HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අතීතයේ වෙළඳාම, භාණ්ඩ හා සේවා හුවමාරුව සිදුවූ හැටි!

අතීත සිතුමිණි 6 

වෙළෙඳාම 

ක්‍රිස්තු පූර්ව 150,000 පමණ. 


වෙළඳාමට පදනම වූ භාණ්ඩ හා සේවා හුවමාරුව මානවයා විසින් ආරම්භ කළේ ලිඛිත ඉතිහාසය බිහිවන්නට බොහෝ ඈත කාලයක සිටයි. වසර 150,000ක් තරම් ඈත කාලයකදී එය සිදුවන්නට ඇතැයි සිතිය හැකි සාධක හමුවී තියෙනවා. ඒ බව ලෝකයට හෙළිදරවු කළේ පීටර් වොට්සන් කියන බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයායි. 

නව ශිලා යුගය (Neolithic period) ආරම්භ වෙද්දී ක්‍රි. පූ. 10,000ත් 20,000ත් අතර කාලයේ දී මානවයා නගර ඉදිකිරීමට, කෘෂිකාර්මික ප්‍රජාවන් ඇති කිරීමට පෙලඹෙද්දී වෙළඳාම මිනිසාගේ ජීවිතයේ ඉතා වැදගත් කොටසක් බවට පත් වී තිබුණා. ඒත් වෙළඳාම බිහි වීමට මුල් වූ ඒ භාණ්ඩ හුවමාරුව පිළිබඳ නව අදහස මිනිසා තුළ ඇති වූයේ ඊට බ‍ොහෝ කාලයකට පෙරයි. 

එක තැන රැ‍ඳ‍ෙමින් කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවුණු මිනිස් සමාජය තමන්ට අවශ්‍ය තරම් ආහාර නිපදවා ගන්නට හැකි වූ පසු මිනිසාගේ හිත ඇදී ගියේ මෙවලම් තැනීමට අත්කම්වලට. ඔහු විවිධ අත් මෙවලම් පමණක් නොව විවීමටත් හැකියාව ඇති කර ගත්තා. එයින් නව වෘත්තීන් ඇති වුණා. අත්කම් තනන ජනතාව තමන් තනන අතිරික්ත ඒවා වෙනත් අය එක්ක ආහාරවලට හුවමාරු කර ගත්තා. නැතිනම් වෙනත් තමන් ළඟ නැති දෙයක් සමග හුවමාරු කර ගත්තා. එවැනි අත්කම්වලට ප්‍රසිද්ධ ගම්මාන ගැන ඒවා අවශ්‍ය අනික් පළාත්වල අයට දැන ගන්න ලැබුණා. 

දුර නිසා හුවමාරුව අපහසු වූ විට ඒ ගම්මාන අතර සම්බන්ධ කම් ඇති කරන්නට කෙනෙකු අවශ්‍ය වුණා. ඒ හුවමාරුව තමයි පසුව වෙළඳාමට මග පෑදුවේ. ඈත ගම්මානයක අයෙකු තනන අතිරික්ත දෙයක් ගන්න ඒ සඳහා අවශ්‍යතාව ඇති වෙනත් ගම්මානයක අයෙකුට පැමිණීමට නොහැකි විටෙක ඒ අතරට අතරමැදියෙක් ආවා. ඒ නිසා තවත් අලුත් වෘත්තියක් ඇති වුණා. වෙළෙඳාමයි වෙළෙන්දයි බිහි වුණේ ඒ අවස්ථාවෙදියි. 

ක්‍රි. පූ. 3000 දී තරම මිසපොටේමියාවේ සිටි සුමේරියන්වරුන් මුලින් ම දුර පළාත්වලට ගියේ කුළුබඩු වැනි නෑම රස කරන දේ සොයා ගෙනයි. ඔවුන් ඉන්දු නිම්නයේ හරප්පා ශිෂ්ටාචාරයට අයත් නගර අතර (වර්තමානයේ පාකිස්ථානය) වෙළෙඳ කටයුතු සඳහා වෙළෙඳ මාර්ග තනාගෙන තිබුණා. මානව ඉතිහාසයේ පළමුවරට වෙන්න ඇති ඔවුන් මෙසේ නගර යා කිරීම අරඹන්න ඇත්තේ. මේ වෙළඳාම නිසා මානවයා ලොකු පිම්මක් පැන්නා. 

ඒ කාලයේ මිසපොටේමියානුවන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පුරා ගියේ ප්‍රධාන වශයෙන් කුළුබඩු, රෙදිපිළි හා වටිනා ලෝහ වර්ග එකතු කරමිනුයි. චීනයත් ඒ සමකාලීනව ඔවුනගේ හරිතමණි (jade), කුළුබඩු ආදියත්, පසුව සේද රෙදිපිළිත් රැගෙන යුරෝපය දෙසට ගියා. පසුව ෆීනීෂියන්වරුන් මුහුදු මාර්ග ඔස්සේ මධ්‍යධරණී මුහුද හරහා උතුරු දෙසට ගියා බ්‍රිතාන්‍යය තෙක්, ලෝකඩ තනන්නට අවශ්‍ය ටින් සොයා ගෙන. 


වෙළඳාම තමයි රටක ජාතියක ආර්ථිකය නංවන යාන්ත්‍රණය වුණේ. ඒවා මගින් අන්තර් සමාජ සම්බන්ධතා ඇති වුණා. රටරටවල දේශපාලන වෙනස්කම් ඇති කළා. අදහස් හුවමාරුවට මග පෑදුවා. බඩු භාණ්ඩ විතරක් නෙවෙයි, භාෂාවල හා සංස්කෘතිවල හුවමාරුවටත් සිරිත් විරිත්වල ව්‍යාප්තියටත් මෙය උපකාර වුණා. මේ සංචාරක වෙළෙන්දා නිසා සම්පත් සංසරණය සිද්ධ වුණා. විවිධ ප්‍රදේශවල ජනතාව අතර ධනය හුවමාරු වුණා. ඒ සමග ලෙඩ රෝග ආදියත් පැතිරුණා. 

මුල දී මුදල් පරිහරණයක් තිබුණේ නැහැ. භාණ්ඩ හුවමාරුව පමණයි, සිදු වුණේ. අතරමැදියන් නගර හා ගම්මාන අතර යමින් ඔවුන්ට අත්‍යවශ්‍ය ‍දෑ ගෙන ගොස් ඒවා ඔවුන්ගේ නිෂ්පාදනවලට හුවමාරු කරමින් ඒවා රැගෙන වෙනත් ප්‍රදේශවලට ගොස් ප්‍රජාව සමග හුවමාරු කිරීමයි. ඉල්ලුම අනුව මේ ක්‍රමය වැඩි දියුණු වුණා. මේ ක්‍රමය වඩාත් ව්‍යාප්ත වෙත්ම තවත් අපූරු දෙයක් සිද්ධ වුණා. ඒ විවිධ පළාත්වල සිදුවන ආරංචි හුවමාරු වීමයි. ඒ සමග ම රටපුරා පවතින ජනකතා, උපමා කතා, උපහැරණ ආදියත් ව්‍යාප්ත වුණා. 

වෙළඳාම ශක්තිමත් වුණේ මුදල් භාවිතයට ආවාට පසුවයි. එය කුමන ජාතියක් විසින් හඳුන්වා දුන්නේ දැයි නිශ්චිතව කියන්න බැහැ. ඒත් ඉතිහාසඥයන් කියන්නේ ක්‍රි. පූ. 5000 දී තරම මිනිසා ලෝහ වස්තු මුදල් වශයෙන් හුවමාරු කර ඇතැයි සිතිය හැති බවයි. ක්‍රි. පූ. 700 දී තරම ලීඩියා දේශයේ (වර්තමාන තුර්කිය) කාසි භාවිත වෙලා තියෙනවා. ලිඩියන්වරු නිපදවූ රන් කාසි දැන් හමු වී තියෙනවා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments