දැන් එවරස්ට් ශිඛරයේ උසෙහි කලින් පැවතියාට වඩා වෙනස් වීමක් සිදු වෙලා තියෙනවා. එය මේ ලෝකයේ උසම ශිඛරයේ කතාවේ අවසානය විය නොහැකියි. හිමාල කඳු වැටියේ මායිම් රටවල් වන නේපාලයත් චීනයෙත් එකතුවෙලා අලුතින් මේ ශිඛරයේ උස මැනලා දැන් ඔවුන් එකඟකත්වයට ඇවිත් තියෙනවා එහි උස දැන් ටිකක් වැඩිවෙලා කියල.
කලින් කලට සිදුවන භූවිද්‍යාත්මක වෙනස්කම් නිසා ශිඛරයක උස මනින එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. එ වගේ ම ලොව උසම කන්ද කුමක් දැයි තීරණය කරන්නත් හරියට නිවැරදි යැයි පිළිගත හැකි නිර්ණායකයකුත් නැහැ. ඒ නිසා තමයි මේ උසම කන්දේ කතාව තවමත් අවසන් නොවන්නේ.
කඳුවල උස වරින් වර වෙනස් වෙනවා. පෘථිවිය සෑදී ඇති භූකාරක (tectonic plates) තැටිවල චලනයන් නිසා ඇතැම් අවස්ථාවල කඳුවල උස වෙනස් විය හැකියි. ඒ වගේ ම භූකාරක තැටි හැප්පීමෙන් ඇති වන භූමිකමිපා නිසා කඳු මිටි වෙන්නත් පුලුවන්. සමහර විට විනාශ වී යන්නත් පුලුවන්. විවිධ වෙනස්වීම් හා ඊට එරෙහිව සිදුවන ප්‍රතිතෝලනයන් නිසා කාලයක් තිස්සේ ලොකු වෙනස් වීමක් නැතිව එකම ආකාරයට ම පවතිනවා. මෙහෙම කියන්නේ පසුගිය වසරේදී මුලින් ම එවරස්ට් කන්දේ උස මැන්න චීන ජාතික පිරිසේ එක් සාමාජිකයකු වූ ඩෑන් යැමින් තමයි.
‘සොබාදහම තමයි මේවයේ සමතුලිතතාව රකින්නේ’ ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් පසුගියදා චීනයේ ෂින්හුවා පුවත් සේවාවට කීවා. උදාහරණයක් වශයෙන් ඔහු 1934 දී සිදු වූ යෝධ භූමිකම්පාව නිසා වසර 150ක් තිස්සේ පැවති මුදුනේ නැග්ම සුළු වේලාවක් තුළ අහෝසි වී ගිය හැටි පෙන්වා දුන්නා.
කඳුවල උස මනින ක්‍රම ගොඩක් තියෙනවා. පසුගිය වසරේ නේපාල කණ්ඩායම චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන මිනුම් කළ හැකි ලකුණක් එවරස්ට් ශිඛරය මුදුනේ සවි කළා. ඒ මගින් මාර්ගෝපදේශක ජ්‍යොස්ථාපිත (GPS) චන්ද්‍රිකා මගින් එහි මුදුනෙහි නිවැරදිම තැන සොයා ගෙන එහි නිවැරදි උස මැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව වුණා.
චීන කණ්ඩායමත් ඒ වගේ ම ඔවුන්ගේ පැත්තෙන් මිනුම් ක්‍රියාවලියක් ආරම්භ කළා. ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ ඔවුන්ගේ බෙයිඩෝ (BeiDou) මාර්ගෝපදේශක චන්ද්‍රිකා පද්ධතිය හා වෙනත් මිනුම් උපකරණ යොදා ගෙනයි.
ඒ සමග ම නේපාල කණ්ඩායම පැරණි කෝණ මිනුම් උපකරණය වූ තියඩෝලට්ටුව ලෙසර් ක්‍රමය යොදා ගෙන නවීකරණය කර සකසා ගත් නව මෙවලමක් භාවිත කොට 1856 ත්‍රිකෝණමිතිය භාවිත කර කළ මිනුම් ක්‍රමයට නව මුහුණුවරක් දීමට ඔවුන් සමත් වුණා. ඒ වගේ ම නේපාල කණ්ඩායම බිම විනිවිද යා හැකි රේඩාර් යොදා ගෙන කඳු මුදුනේ රැඳුණු හිම තට්ටුවේ ඝනකමද මැන බැලුවා.
අවසානයේ දී චීනයත් නේපාලයත් මේ මිනුම් පරීක්ෂා කර බලා එවරස්ට් ශිඛරයේ උසෙහි නව උස පිළිබඳව එකඟත්වයකට ආවා. ඒ අනුව 2020 දෙසැම්බර් 8 වැනිදා ඔවුන් එකට එක්ව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා එවරස්ට් කන්දේ නව උස මුහුදු මට්ටමේ සිට මීටර් 8,848.86ක් (අඩි 29,032ක්) ලෙසට. මෙය එක් අතකින් ඒ දෙරට අතර ඇතිවී ගොන යන සහයෝගිතාවේ වර්ධනයක් සලකුණු කරන්නක්.
මේ අනුව නව උස මීටර් 0.86කින් එනම් අඩි 2කින් එවරස්ට් ශිඛරයේ උස වැඩි වී තියෙනවා. මේ වන තෙක් ඒ දෙරට අතර එවරස්ට් ශිඛරයේ උස පිළිබඳ පැවති මතභේදය මේ අනුව ඉවත් වෙනවා.
මුහුදු මට්ටමේ සිට උස මැනීම එක්තරා අයුරකින් දෝෂ සහගතයි. ඒ මොකද මුහුදු මට්ටම උදම් රළ මත වගේ ම, චුම්බකත්වය හා වෙනත් සාධක අනුවත් වෙනස් වෙන නිසා. දැන් මුහුදේ ජල මට්ටම වෙනස් වෙමින් යන නිසා මෙය ඉදිරියේ දී කඳුවල උස මැනීමට යොදා ගැනීම කළ නොහැකි දෙයක් වේවි.
මුහුදු මට්ටමේ සිට කරන මිනුම්වලින් බේරී ලෝකයේ උසම ජගතා වීමට එවරස්ට් හැකිවී තියෙන්නේ එය මුහුදින් ඈත උස්බිමේ පිහිටා තිබීමේ වාසිය නිසයි. ඒ නිසා මුහුදු මට්ටමේ වෙනස්වීම එයට බලපාන්නේ නැහැ.
ඒත් ලොව උසම කන්ද නිර්ණය කිරීමේ දී පෘථිවියේ අභ්‍යන්තරයේ හරි මැද සිට උස මිම්ම ගත්තොත් එවරස්ට් ශිඛරයට ඒ කන්ද අහලකටවත් ළං වෙන්න බැහැ. එක්වදෝරයේ තියෙන චිම්බරාසෝ (Mount Chimborazo) කන්ද එවරස්ට් කන්දට වඩා මීටර් 2,072ක් (අඩි 6,800ක්) උසින් වැඩියි. එයට හේතුව පෘථිවියේ මැද හරියෙන් වැඩියෙන් පිම්බී ඇති නිසයි. ඒ නිසා සමකය අසල පිහිටි කඳු පෘථිවියේ මැද සිට වැඩි උසකට විහිදෙනවා. හවායි දුපත්වලට අයත් මොනා කී (Mauna Kea) කන්ද ඔය හැම කන්දට ම වැඩිය උසින් වැඩියි. ඒ කන්දෙන් වැඩි හරියක් ඇත්තේ මුහුදු මට්ටමෙන් යටයි. එහි උස මීටර් 10,000කටත් වැඩියි. ඒ අනුව හරි නම් එය ලෝකයේ උසම කන්ද විය යුත්තේ එයයි.
- පර්සි ජයමාන්න
0 Comments