HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර මිලියන 100කට පෙර පිපිණු මලක් මියන්මාරයෙන් හමුවේ!

අද ලැබූ 2021 වසර ඔබට හැම අතින්ම සුබ ම සුබ නව වසරක් වේවායි! පතන්නේ වසර කෝටි 10ක් පැරණි මල් පොකුරකින්. මේ මල් පොකුර එන්නේ ඇමරිකාවෙන් හා මියන්මාරයෙන්! 

වසර මිලියන 100කට පෙර පිපුණු මේ මල ඒ අයුරින්ම 
සැතැපුම් 4000ක් මග ‍ගෙවා පසුගිය දා මියන්මාරයෙන් මතුවුණා.

ඇමරිකාවේ ඔරෙගන් ජනපද රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෙතෙක් හඳුනා නොගත් අවුරුදු කෝටි 10කට පෙර ‘පිපුණු මලක්’ සොයා ගෙන තියෙනවා. ඒ මල මෙතෙක් හඳුනා නොමැති ‘අලුත්’ ශාක ප්‍රභේදයකට අයත් එකක්. වර්තමාන මියන්මාරයෙන් (කලින් බුරුමයෙන්) සොයා ගෙන ඇති සපුෂ්ප ශාක ප්‍රභේදයක් වන එය ක්‍රිටේසිය අවධියට (Cretaceous Period) අයත් එකක් ලෙසයි, සැලනේනේ. උද්භිද විද්‍යා නාමකරණයට අනුව ඔවුන් එය හඳුන්වා ඇත්තේ වැල්විලෝකියුලස් ප්ලෙරිස්ටමිනිස් (Valviloculus pleristaminis) කියායි. 

මේ අලංකාර මල හමු වුණේ වර්තමානයේ මියන්මාරය වුවත් මෙය පිපෙන්නට ඇත්තේ මෙහි සිට සැතැපුම් 4000ක් ඈතින් පිහිටි සුපිරි මහාද්වීපය ලෙස සැලකෙන ගොඩ්වානාලන්තයේයි. මේ අති දුලබ මල වසර මිලියන 100කට පසු යළිත් හිරු එළියට අනාවරණය වන්නට ඇත්තේ මේ වතාවෙදි වෙන්න ඇති. 

මේ මල පිපී ඇත්තේ ලෝකය තනි බිමක් ලෙස පැවති ගොඩ්වානාලන්තය නම් 
සුපිරි මහාද්වීපයෙන්. එය කැඩී ආ බටහිර බුරුම භූකාරක තැටිය සමග සැතැපුම් 4000ක් 
තල්ලු වුණා විද්‍යාඥයන් සොයා ගත් තැනට.

ඔරෙගන් ජනපද විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමට අනුව මෙම අලුත් මල අයත් ශාක ප්‍රභේදය අයත් වන්නේ මීට වසර මිලියන 145ත් 65ත් අතර පැවති ක්‍රිටේසිය අවධියටයි. කිතුලතා (laurel) ශාක පවුලට අයත් මේ මලට ‘වැල්විලෝකියුලස් ප්ලෙරිස්ටමිනිස්’ යන උද්භිද විද්‍යාත්මක නාමය දුන්නේ ජෝර්ජ් පොයිනර් නම් පොසිල ශාක විශේෂඥයායි. 

මේ මල වර්තමානයේ ඕස්ට්‍රේලියාවේදී හමුවන බ්ලැක්හාට් සැසෆ්රාස් (blackheart sassafras) ශාකයට දුරින් නෑකම් කියන්නක්. මේ ප්‍රාග් ඓතිහාසික මල හමු වී ඇත්තේ ඇම්බර් (amber) කැබැල්ලක් තුළ සිරවී තිබියදී මියන්මාරයේදියි.

අද ඕස්ට්‍රේලියාවත්, මියන්මාරයත් සැතැපුම් 4000ක් ඈතින් සාගරයෙන් වෙන්වෙලයි තියෙන්නෙ. මේ මල සොයා ගැනීමත් සමග අපට පිළිගන්නට සිදුවෙනවා, මහාද්වීප තැටිය ගොඩ්වානාලන්තයෙන් වෙන් වෙන්නට ඇත්තේ මෙතෙක් අප විසින් නිගමනය කර තිබුණු කාලයට වඩා පසු කාලයකදී යන්න. මියන්මාරය පිහිටා ඇති බටහිර බුරුම භූකාරක තැටිය ගොඩ්වානාලන්තයෙන් වෙන්වී එන්නට ඇති අතර ඒ කාලයේ ම අප්‍රිකාව, දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ඇන්ටාක්ටිකාව, ඉන්දියානු උප අර්ධද්වීපය හා අරාබි අර්ධද්වීපය ඇතුළු භූකාරක තැටිත් විසිරී පාවීමෙන් දැන් තියෙන තැන්වලට එන්නට ඇති. ඇතැම් භූ විද්‍යාඥයන් කියන්නේ මෙය වසර මිලියන 500කට පෙර සිදුවුණා කියලයි. සමහරුන් කියන්නේ එය සිදු වූයේ වසර මිලියන 200කට පමණ පෙර කියලයි. මේ නව සොයා ගැනීම කාලනිර්ණය කිරීමත් සමඟ මේ කාලය අවුරුදු එක සිය පණහක් විය හැකි බවට තහවුරු වෙනවා. 

ඇමරිකාවේ ඔරෙගන් ජනපද විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායම 
මෙහෙය වූ පොසිල විද්‍යාඥ ජෝර්ජ් පොයිනර් ඇම්බර කැබැල්ලක් සමග.

‘මේ මල වටිනා එකක් වන්නේ මීට වසර මිලියන 100කට පෙර වනාන්තරයක පිපී තිබුණු එකක් වීම නිසයි.’ කියා පොසිල විද්‍යාඥයකු වූ ජෝර්ජ් පොයිනර් කනිෂ්ට කියනවා. ඔරෙගන් විශ්ව විද්‍යාලයේ අනුකලන ජීව විද්‍යා අංශයට අනුබද්ධ මෙම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ඔහුයි. 

මෙහි පිරිමි මල ඉතා කුඩා එකක්. හරස් අතට සෙන්ටි මිටර් දෙකක් විතර වෙනවා. එහි රේණු 50ක් අලංකාර සර්පිලාකාරයකට පිහිටා තියෙනවා. ඒ තුළ ඇති පරාධානිය උඩු අතට විහිදිලා තියෙනවා. රේණුවල පරාග විශාල ප්‍රමාණයක් තියෙනවා. ‘කොයි තරම් කුඩා වුවත් ඇම්බර කුට්ටිය තුළ මේවා ඉතා පැහැදිලිව, සවිස්තරව දැක ගන්න පුලුවන්. හරිම විස්මය ජනකයි. මේ නිදර්ශනය ඒ වර්ගයේ මල්පොකුරක තිබූ එක් මලක් විතරක් විය හැකියි. ඒ මල් පොකුරේ ස්ත්‍රී මල් එහෙමත් තියෙන්න ඇති’ යයි පොයිනර් කියනවා. 

ඇම්බරවල සිරවුණු ශාක සහ සතුන් පිළිබඳ විශ්ලේෂණය කරන්නට යෙදුණු විද්‍යාඥයන් අතර ජෝර්ජ් පොයිනර්ට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ පිළිබඳ ඔහු කළ පර්යේෂණ තමයි, මයිකල් ක්‍රිච්ටන්ට ඔහුගේ ලෝප්‍රකට ‘ජුරැසික් පාක්’ (Jurassic Park) කෘතිය ලියන්නට පවා පාදක වුණේ. 

මේ පොසිල මලට ඕස්ට්‍රේලියාවේදී වර්තමානයේ හමුවන බ්ලැක්හාට් සැසෆ්රාස් ශාකයේ 
නෑකමක් කියලයි විද්‍යාඥයන් කියන්නේ.

2013 දී ජෝර්ජ් පොයිනර් ආදීම සපුෂ්ප ශාකවල ප්‍රජනනය සිදුවන ආකාරය අවබෝධ කර ගත හැකි ඇම්බර් කැබලි වගයක් සොයා ගෙන තිබුණා. ඒවා ක්‍රිටේසිය අවධියට අයත් වූ අතර ඉතා කුඩා ශාක විශේෂ 18ක් ඇම්බර කැබලිවල සිර වී තිබුණා. 

මේ මලෙහි අලංකාරයට වඩා මෙහි විචිත්‍රත්වය ඒ මල මියන්මාරය තෙක් ආ විස්මිත ගමන් මගයි. එය වසර කෝටි 10කට පෙර එහි පිපී ඒ සමගම ඇම්බර කුට්ටියක් තුළ සිර වී පසුව මහාද්වීප පාවෙන යුගයේදී මියන්මාරය අයත් බටහිර බුරුම භූකාරක තැටිය පාවෙද්දී පාවී ඇවිත් පොසිල විද්‍යාඥ ජෝර්ජ් පොයිනර් අතට පත් වනතුරු ආ ගමන ඇත්තෙන්ම විස්මයජනකයි. 

මෙහි තවත් විස්මය දනවන පැත්තක් මා දකිනවා. ඒ පොසිල ශාක විද්‍යාව ඇතුළු නවීන විද්‍යාවේ විවිධ ඉසව්වල විද්‍යාඥයන් කරන පර්යේෂණ හා සොයා ගැනීම් නිසා ලෝක ඉතිහාසය හා අපි පෘථිවියේ සම්භවය පිළිබඳ දරණ මත වෙනස් වන විස්මිත ආකාරයයි. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments