන කෙළෙමි. මේ නිසා අපේ සිනමාව පිළිබඳ මගේ කියැවීම පළ කිරීමට සුදුසුකමක් මා සතුවෙතැයි නිහතමානීව සිතමි. මේ යුගයේ සමහර පුරෝගාමී සිනමා විචාරකයන්ගේ ප්‍රකාශනවල උද්ධෘත ද අවශ්‍ය තන්හී පළ කෙළෙමි. එහි දී ප්‍රම්‍රඛතාව හිමි වූයේ ජයවිලාල් විලේගොඩටයි. ඔහු මෙම අවදියේ ප්‍රමුඛ සිනමා විචාරකයකු ලෙස තීරණාත්මක කාර්යයභාරයක් ඉටු කළ නිසා පමණක් ම නොවේ. ඒ අවදියේ දී සිනමාව පිළිබඳ ව අපගේ ද මාර්ගෝපදේශකයා වූ හෙයිනි. ඒ හැරෙන්නට මේ ග්‍රන්ථයේ එන්නේ සිනමාකරුවන් හා නිර්මාණ පිළිබඳ මගේ දැක්මයි.’ ගාමිණී ග්‍රන්ථයේ ප්‍රථම කොටස ආරම්භයේ දී ම සිය සුදුසුකම් හා අභිලාෂයන් හෙළි කරමින් කියයි. 

මෙවැනි ග්‍රන්ථයක් කරන්නට ගාමිණී වේරගම තරම් සුදුස්සෙකු තවත් නැතැයි යන්න මගේ හැඟීමයි. දිවංගත ආචාර්ය කරුණාරත්න විජේතුංග සූරීන් සංස්කරණය කළ ‘ශ්‍රී ලංකේය ඉතිහාසය’ (ගුණසේන 2012) සඳහා සිංහල සිනමාව පිළිබඳ පරිච්ඡේදය ලියන්නට ගාමිණී වේරගමට ඇරයුම් කරන්නැයි මා එතුමන්ට යෝජනා කළේත් ඒ නිසයි. එහෙත් මා යෝජනා කරන්නට කලින් ඔහු එය ලියන්නට තිස්ස අබේසේකරයන්ට ඇරයුම් කර තිබුණා. නමුත් තිස්සගේ හදිසි අභාවය නිසා මගේ ඉල්ලීමට යළි ඉඩ ලැබුණා. ඒ අනුව ගාමිණී ඒ කාර්යය ඉතා අපූරුවට ඉටු කළා. එතැනින් නොනැවතුණු ගාමිණී ඉන්පසු මහාචාර්ය මාලනී ඇඳගම විසින් සංස්කරණය කරන මහාවංශයේ නව සංස්කරණයටත් සිංහල සිනමාව පිළිබඳ පරිච්ඡේදයත් ලියා දුන්නා. සිංහල විශ්වකෝෂයේ චිත්‍රපටය පිළිබඳ පරිච්ඡේදය සම්පාදනය කළේත් ගාමිණී තමයි. 

එක් පරිච්ඡේදයක ඇති සීමිත ඉඩකඩක 74 වසරක සිනමාව ගැන ප්‍රමාණවත් පරිදි ලිපියක් ලිවීම අපහසු දෙයක්. ඒ ගැටලුව ජය ගන්නට තමයි, ඔහු මේ ග්‍රන්ථ ත්‍රිත්වය සම්පාදනය සඳහා අත ගැසුවේ. සිංහල සිනමාව ගැන හදාරන වත්මන් පරපුරට පමණක් නොව, අනාගත පරපුරටත් මෙය හස්තසාර ග්‍රන්ථ ත්‍රිත්වයක් වනවා නොඅනුමානයි. 

දේශීය සිනමා වංශයේ ප්‍රථම කාණ්ඩයේ කවරය

දේශීය සිනමා වංශයේ ප්‍රථම කොටසින් ගාමිණී සිංහල සිනමාවේ ආරම්භය ගැන මෙසේ කියනවා. ‘ප්‍රථම දේශීය කතානාද චිත්‍රපටය බවට පත්වීම සඳහා කඩවුණු පොරොන්දුව හා අශෝකමාලා අතර ඇති වූයේ තියුණු තරඟයකි. මේ තරඟයෙන් ජය ලැබුවේ නායගම් හා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ කඩවුණු පොරොන්දුවයි. එය ප්‍රදර්ශනය ආරම්භ කළ 1947 ජනවාරි 21 දේශීය කතානාද සිනමා වංශයේ සමාරම්භක දිනය ලෙස සැලකේ.’ යැයි කියා අරඹන ඔහු මුල්ම සිංහල චිත්‍රපටය තනන්නට ලංකාවෙන් ඉන්දියාවට ගිය පිරිස් අතර පැවති තරගය ගැන අපූරු විස්තරයක් කරනවා. ඒ විස්තරය සමග ඔහු ‘කඩවුණු පොරොන්දුව’ ගැන ජයවිලාල් විලේගොඩ කළ සඳහනක් ගැන ද මෙසේ කියනවා. 

‘කඩවුණු පොරොන්දුව සමග එතෙක් භාෂා 12ක් කතාකරමින් සිටි ඉන්දියානු සිනමාවට තවත් භාෂාවක් ලැබුණේ යැයි ජයවිලාල් පළ කළ මතය පුරෝගාමී අවදියේ සිනමාකරුවන් මුහුණ පෑ සුවිශේෂ සාධක නොතකා කළ නිර්දය ප්‍රකාශයක් වුව ද සැබෑව එයයි.’ ගාමිණී එසේ එය අනුමත කළත්, මට නම් හිතෙන්නේ, එවකට අපට සිටි ප්‍රබලම සිනමා විචාරකයා වූ ජයවිලාල් විලේගොඩ සිය ලිපිවලට ඇතුළත් කළ ආකර්ෂණීය උපහාස වදන් හා නිර්දය ප්‍රහාරයන් නිසා අමාරුවෙන් ඔළුව උස්සා ගන්නට හැදූ සිංහල අධ්‍යක්ෂවරුන්ට එක්තරා විදියකට හානියක් සිදුවුණා කියලයි. චිත්‍රපට නිෂ්පාදකවරුන් ඒ විවේචන අසා, ඔවුන් ඉන්දියාවෙන් ගෙනා දෙමළ අධ්‍යක්ෂවරුන්ට හානියක් නොකළත් සිංහල අය කපා හරින්නට මේ විවේචන යොදා ගත් බව කිවයුතුයි. 

අප එකල බොහෝ විට විලේගොඩගේ චිත්‍රපට විචාර කියවූයේ මේ උපහාස රසය නිසයි. මට මතකයි, ඔහු වරක් ‍'කපටිකම' චිත්‍රපටය විචාරය කරමින් එවැනි විකාර චිත්‍රපට බලන්නට යන අයට වමනය කරන්නට සිනමාහල්වල පඩික්කම් තියන්නට යැයි යෝජනා කළා. හොඳ චිත්‍රපටවලදී වුවත් ඔහු මේ උපහාසය අත්හැරියේ නැත. ඔහු ‘ගොළුහදවත’ විචාරය කරමින් ගොළුහදවතේ ප්‍රධාන නළුවා වික්‍රම බෝගොඩ නොව ප්‍රේමසිරි කේමදාස යැයි කීවා. එය එහි සංගීතයෙන් ඔද වැඩී කී දෙයක් වුනත් එවැනි කියමන්වලින් ලෙස්ටර්ගේ නිර්මාණශීලීත්වයටත් එහි නම සඳහන් කළ නළුවාගේ රංගනයටත් හානි සිදු වෙනවා. ‘වැලිකතර’ චිත්‍රපටය විචාරය කරමින් ජෝ අබේවික්‍රමගේ රඟපෑම් ගැන කීවේ ‘ලංකාවේ සිටින එකම ප්‍රධාන නළුවා තමා යයි ජෝ යළිත් වරක් ඔප්පු කර ඇති බවයි.’ ඒ කතාව මගින් ජෝ සමග එහි අනෙක් චරිතය රඟපෑ ගාමිණී පොන්සේකාට සැර පහරක් වැදුණා. 

මේ තත්වයම බ්‍රිතාන්‍යයේ සිටි මාරි සීටන් කියන ලෝකප්‍රකට සිනමා විචාරිකාව නිසා බ්‍රිතාන්‍ය සිනමාවේ නවක අධ්‍යක්ෂවරුන්ටත් මුහුණපාන්න සිදුවුණා. ඒ කාලයේ බ්‍රිතාන්‍යයේ නැඟී ආ ඇතැම් තරුණ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවල සාධනීය ලක්ෂණ තිබුණත් ඇගේ විචාර නිසා ඒවා ප්‍රේක්ෂකයන්ගේ ඇගයීමට ලක් වුණේ නැහැ. ඒත් ගාමිණී වේරගමගේ විචාර ඊට වඩා වෙනස් මගක් ගත්තා. කොතරම් දුර්වල චිත්‍රපටයක වුවද ඔහු දකින සුළු අගයක් හෝ ඔහු නොකියා සිටියේ නැහැ. එයින් හැමවිටම නිර්මාණකරුවන් දිරිමත් කෙරුණා. අපේ විචාරක පරපුර අතරින් ඔහු වඩාත් ප්‍රශස්ත සිනමා විචාරකයා ලෙස මා දකින්නේ ඒ නිසයි. එබැවින් දේශීය සිනමා වංශය විචාරත්මකව ලියන්න වඩාත් සුදුසු තැනැත්තා ඔහුයි. 74 වසරක සිනමාව ගැන ඉතාමත් සමබර විග්‍රහයක් ඔහු දැනට පළ කළ කෘතිවලින් කර තිබෙනවා. 

ගාමිණී ඔහුගේ කෘතියෙහි මෙසේ සඳහන් කරනවා. ‘දේශීය සිනමා වංශය (1898 – 1969) මෙරට සිනමාවේ ඓතිහාසික විකාශය පිළිබඳ ශාස්ත්‍රීය හා ප්‍රාමාණික අධ්‍යයනයක ප්‍රථම අදියරයි. කතානාද සිනමාවේ පූර්ව අවදියත්, කතානාද චිත්‍රපටය බිහි වූ පසු එළඹුණු දශකයේ එහි ඓතිහාසික ප්‍රවර්ධනයත්, විවිධ සිනමා ප්‍රවර්ගත්, එහි බිහි වීම කෙරෙහි බලපෑ සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රපංච මෙන් ම, ආදේශක කලා ක්ෂේත්‍රවල හැඩරුවත්, මේ විමර්ශනාත්මක කියැවීමෙන් ආවරණය කෙරේ.’ 

දේශීය සිනමාව පිළිබඳ මේ ආකාරයේ පුළුල් විමර්ශනාත්මක අධ්‍යයනයක් කර ඇත්තේ ප්‍රථම වතාවටයි. ගාමිණී දැඩි වෙහෙසක් ගෙන මේ කාර්යයේ නිරත වූ බව මේ කෘති දෙස බැලූ බැල්මට ම පෙනෙනවා. තනි පුද්ගලයෙකු මෙවැනි දැවැන්ත කාර්යයක් ඉෂ්ට කිරීම එක්තරා විදියක හාස්කමක්. ඇදහිය නොහැකි දෙයක්. මෙවැනි බරපතල කටයුත්තකට සාර්ථකව අත ගැසීමෙන් ගාමිණීගේ විශිෂ්ටත්වය එයින් ම පැහැදිලි වෙනවා. 

මේ කාර්යයේ විශිෂ්ඨත්වය නිසා ම ඔහුගේ කෘතිය වෙනුවෙන් 2015 ජාතික රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී වි‍ශේෂ සම්මානයක් ද හිමි වුණා. 2015 සිග්නිස් සිනමා උළෙලේ දීත් ඊට උපහාරයක් පිරිනැමුණා. ඇත්තෙන් ම මෙවැනි කෘතියක් පළ කිරීමට ඉදිරිපත් වීම ගැන එච්. ඩී. ප්‍රේමසිරි සරසවි අධිපතිතුමාත් පැසසුමට ලක්වෙනවා. 

චිත්‍රපටය අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ කාර්යය සේ සලකා ගාමිණී ඒ ඒ වසරවල තිරගත වූ චිත්‍රපට පිළිබඳ ඔහුගේ කියවීම ඉදිරිපත් කරන්නේ, ඒ වසරවල ඒ අධ්‍යක්ෂවරුන් සිනමාවට පිවිසි අනුපිළිවෙළ අනුවයි. එහි දී ඔහු අධ්‍යක්ෂවරයාගේ පසුබිම, සිනමාව පිළිබඳ දැනුම, නිර්මාණශීලී හැකියාව, ඔහු කළ චිත්‍රපට නිර්මාණය ගැන විග්‍රහයක් අපට කියවන්නට ලැබෙනවා. එසේම චිත්‍රපට ගැන වෙනත් විචාරකයන් කළ විග්‍රහයන් ද ඇතුළත් කරමින් චිත්‍රපටයට පසුබිම් වූ කරුණු ආදිය විමසා බලමින්, ඊට අදාළ තොරතුරු සෑම එකක් ම ගොනු කරමින්, ඉතාමත් සමබරව චිත්‍රපට පිළිබඳ තම මතය ඉදිරිපත් කරන්නට ගාමිණී ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීයයි. 

දේශීය සිනමා වංශයේ (1898 – 1969) ප්‍රථම කාණ්ඩයට පරිච්ඡේද වශයෙන් ඇතුළත් වන්නේ, සිනමාවට පිවිසීමට පෙර අවදිය, චිත්‍රපට ප්‍රදර්ශන ව්‍යාපාරය, දේශීය චිත්‍රපට නිෂ්පාදනය, කතානාද සිනමාවේ ආරම්භය, කතානාද සිනමා වංශය, 1947 – 1959 අවදියේ සෙසු විශේෂතා, දෙමළ භාෂීය සිනමාව, සිංහලට නැඟුණු විදේශ චිත්‍රපට ආදියයි.‍ මේ කාණ්ඩයට අයත් වන චිත්‍රපටවල කතා සාරාංශ, ගීත, නළුනිළියන් ආදී විස්තර ද ඇතුළත්. 

දේශීය සිනමා වංශයේ (1970 – 1979) ද්විතීය කාණ්ඩයට ඇතුළත් වන්නේ, ප්‍රථම කාණ්ඩ‍යට ඇතුළත් වූ ආකාරයට ම පෙළ ගස්වා ඇති විස්තරයක්. 1970 දශකය තුළ සිනමාවට බලපෑ සමාජ, දේශපාලන, ආර්ථික හා පරිපාලනමය වෙනස්කම් ගැන විග්‍රහයක් එහිදී සිදු කෙරෙනවා. ගාමිණි, මේ සාර සංග්‍රහය අපට ඉදිරිපත් කිරීම ගැන ඔබට තුති! තුන්වැනි කොටසත් ලියන්න! අපි ඒ අවස්ථාව උදාවෙන තෙක් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා!  

- පර්සි ජයමාන්න


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments