HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අතුල මංචනායක සහෘදයාගේ නික්ම යාම


විද්‍යා ලේඛකයකු ලෙස නමක් දිනා ගෙන සිටි අතුල මංචනායක මහතා පසුගියදා ඕස්ට්‍රේලියාවේ දී අභාවප්‍රාප්ත විය. ඒ වන විට 75 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා විජය පුවත්පත් ආයතනය ආරම්භයේදී ම එහි කර්තෘ මණ්ඩලයට එක් වූයේ ‘සිසුමිණ' අධ්‍යාපනික පුවත්පතේ කර්තෘවරයා ලෙසිනි. එහෙත් ඔහු විජය ප්‍රකාශන ආයතනයේ හැම කටයුත්තකට එකසේ දායක වූයේය. එහි ආරම්භක අවස්ථාවේ සිටම එහි සියලුම ජ්‍යෝතිෂ කාර්යයන් සිදු වූයේ ද ඔහු අතිනි. ඒ සමග ම කර්තෘ මණ්ඩලයේ කටයුතුවලට ද නොමඳ සහයක් ලබා දුන්නේය. 

වසර පහක් විජය ආයතනයේ පූර්ණ පුවත්කලාවේදියකු ලෙස සේවය කළ ඒ මහතා ඉන් ඉවත්ව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ (ප්‍රකාශන) ලෙස යළිත් රජයේ සේවයට බැඳුණේය. එහි වසර 14ක් සේවය කළ ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු නිදහස් ලේඛකයකු, ග්‍රන්ථ කර්තෘවරයකු හා ජ්‍යෙතිර්වේදියකු ලෙස ද කටයුතු කළේය. සිළුමිණ, ලංකාදීප, නවයුගය, දිවයින, විදුසර ඇතුළු පුවත්පත්වලට විශේෂාංග ලිපි සම්පාදනය කළ ඔහු තිස්පස්වසරක් තිස්සේ ඉරිදා ලංකාදීප පත්‍රයේ සතිපතා පලාපල කථනයද ‘විශ්වනාථ’ යන අන්වර්ථ නාමයෙන් ඉදිරිපත් කළේය.  
1968 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය හා දර්ශනවාදය පිළිබඳ උපාධිධාරියකු වූ ඔහු ගණිත ගුරුවරයකු වශයෙන් රජයේ විදුහල්වල සේවය කර ඇත. අධිමානසික විද්‍යාව, තාරකා විද්‍යාව හා ජ්‍යොතිෂය පිළිබඳ ගැඹුරින් හැදෑරූ අතුල ඒ පිළිබඳව පර්යේෂණාත්මක ග්‍රන්ථ 15ක් ද රචනා කර තිබේ. 

අතුල ජාතික පුවත්පත්වලට පිවිසියේ මා සමගය. ඒ ‘නවයුගය’ පුවත් පතෙනි. ඒ කාලයේ ශ්‍රී ලංකාව මෙට්‍රික් ක්‍රමයට හරවන්නට ආරම්භ වූ අවස්ථාවයි. අධිරාජ්‍යවාදී මිනුම් ක්‍රමය වූ සැතැපුම්, හොන්ඩර, රාත්තල්, බෝතල්, ගැලුම්වල ගිලී සිටිය අපට මෙට්රික් ක්‍රමය වූ මීටර, ලීටර, ග්රෑම්වලට මාරු වීමට සිදුවී තිබුණේය. ඒ අවස්ථාවේ ජනතාව අවුලට පත් ව සිටි බව වැටහුණු නිසා ඉතා ඉක්මනින් ලිපියක් පළ කිරීමට මට අවශ්‍ය විය. ඒ අනුව කොළඹ එන අතර මග බසයක් තුළදී හදිසියේ හමුවූ අතුල මංචනායක මහතාට මම මෙට්‍රික් ක්‍රමය ගැන ලිපියක් ලියන්නට ඇරයුම් කළෙමි. ඒ කාලයේ ඔහු නාලන්දාවේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කරමින් සිටියේ ය. ඉක්මනින් අවශ්‍ය බව කී නිසා ඔහු පසුවදාම ලිපිය ලියා ගෙන මා හමු වීමට ආවේය. ඔහුගේ කඩිනම් ප්‍රතිචාරය ගැන මම මවිත වීමි. 

ඒ ලිපිය ඉතා සරල බසින් පැහැදිලිව ලියා තිබුණේය. මෙට්‍රික් ක්‍රමය ගැන පුවත්පතක සිංහලෙන් පළ වූ පළමු ලිපිය එය විය. ඒ නිසා ම එය නවයු‍ගයේ පාඨක සංඛ්‍යාව ඉක්මවා විශාල පිරිසක් කියවූ අතර අතුලට ඉන් ලැබුණු ප්‍රතිචාරය අතිමහත් විය. එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. තමාගේ පළමු ලිපියට ලද ප්‍රතිචාරයෙන් උද්දාමට පත් ඔහු තවත් ලිපි ලියන්න කැමැත්ත පළ කළේය. මම ඔහුට තෝරා ගන්නට නව අදහස් ගොන්නක් දුන්නෙමි. ඒ අධි මානසික විද්‍යාව, පුනරුත්පත්ති පර්යේෂණ, තාරකා විද්‍යාව, ෆෙංෂුයි කලාව, යෝග ආදී විෂයයන් ඔස්සේ කැමති දෙයක් ලියන්නට යෝජනා කෙළෙමි. ඔහු අභියෝගය මුළුමනින්ම බාර ගත්තේය. එතැන් පටන් ඔහු නොකඩවා ලිපි ලිවීය. ෆෙංෂුයි ගැන සිංහලෙන් පළමුවරට ලිපියක් ලීවේද ඔහුය. ඔහුට පාඨක මිතුරු බස්වහරක් තිබුණේය. ගණිතය හා දර්ශනය උගැන්මෙන් ලද පන්නරය නිසා දෝ ඔහු ලියූ කිසිම ලිපියක කපා දැමිය යුතු වැල්වටාරම් ලීවේ නැත. පුවත්පත්වලට දැඩි ලෙස ඇලුම් කළ ඔහු පුවත්පත් කලාවේදීන්ට ද ඒ තරමටම ඇලුම් කළේය. වසරක් පාසා පැවැත්වෙන ලේක්හවුස් ආදීවාසීන්ගේ හමුවටද නොවැරදීම සහභාගි විය. 

1980 වසරේ ආරම්භයේ දී ලේක්හවුසියේ ජ්‍යෙෂ්ඨයන් වූ රෝලන්ඩ් අබේසිංහ හා ඇස්. සුබසිංහ යන මහත්වරුන් එහි සේවයෙන් විශ්‍රාම ගෙන විජය ප්‍රකාශන බිහි කිරීමට එද්දී සිළුමිණ කර්තෘ මණ්ඩලයේ රැකියාව අත හැර මමද ඔවුන් සමග ආවෙමි. අතුලත් නාලන්ද විදුහලේ රැකියාවෙන් අස්ව අප සමග එක්විය. ඒ ආරම්භක කාලයේ අපට වැඩ කරන්නට වූයේ ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ ය. ඔහුට ඒ දවස්වල ඒ 30 කාරයක් තිබුණේය. අප දෙදෙනා ‘සිසුමිණ’ පුවත්පතට ලිපි හා පාඩම් සපයන්නට හොඳම ගුරුවරුන් සොයා ගියේත්, ‘නවලොව’ පුවත්පතට සම්මුඛ සාකච්ඡා සඳහා ගියේත්, ‘සිරිකත’ කවරය සරසන්න බන්දු කොඩිකාර සමග නිළියන් සොයා ගියේත් ඔහුගේ ඒ කුඩා මෝටර් රථයෙනි. 

එකල දැන් මෙන් ‍පරිගණක අකුරු ඇමුණුම්, ඩෙස්ක් ටොප් පබ්ලිෂිං තිබුණේ නැත. වෙබ් ඕෆ් සෙට් ක්‍රමයට මුද්‍රණය කළ නිසා, ඊයම් අකුරු අමුණා ඔප කඩදාසියේ ලබා ගත්, ලිපි තීරු අලවා පිටු සැකසුම් කළ යුතු විය. අතුල ඒ හැම එකකටම දායකත්වය දුන්නේ දුටු සැණින් ඕනෑම දෙයක් අල්ලා ගැනීමට ඔහුට තිබූ කුසලතාව නිසාය. ඔහු ජ්‍යොතිෂයට යොමු වුණේ ඒ අනුවය. විදුහල්පතිවරයකු වූ ඔහුගේ පියා රැස් කර තිබූ පැරණි ‍සිංහල පොතපත අතර තිබූ ජ්‍යෝතිෂ පොත් ඇස ගැසුණු පසු ඔහු ඊට යොමු විය. එයින් සෑහීමකට පත් නොවූ ඔහු පෙරපරදෙදිග පොතපතට දෙසටද හැරුණේය. විවිධ ජ්‍යෝතිෂ න්‍යායන් හා ගුරුකුල ගැන හැදෑරුවේය. එහෙත් ඒවාට නතු නොවූ ඔහුට ඒ පිළිබඳව ඔහුගේ ම නිදහස් කියවීමක් තිබුණේය. ඔහු වෘත්තියක් වශයෙන් ජ්‍යෝතිෂය තෝරා ගත්තේ නැත. ඔහු අනුග්‍රාහකයන් දිරිමත් කළේ ඔහුගේ හැදෑරීමට හා පර්යේෂණවලට කේන්දර අවශ්‍ය නිසාය. කේන්දර රැගෙන උපදෙස් පතා ඔහු වෙත ආ අනුග්‍රාහකයන්ට මානසික උපදේශනයද ඔහුගෙන් නොමිලේම ලැබුණේය. විශ්‍රාම ලැබූ පසු ජ්‍යෝතිෂ පර්යේෂණ කටයුතුවලට වැඩි කාලයක් ගත කළේය. ඔහු සිය අත්දැකීම් ශ්‍රී ලංකාවේ පමණක් ඉන්දියාවේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන් සමගද නොමසුරුව බෙදාහදා ගත්තේ ය. 

කොතරම් වැඩ අධික වුවත්, කාර්ය බහුල වුවත් ඔහු පොතක් ලියන්නටත් වේලාව සොයා ගත්තේ ය. ඒ අනුව ඔහුගේ මුල්ම කෘතිය තාරකා විද්‍යාව පිළිබඳව ලියූ ‘රාත්‍රි අහස’ (1980) නම් විය. එය ජාතික විද්‍යා කවුන්සිලය (වර්තමාන ජාතික විද්‍යා පදනම) මගින් ප්‍රකාශනයට කරන ලද්දකි. ඉන්පසු ඔහු කර්තෘ ප්‍රකාශන ලෙස පළකළ පොත් රැසකි. ‘සසර සබඳතා සහ මිනිස් සිතේ අසිරිය’(1997) කෘතියෙන් පටන් ගෙන ඔහු ‘සසර සැරිසරන සිත’(1999), ‘සසර ගමන, ජීවිතය හා සතුට’ (2003), ‘භව අතර සැරිසරන විඥානය’ (2004), ‘භවය විඥානය හා කර්ම බලය’ (2005), ‘නොපෙනෙන ලොවක අසිරිමත් සිදුවීම්’ (2007) සහ ‘ක්වොන්ටම් භෞතිකය සහ ආධ්‍යාත්මික සංසිද්ධි’ (2017) යන කෘතීන් අධිමානසික විද්‍යාවට අදාළව ලියන ලද ඒවාය. 

ඔහු ජ්‍යෝතිෂය පිළිබඳව පර්යේෂණාත්මක කෘති කීපයක් ද සම්පාදනය කළේය. ඒවා අතර ‘ජ්‍යොතිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත’ (1999), ‘ජන්ම පල කථනයට නාඩි සිද්ධාන්ත’ (2006), ‘ජ්‍යෝතිෂ පර්යේෂණ ලිපි’ (2007), ‘කේන්ද්‍ර විග්‍රහයට නාඩි සිද්ධාන්ත’ (2011) ද වෙයි. අද ඔහුගේ කෘති මෙරට වෘත්තීය ජ්‍යෝතිශ්ශාස්ත්‍රයන් අතර බහුලව භාවිත වන හස්තසාර ග්‍රන්ථ බවට පත් වී තිබේ. 

අපේ සුමිතුරු ඇසුර අතහැර දරු සෙනෙහස සොයා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය අතුල අපට අහිමි වී ගියේ මීට වසර දෙකකට පෙරය. පසුගිය 19 වැනිදා ඔහුගේ සෙනෙහස ඔවුන්ට ද අහිමි විය. දයාබර බිරිඳ ඉන්ද්‍රාණිටත්, දරුවන් වූ මනෝරි හා වරුණටත්, මුනුපුරු මිනිපිරියන්ටත් අපේ පත්තර මිතුරන් ගේ ශෝකය මෙයින් පිරිනමමු. (අවසාන කටයුතු ජනවාරි 23 සෙනසුරාදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි රවුස් හිල් ආදාහනාගාරය්දී සිදු කෙරිණ.) 

- පර්සි ජයමාන්න

අතීතයට ගිය සොඳුරු මතකයන්... 


සිළුමිණ පත්තරයේ සහෘදයන් පිරිස (පසුකලෙක ලේක්හවුස් ආදීවාසීන් බවට පත් වූ එකමුතුව) 80 දශකයේ මැද හරියේ දී කැලණියේ බියගම විලේජ් හිදී හමු වූ අවස්ථාව - මේ ලිපියට අදාළ මිතුරා පසු පෙළ දකුණේ සිට තුන්වැන්නා ය. පිරිස පිළිවෙළින් - ඉදිරි පෙළ වාඩි වී. (වමේ සිට) එඩ්මන් රණසිංහ, සිබිල් වෙත්තසිංහ, බෙනඩික්ට් දොඩම්පෙගෙම, හේමා ගුණවර්ධන, ඇස් සුබසිංහ යන මහත්ම මහත්මීන්. 
සිටගෙන පළමු පෙළ - (වමේ සිට) පර්සි ජයමාන්න, තිලකරත්න කුරුවිට බණ්ඩාර, පී.බී. ඉලංගසිංහ, එන්. ජී. ධර්මවර්ධන, උදය මානවසිංහ, ජානක පෙරේරා, එල්. ඊ. සමරරත්න, (දෙවන පෙළ)- (වමේ සිට) ධර්මරත්න විජේසුන්දර, මහින්ද කරුණාරත්න, ජී. එස්. පෙරේරා, ඩී. සී. කරුණාරත්න, ලක්ෂ්මන් ජයවර්ධන. (තෙවන පෙළ) - ප්‍රභාත් මානවසිංහ, රාජා පෙරේරාගේ මිතුරා, රාජා පෙරේරා, අතුල මංචනායක, සිරි රණසිංහ යන මහත්වරු. (වසර 35කට පෙර ගත් ඡායාරූපයක්. මේ ඡායාරූපය ගත් ඩි. බී. ලියනගේ මෙන්ම, සිබිල් වෙත්තසිංහ, බෙනඩික්ට් දොඩම්පෙගෙම, හේමා ගුණවර්ධන, ඇස් සුබසිංහ, එන්. ජී. ධර්මවර්ධන, එල්. ඊ. සමරරත්න, ධර්මරත්න විජේසුන්දර, මහින්ද කරුණාරත්න, ජී. එස්. පෙරේරා, ප්‍රභාත් මානවසිංහ, අතුල මංචනායක ද අද අප අතර නැත.)

Post a Comment

2 Comments

  1. අපට මගහැරී යන්නට තිබූ පුවතක් අපවෙත ගෙනා ඔබට ස්තූතියි.

    ReplyDelete
  2. අතුල මංචනායක මහතා 2001 වසරේ මා එලි දැක්වූ මගේ කුළුදුල් විද්‍යා ප්‍රබන්ධ එකතුව දොරට වැඩීමේ උළෙලට සහභාගී වුණා. ඔහු ඉතාමත් හොඳ කෙනෙක්. එකල පාසැල් දරුවෙකුව සිටි මට ඔහුගේ පැමිණීම ඉතාමත් වැදගත් දෙයක් වුණා. එතුමා ගැන මෙතරම් විස්තර දැනගෙන හිටියේ නැහැ. මේ ලිපිය ලිවිම ගැන ඔබට ස්තුතියි. එසේම අතුල මහතාට සුභ ගමනක් පතමි !

    ReplyDelete