HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

45,500ක් පැරණි ඌරෙකුගේ සිතුවමක් ඉන්දුනීසියාවෙන් සොයා ගනියි!

ලෝකයේ පැරණිම සත්ව රූප සිතුවම යැයි සැලකෙන වසර 45,500ක් පැරණි බිතුසිතුමක් ඉන්දුනීසියාවෙන් හමුවෙලා තියෙනවා. මේ සිතුවම හමුවී ඇත්තේ ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපතේ ලෙනකිනි. ඔස්ට්‍රේලියාවේ හා ඉන්දුනිසියාවේ පර්යේෂකයන් පිරිසක් විසින් තමයි, මේ සොයා ගැනීම කර ඇත්තේ. ඔවුන් කියන විදියට මෙය මෙතෙක් ලෝකයේ හමුවී ඇති ජීව ප්‍රමාණයේ පැරණිතම සත්ව රූප සටහනයි. ලීනින් ටෙඩොන්ගේ ලෙනෙන් හමුවී ඇති මේ රූපයෙන් නිරූපණය වන්නේ වල් ඌරෙක්. 

මේ ලෙන් චිත්‍ර අතර ඌරන් දෙනෙකු‍ගේ චිත්‍ර දකින්න පුලුවන්. ඉන් ලොකු රූපයට වඩා කුඩා රූපය වසර 13,500ක් වයසින් අඩු බවයි ඔවුන් කියන්නේ. එය හමු වී තියෙන්නේ ලීනින් ටෙඩොන්ගේ ලෙනට දකුණෙන් පිහිටි ලීනින් බලන්ගජියා ලෙනෙන්. 

‘මේ චිත්‍ර අතර අත්වල වට රූප හතරක් හා හොඳින් ආරක්ෂා වී නැති සත්ව රූප කීපයකුත් තියෙනවා. මේ වල් ඉනි ඌරාගේ චිත්‍රයෙහි හිසේ ඉහළට විහිදුණු කෙටි කේසර පොකුරක් තියෙනවා. ඇස් අසල අං වගේ ඉදිරියට නෙරා ගිය ඉන්නන් බඳු ගැට දෙකක් විහිදී තියෙනවා. මෙයින් නිරූපණය වන්නේ සුලාවෙසි නිජබිම් කර ගත් හොඳින් වැඩුණු ඉනි ඌරෙක්.’ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥයකු වූ මහාචාර්ය ඇඩම් බ්රූම් කියනවා. ඔහු තමා මේ පර්යේෂණයෙහි නිබන්ධනයේ කතුවරයා. 

වසර 45,000ක් පැරණි මේ ඉනි ඌරාගේ සිතුවම හමුවී ඇත්තේ 
ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපතේ ලීනින් ටෙඩොන්ගේ ලෙනෙනි.

‘රතු පැහැයෙන් මේ චිත්‍ර ඇඳ ඇත්තේ අනිත් ඉනි ඌරන් දෙදෙනා සමග සටනකට හෝ අනංග රංගයකට සැරසෙන නිසා විය යුතුයි.’ මහාචාර්යවරයා කියනවා.’ 

පර්යේෂකයන් පැහැදිලි කරන විදියට මේ වගේ අරුත් බර සිතුවම් පැරණි ලෙන් චිත්‍රවල දැකිය හැකි දෙයක් නෙවෙයි. මේ පිරිස මෙවැනි සිතුවම් ගැන විශේෂඥයන්. ඔවුන් තමයි මිට පෙර ලොව පැරණිම ලෙන් සිතුවම් වූ වසර 43,900ක් පැරණි සිතුවම් සොයා ගත්තේ. 

ඒ සිතුවම්වලට ඇතුළත් වුණේ සුලාවෙසි දූපතේ ආදීම මිනිසුන් ඉනි ඌරන් හා බෝවිඩ් ගවයන් දඩයම් කරන ආකාරයයි. මීට වසර දස දහස් ගණනකට පෙර සුලාවෙසි වැසියන් ඉනි ඌරන් හා බෝවිඩ් ගවයන් දඩයම් කළ බව මේ සිතුවම්වලින් පෙනෙනවා. මේවා ගැන පර්යේෂණ කළ හැක්කේ වියළි කාලයේ දී විතරයි. අනෙක් කාලයේ දී ගංවතුර නිසා මේ ලෙන් බොහොමයක් මුළුමනින් යට වෙලයි තියෙන්නෙ. 

මේ ඉනි ඌරන් දෙදෙනාගේ සිතුවම් හමු වී ඇත්තේ 
ඒ දූපතේම පිහිටි ලීනින් බලන්ගජියා ලෙනෙන්.

මේ සිතුවම්වල දින නිර්ණය කර ඇත්තේ යුරේනියම් ශ්‍රේණිය යොදා ගෙනයි. ඒකෙන් තමයි දෙවැනි ලෙනේ ඇති සිතුවම් වසර 32,000ක් පැරණි යැයි දින නිර්ණය කරනු ලැබුවේ. මේ දුපතට අමතරව වාලෙයිසී දූපත්වල ලෙන්වල මෙයටත් වඩා පැරණි සිතුවම් හමු වී තියෙනවා. මීට වසර 65,000කට පෙර ආදී මානවයින් ආසියාවේ සිට ඉන්දුනීසියානු දූපත් හරහා වාලෙයිසී දූපත් ඔස්සේ නිව්ගිනියා දූපත් හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලට සංක්‍රමණය වෙන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. 

- පර්සි ජයමාන්න 

වීඩියෝව සඳහා පහත බලන්න!                        

Post a Comment

0 Comments