HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පොළොවට වෙන දේ උඩු ගුවනේ සිට පෙන්වන විස්මිත ඡායාරූප පෙළක්!

ඇමරිකාවේ නාසා ආයතනය විසින් අලුතින්ම විස්මිත චන්ද්‍රිකා ඡායාරූප පෙළක් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කර තියෙනවා. ඇඟ කිලිපොළා යන දර්ශන 500කට අධික මේ ඡායාරූප ගොනුවෙන් දැක්වෙන්නේ අපේ පෘථිවිය කෙමෙන් විනාශය කරා ගමන් කරන අන්දමයි. සංවර්ධනයේ මුවාවෙන් මිනිසා කරන දේ නිසාත් දරුණු දේශගුණික විපර්යාස නිසාත් සිදුවන මේ විනාශයේ තරම මේ අපූරු ඡායාරූපවල දැක්වෙන වෙනස්කම් සැසඳීමෙන් ඔබට අවබෝධ කර ගත හැකියි.

මේ ඡායාරූප ගොනුවෙන් අඩක් සැරසී ඇත්තේ අතීතයේ එක් අවස්ථාවක් වර්තමාන‍ තත්වය අනුව සැසඳීමෙන්. අනෙක් අඩ සැරසී ඇත්තේ පෘථිවි‍යට දැඩි ලෙස බලපෑම් ඇති කළ සිදුවීම්වලින්. මෙහි දැක්වෙන්නේ එයින් තෝරාගත් කීපයක්. 

එක මක එක සිටින සේ සකසා ඇති මේ ඡායාරූප ගොනුව නම් කර ඇත්තේ ‘වෙනසක සේයා රූ’ කියලයි. මේ සේයා රූ එක් රැස් කර ගෙන ඇත්තේ අභ්‍යවකාශයෙන්. මේවාට ඇතුළත් වන්නේ පෘථිවිය මුහුණ දෙන දේශගුණික වෙනස්කම්, නාගරීකකරණය, ගංවතුර හා ලැව්ගිනි ආදියෙන් සිදුවන බලපෑම් තමයි. 

මේවාට ඇතුළත් වෙනවා නවසීලන්තයේ ග්ලැසියරවල හැකිළීම, සහරා කාන්තාරයට හිම වැටීම, කැනඩාවේ අයිස් දිය වීම, කොරෝනා වයිරසය නිසා චීනය වූහාන්වල සංචරණ සීමා පැනවීම, ආදී විවිධ පැතිවලින් ගත් ඡායාරූප රැසක්. 

ආක්ටික් මුහුදේ අයිස් තට්ටුවේ ඡායාරූප ගත්තේ 1984 දී හා 2020 දී. හිම මිදුණු කලාපයේ පැහැදිලි වෙනසක් ඒ වසර 36 තුළ සිදුවෙලා තියෙනවා. ‘අපේ නිරීක්ෂණයට ලක්වී තියෙන ආකාරයට මේ සියවස අවසන් වන විට ආක්ටික් මුහුදේ ගිම්හානයට ඉතුරුවන අයිස් තට්ටුව මුලුමනින් ම නැතිවී යාවි’ නාසා විද්‍යාඥ ජෝයි කොමිසෝ කියනවා. 

මේ ඡායාරූප ගොනුවට ඇතුළත් ඡායාරූප කට්ටලවලින් එකකික් දැක්වෙන්නේ අයිස්ලන්තයේ ඕකේ ග්ලැසියරය සම්පූර්ණයෙන් ම දිය වී යන ආකාරයයි. තවත් එකකින් ආජෙන්ටිනාව ගිලගත් ලැව්ගිනි කළ හානිය පෙන්වනවා. තවත් එකකින් පාකිස්ථානයේ ගංවතුර කළ හදිය කියා පානවා. 

වසර 42කක චන්ද්‍රිකා ඡායාරූප විමසා බලන ඇමරිකාවේ ජාතික හිම හා අයිස් පිළිබඳ දත්ත මධ්‍යස්ථානයට (NSIDC) අයත් පර්යේෂකයන් කියන්නේ, 2020 වසර තමයි, ආක්ටික් හිම තට්ටුවල වැඩිම දිය වී යාමක් වාර්තා කර තියෙන්නේ. ‘සාමාන්‍යයෙන් ගිම්හාන කාලයේදී අයිස් තට්ටු දිය වෙනවා. එවිට ඒවා පැතිර පවතින වපසරිය අඩුවෙනවා විතරක් නෙමෙයි, ඝනකමිනුත් අඩු වෙනවා. මෙය දෙපැත්තකින් සිදු වන විශාල හානියක්.’ යැයි ඒ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාක් සෙරේස් 2020 සැප්තැම්බර මාසයේ මේ දත්ත ඉදිරිපත් කරමින් පැවසුවා. 

ඇන්ටාක්ටිකා හිම තට්ටුවේ අවම තත්වය දකින්න ලැබුණේ 2012දියි. 1979 චන්ද්‍රිකාව ස්ථාපිත කළාට පසු 2013දී මේ තත්වය ටිකක් වෙනස් වුවත් දීර්ඝ කාලීනව සිදුවී ඇති මේ අඩුවීම හැත්තෑවේ දශකයේ අග භාගයේ සිටි මේ දක්වා ඇන්ටාක්ටිකාවට අහිමි වූ අයිස් ප්‍රතිශතය 12ක් යැයි සඳහන් වෙනවා. එය එන්න එන්නම වැඩි වෙන බවක් පෙනෙනවා. ආර්ක්ටික් අයිස් මෙසේ හැකිළෙන අතර සහරා කාන්තාරය අද්දරට වැටුණු අයිස් වැස්සක් ගැන ද නාසා වාර්තා කරනවා. 

ඒ වගේ ම, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ පරිසර දූෂණය 2020 වසරේ කෝරෝනා වසංගතය නිසා, වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමුවාට පසු පරිසර දූෂණය විස්මිත ලෙස අඩු වී පරිසරය අලංකාර වූ අයුරු දැක්වෙන සේයා රූ පෙළක් ද නාසා ඇසට හසුවී තියෙනවා. 

මේ ඡායාරූප සියල්ල අන්තර්ක්‍රියාකාරී ක්‍රමයට නාසා වේබ් අඩවියේ ප්‍රදර්ශනයට ‍ගොනු කර තියෙනවා. එයින් තෝරා ගත් කීපයක් විතරයි, මෙහි ඇතුළත් තියෙන්නේ. ඒ ඡායාරූප සසඳා බැලීමට ඔබ විසින් කළ යුත්තේ ඒවායේ ඇති සිරස් රේඛාව මත කර්සරය තබා එහා මෙහා ගෙන යාමයි. 

ආක්ටික් මුහුදේ අයිස් තට්ටුව 2012 දී වාර්තා ගත වී ඇති අවම තත්වය


එය 1984 දී පැවති ආකාරය. ‘මෙහි අයිස් දිය වී ඇති ආකාරය අනුව ආක්ටික් ප්‍රදේශයේ ගිම්හාන අයිස් තට්ටුව මේ සියවස අවසානය වන විට සම්පූර්ණයෙන්ම අතුරුදන් වේවි’ නාසාහී විද්‍යාඥ ජෝයි කොමිසෝ කියනවා. 


මේ වර්ණ යොදා ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ පාකිස්ථානයේ නිරිතදිග පිහිටි සින්ද් පළාත 2020 මෝසම් වැසි සමග ඇති වූ ගංවතුරට පෙර හා පසු තත්වයයි. 


මෙහි ඇති ඡායාරූපය 1941 දී ගත් එකක්. ඇලස්කාවේ මියුර් ග්ලැසියරය හා එහි ශාඛාවක් වූ රිග්ස් ග්ලැසියරයේ.

2004 වන විට රිග්ස් ග්ලැසියරය මීටර් 640ක් ඈත් වී අයුරු හා ඒ ග්ලැසියර දෙකම තුනී වී ඇති අයුරු. 

ලෑන්ඩ්සැට් 7 චන්ද්‍රිකාව 2016 දී ගත් මේ ඡායාරූප දක්වන්නේ සහරා කාන්තරයේ අද්දරට හිම පතිතවන අයුරුයි. 

දෙසැම්බර් 27 වැනිදා ගත් දකුණේ ඡායාරූපයෙන් පෙනෙන්නේ ඒවා ඊළඟ මොහොතේ දිය ගොස් අති අයුරුයි. 

2011 දෙසැම්බරයේදී රතු මුහුදේ යමහලක් විදාරණය වූ අන්දම හා ඉන් නව දූපතක් මතු වූ ආකාරය දැක්වෙනවා. මෙය 2007 දී (වමේ) පැවති අයුරුත් 2011 දී පවතින ආකාරයත් සසඳා බලන්න. 

මේ ඩුබායි නගරය, පර්සියන් ගල්ෆ්හී පිහිටි, එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට අයත්. 2001 දී ඔවුන් ඩුබායි මුහුදු තීරයේ කෘත්‍රිම අර්ධද්වීපයක් තනන්න පටන් ගත්තා. 

එහි ප්‍රතිඵල 2012 දී ගත් මෙහි ඇති ඡායාරූපයෙන් පෙනෙනවා. 

පැයට කි.මී. 80ක වේගයෙන් හමා ගිය සුළං නිසා කැලිෆෝනියාවේ අක්කර ලක්ෂයක් ලැව්ගිනිවලින් විනාශ වී ගිය අයුරු

2017 ඔක්තෝබර් 8 වැනිදා ආරම්භ වූ හය 11 වැනිදා අවසන් වූ අයුරු. 

ආජෙන්ටිනාවේ පැම්පාස් ප්‍රදේශයේ විසි හතර වතාවක් පමණ සිදු වූ ලැව්ගිනි නිසා අක්කර මිලියන 2.5ක් පමණ විනාශයට පත් වුණා. මුල්ම ලැව්ගින්න ඇති වුණේ බහියා බ්ලැන්කා නගරයට වයඹදිගින්. 2016 දෙසැම්බර් 22 වැනිදා ගත් ඡායාරූපයේ කුඩා රතු පැහැ ලපයෙන් පිලිස්සුම දැක්වෙනවා. 

2017 ජනවාරි 7 වැනිදා ගත් ඡායාරූපයෙන් ආජෙන්ටිනාවේ ලා පැම්පා හා රියෝ නිග්‍රෝ පළාත් ලැව්ගිනි නිසා විනාශ වූ ආකාරය විශාල රතු පැල්ලම්වලින් පෙනෙනවා.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments