HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ළඟදීම යෝධ වල්ගා තරුවක් හා ග්‍රහකයක් පෘථිවියේ ගැටෙන්න එනවා!

යෝධ ග්‍රහකයක් හා වල්ගාතරුවක් පෘථිවිය බලා එනවා! පැයට හැතැප්ම 31.000ක වේගයෙන් අප කරා එන මේ වල්ගා තරුව හා ග්‍රහකය ස්ථිර වශයෙන් ම පෘථිවිය සමග ගැටෙනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. මේ පිළිබඳව ගණනය කිරීම් කළේ නිරීක්ෂණ මධ්‍යස්ථාන දෙකක්. එකක් කියන්නේ හෙට අනිද්දා ම, හරියටම කීවොත් 2021 පෙබරවාරි 28 වැනිදාට, වල්ගා තරුව පෘථිවිය මතට කඩා වැඩෙන බවයි. අනෙක් මධ්‍යස්ථානය කියන්නේ යෝධ ග්‍රහකය පෘථිවිය හා ගැටෙන්නේ 2027දී බවයි. 

සිත්තරකුගේ ඇසින් මේ දැක්වෙන්නේ ඩාට් යානය ඈත උඩුගුවනේ දී ඩිඩිමෝස් ග්‍රහකයෙහි 
හැපී එහි මග වෙනස් කරන්නට සැලසුම් කර ඇති ආකාරයයි.

නාසා ආයතනයත් මේ සම්බන්ධව පරීක්ෂාකාරීවයි ඉන්නෙ. ලෝක විනාශයකට බලපෑ හැකි මේ ග්‍රහ වස්තුව කෙළින්ම පෘථිවියෙහි හැපුණොත් ඊට මුහුණ දීමට ඔවුන් පෙරහුරු පවා පවත්වලා තියෙනවා. ඊට සහභාගි වූ අය හදිසියේ වල්ගා තරුවක් හෝ ග්‍රහකයක් හෝ පෘථිවියෙහි හැපුණොත් ඊට මුහුණ දෙන්නත් එයින් වන හානිය අවම කර ගන්නත් කළ හැකි දේ ගැන සාකච්ඡා කළා. 

අභ්‍යවකාශ ආයතනය වසර 20කටත් වැඩි කාලයක් තිස්සේ අහස පීරමින් පෘථිවියට ආසන්නව ඇති ග්‍රහ වස්තූන් ගැන සොයා බලමින් ඉන්නවා. මෙසේ පෘථිවියට ආසන්න ග්‍රහ වස්තූන් කියා හඳුන්වනු ලබන්නේ පෘථිවියට ආසන්නව, පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 50ක් ඇතුළත අවකාශයේ යමින් තිබෙන ග්‍රහක හෝ වල්ගාතරු වැනි වස්තූන් ආදියයි. 

මේ රූප සටහනෙන් දැක්වෙන්නේ හඳුනා ගත් දා සිට මේ වන තෙක් තෙවරක් සූර්යයා වටා ගිය 
ඒ ග්‍රහකය 2027 දී පෘථිවියේ හැපෙතැයි සැලකෙන ගමන් මගයි.

ග්‍රහකයක් අහසින් විත් පෘථිවිය හා වන ගැටීමක් ගැන හදිසියේ යළිත් අවධානය වැඩි වුණේ 2013 දී රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරයට හදිසියේ අහසින් කඩා වැටුණු ගිනි බෝලය නිසයි. ඒ ගැන අපි ‘මල්කැකුළු’වලින් ඒ අවස්ථාවේ දී පෙන්නුවා. උතුරු උරල් කඳුකරයට ඉහළින් අහස ආලෝකමත් කරමින් ආ ඒ උල්කාශ්මයට පෙරාතුව විශාල උල්කාශමයක් පෘථිවිය මත පතිත වූයේ 1908 දීයි. ඒ තුන්ගුස්කාවලටයි. එයින් වසර සියයකටත් පසුව තමයි, රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරය අසල ඒ තරම් ලොකු උල්කාශ්මයක් කඩා වැටුණේ. 

එය පෘථිවියෙහි හැපී සිදුවූ පිපිරීමෙන් නිකුත් වූ කම්පන තරංගයෙන් මිනිසුන් 1,600ක් තුවාල ලැබුවා. ඒ කම්පනය හිරෝශිමාවට දැමූ පරමාණු බෝම්බයෙන් ඇති වූ පිපිරී‍ම මෙන් 20 ගුණයක් තරම් විශාල එකක්. 

නාසා හා අනෙක් අන්තර්ජාතික විද්‍යා සංවිධාන ඉදිරි සතියේ දී එක් වී මේ පිළිබඳව කළ යුතු දෑ ගැන සාකච්ඡා කිරීමට නියමිතයි. 

මේ රූප සටහනෙන් දැක්වෙන්නේ ග්‍රහකය පෘථිවියෙහි හැපෙතැයි සැක කැරන තැන් හා 
ඒ එන මගෙහිදී පෘථිවියෙහි වැදීමට ඉඩ ඇති අවිනිශ්චිත මඟ දැක්වෙන්නේ රතු තිත්වලිනුයි.

පෘථිවියට ආසන්න ග්‍රහ වස්තූන් පෘථිවිය මතට කඩා වැටීම පිළිබඳව නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන රසායනාගාරය මගින් වැඩ සටහනක් ක්‍රියාත්මක කර තියෙනවා. මේ ග්‍රහක ගැටීම පිළිබඳ අවධානය යළිත් යොමු වුණේ 2019 මාර්තු 26 වැනිදා තාරකා විද්‍යාඥයන් විසින් පෘථිවිය හා ගැටීමට ඉඩ ඇති ග්‍රහකයක් ඇති සොයා ගැනීමත් සමගයි. එය නම් කර ඇත්තේ 2019 PDC කියායි. 

නාසා විද්‍යාඥයන් පැවැත්වූ සමුළුවේ දී වල්ගාතරුව පෘථිවිය හා ඝට්ටනය වුවහොත් ඇති විය හැකි 
තත්වයන් ගැන ද කතාබහ කෙරුණා. 2019 දී හඳුනා ගත් ඒ වල්ගා තරුව 2021 පෙබරවාරි 28 වැනිදා 
කඩා වැටුණොත් ඊට මුහුණ දෙන අයුරු ගැනත් කතා බහ කෙරුණා.

මේ ග්‍රහකයේ ගමන් මග පිළිබඳව මාස ගණනක් තිස්සේ කළ විමර්ශනයන්ගෙන් හා ගණනය කිරීම් වලින් පසුව ඒ ග්‍රහකය පෘථිවියට නක්ෂත්‍ර ඒකක 0.05ක දුරකින් යන බවත් ඒ නිසා එය පෘථිවිය හා නොගැටෙන බවත් හෙළිදරවු කර ගෙන තියෙනවා. නාසා ආයතනය කියන්නේ ඒ ග්‍රහකය පෘථිවිය හා ගැටීමට ඉඩකඩ ඇත්තේ සියයට එකක් පමණක්ය කියායි. එය මේ වතාවේ නොහැපුණත් සූර්යයා වටා ගොස් නැවත එන විට එනම් 2027 අප්‍රේල් 29 වැනිදා පෘථිවිය හා ගැටීමට ඉඩ ඇති බවයි. 

නාසා ආයතනය අභ්‍යවකාශයෙන් එන ග්‍රහකයෙන් එල්ල වන තර්ජනයට මුහුණ දෙන ආකාරය ගැන 
පෙරහුරු පවත්වනවා. කවයෙන් දැක්වෙන්නේ මීට කලින් මෙවැනි ග්‍රහකයක් කැනඩාවේ කුබෙක්හි 
පතිත වී ආවාටයක් සෑදුව තැනයි. මේ එවැනි එක් තැනක් විතරයි.

මේ ආන්දෝලනයට ලක් වී ඇති ග්‍රහකය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 57ක් දුරින් තිබි දීයි. ඒ අවස්ථාවේ එය තත්පරයකට කිලෝමීටර් 14ක වේගයෙන් එනම් පැයට හැතැප්ම 31,000ක වේගයක් සමග පෘථිවිය දෙසට එමින් සිටිනවා. එහි දීප්තිය එන්න එන්නම වැඩි වෙනවා. සති ගණනක් තිස්සේ කළ නිරීක්ෂණවලින් පසුව 2027 දී පෘථිවියට කඩා වදින බව කීවත් එහි ප්‍රමාණය ගැන තවම නිශ්චිතව නිගමනයකට ඇවිත් නැහැ. එය දිගින් මීටර් 100ත් 330ත් අතර එකක් විය හැකි යැයි අනුමානය කර තියෙනවා. 

පෘථිවිය දෙසට හඹාගෙන එන බවට මුලින්ම හඳුනා ‍ගෙන මාසයකට වඩා ගත වුණේ නෑ, ඒ ග්‍රහකය පෘථිවිය හා නොගැටී පෘථිවියට නක්ෂත්‍ර ඒකක 0.13ක දුරකින් අප පසු කර ගෙන ගියා. ඒ 2019 මැයි මාසයේදියි. (නක්ෂත්‍ර ඒකකයක් කියන්නේ පෘථිවියත් සූර්යයාත් අතර ඇති දුරට, එනම් කිලෝමීටර් 149,567,871කටයි.) ඒ ගමනේ දී සූර්යයා වටා යන මේ ග්‍රහකය ඊළඟ වතාවේ, එනම් 2027 දී එන විට පෘථිවිය එල්ල කර ගෙන එතැයි දැන් ගණන් බලා තියෙනවා. 

එක් නාසා විද්‍යාඥයකු කීවේ හානි විය හැකි ග්‍රහකයන්ගෙන් ‍ගැලවීමට නම් අධෝරක්ත කිරණවලින් ප්‍රතිබිම්බ ගත හැකි දුරේක්ෂයක් මගින් පෘථිවියට ආසන්න ග්‍රහ වස්තූන් කල් ඇතිව හඳුනා ගත යුතු බවයි.මෙහි දැක්වෙන්නේ 2015 දී කැටලිනා වල්ගාතරුව ඡායාරූපයට නැඟූ ආකාරයයි.

ඒ අවස්ථාවේ දී ඊට පිළියම් කරන්න ගත යුතු ක්‍රියාමාර්ග ගන්නට තමයි, විද්‍යාඥයන් එකතුවී සමුළුවක් පැවැත්තුවේ. එහි දී වල්ගා තරුව වැදීමෙන් සිදුවිය හැකි විපත පිළිබඳවත් සාකච්ඡා කළා. 2019 අප්‍රේල් 4 වැනිදා හඳුනා ගත් වල්ගා තරුව තමයි, ගණනය කිරීම් අනුව, 2021 පෙබරවාරියේ දී පෘථිවියට කඩා වැටෙන බව කියන්නේ. විශ්වාස කරන විදියට ඒ වල්ගා තරුවෙහි එක් කක්ෂයක් පූර්ණ කිරීමට වසර දහස් ගණනක් ගත වෙනවා. එහි මැද හරය කිලෝ මීටරයක් තරම් වන බවයි ඔවුන් කියන්නේ. 

නාසා ආයතනය කියන්නේ, තමන් පෘථිවියට ආසන්න ග්‍රහ වස්තූන්ගෙන් එල්ල වන තර්ජන පිළිගන්න උපක්‍රම සැලසුම් කරන බවයි. අප්‍රේල් 11 වැනිදා ඔවුන් කීවා රොකට්ටුවක් ග්‍රහකයට එල්ල කොට එහි ගමන් මග වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවයි. 

තාරකා විද්‍යාඥයන් කියන්නේ කිලෝමීටරයක් තරම් හරයක් ඇති මේ වල්ගා තරුව 
මේ සිතියමෙහි රතු තිත් ඇති ඕනෑම තැනකට පතිත විය හැකි බවයි.

දැන් ඉලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් (SpaceX) සමාගමත් ඊට එක් වී තියෙනවා. අත්හදා බැලීමක් ලෙස 2021 ජූනි මාසයේ දී ඔහුගේ ‘ඩාට්’ (DART) නමින් හැඳින්වෙන යානයක් යවා තල්ලුවක් දී ග්‍රහකයක ගමන් මග වෙනස් කරන්නට බලාපොරොත්තු වෙනවා. එය ඇමරිකාවේ කැලිෆෝනියාවේ වැන්ඩෙන්බර්ග් ගුවන් හමුදා කඳවුරෙන් ෆැල්කන් 9 රොකට්ටුවකින් 2021 දී උඩුගුවනට යවන අතර එය 2022 ඔක්තෝබරයේ දී කිලෝමිටර් මිලියන 11ක් ඈතින් අභ්‍යවකාශයේ සැරසරණ ඩිඩිමෝස් නම් ග්‍රාහකයට ළං වී එහි ගමන් මග වෙනස් කිරීමට බලපෑමක් එල්ල කරාවි. ඒ යානයේ දිග මීටර් දෙකහමාරක් වුනත් එය තල්ලු කරන ග්‍රහකය මීටර් 800ක් දිග එකක් බවයි කියන්නේ. 

ආචාර්ය ඇමී මේනිසර් කියන්නේ රාත්‍රි අහසේ ග්‍රහක ඡායාරූපයට නැඟීම ගල් අඟුරු ගොඩක් අඳුරේ 
දකිනවා වගේ අසීරු වැඩක් කියායි. ඒ නිසා ඇය යෝජනා කරන්නේ තාප තරංග හඳුනාගත 
හැති සුවිශේෂ කැමරාවක් භාවිත කොට වඩාත් නිවැරදිව ඡායාරූප ගත හැකි බවයි.

නාසා ආයතනයේ ග්‍රහක විද්‍යාඥයකු වූ ආචාර්ය ඇමී මේනිසර් කියන්නේ රාත්‍රි අහසේ දිස්වන ග්‍රහක පැහැදිලිව ඡායාරූපයට නැඟීම සඳහා නව පන්නයේ දුරේක්ෂයක් ඉදි කළ යුතුව ඇති බවයි. රෑ අහසේ දීප්තියක් නැති ග්‍රහකයක් ඡායාරූපයට නැඟීම ‘ගල් අඟුරු ගොඩක්’ අඳුරේ දකිනවා වගේ අසීරු වැඩක්. ඒ නිසා ඇය යෝජනා කරන්නේ තාප තරංග හඳුනාගත හැති සුවිශේෂ කැමරාවක් භාවිත කොට වඩාත් නිවැරදිව ඡායාරූප ගත හැකි බවයි. ඒ නිසා ඔවුන් 2019 අප්‍රේල්වලදී පෘථිවියට හානියක් කළ හැකි විශාල ග්‍රහක ඉක්මනින් හඳුනාගත හැකි වැඩසටහනක් ඇති කළා. ඉන් මීට වසර මිලියන 66කට පෙර පෘථිවිය මත කඩා වැටී ඩයිනෝසෝරයන් වඳ වීමට සැලැස්වූ ග්‍රහකය වැනි ඒවා හඳුනා ගන්න පුලුවන්. 

- පර්සි ජයමාන්න 

පහත සඳහන් වීඩියෝ නරඹන්න!

Post a Comment

0 Comments