HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හික්කඩුවේ සුමංගල මාහිමියන්ට මුහුණපාන්නට සිදුවූ අත්දැකීමක්!

හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි
මීට වසර සීයකට පමණ පෙර ලංකාව ‍ඉංග්‍රීසින්ට යටත්ව පැවති කාලේ සිදුවූවකි, මේ සමග පළවන්නේ. මේ කතාව කියන්නේ එකල විසූ ප්‍රකට ලේඛකයකු වූ හේමපාල මුනිදාසයන්ය. එතුමා එකල ප්‍රකට පුද්ගලයන්ගේ චරිතවල අප්‍රකාශිත රස කතා කියන්නට දැක්වූයේ විශේෂ සූරකමකි. ඒ බව හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් පිළිබඳ ඔහු ලියූ මේ කතාවෙන් ම පෙනේ. එවකට මෙහි පැවති පාලනය ගෙන ගිය ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමන් එකල අපේ මහා යතිවරයන්ට දැක්වූ ගෞරවයද මේ කතාවෙන් පිළිබිඹු වෙයි. 

දුම්රියේ දී මාහිමියන්ට වතුකාර සුද්දන්ගෙන් අතවරයක්! 

එකුන් විසි වන ශත වර්ෂයේ අවසාන භාගයත් විසි වන ශත වර්ෂයේ මුල දශක දෙකත් වූකලී ලංකා රාජ්‍යයේ පරිපාලන බලය උදක් යුරෝපීය වතුකාරයන්ගේ හිතුමතයට යටත්ව පැවති කාලයක් බැව් ඉතා ප්‍රකට ය. සිංහලයන්ට ආත්ම බලයත්, ජාත්‍යාභිමානයත්, කැවීමේ යෙදුණු ජෝන් කොතලාවල, අනගාරික ධර්මපාල ආදී උතුමන් සියා මොවුන්ගේ බලය මොටවූ නමුදු ප්‍රස්තාව ලැබුණු හැම විට ම ඔවුහූ ඒකාධිපතියන් මෙන් ක්‍රියා කළෝය. 

ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයෙහි පුරෝගාමියකු වූ 
කර්නල් ඕල්කොට්තුමන් එතුමන්ගේ ප්‍රධාන අනුශාසක වූ 
හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් සමග.

මෙසමයේ එක් දවසෙක කොළඹ බලා එන උඩරට දුම්රියේ පළමු වන පෙළේ මැදිරියක මත්පැනින් මුවහත්වුණු වතුතාර සුද්දන් තිදෙනෙක් අසුන් අරා සිටියහ. පේරාදෙණියේ හන්දියේදී එය හමුවට පැමිණියේ මිටි කෘශ දේහයක් ඇති වෘද්ධෝපශාන්ත ශ්‍රමණයෙකි. උන්වහන්සේ මේ සුද්දන් සිටි පළමුවන පෙළේ මැදිරියට ගොඩ වදින්නට සූදානම් වූහ. 

‘හා! හා! නාකියා! මේක පළමුවන පෙළ. තුන් වන පෙළ පිටිපස්සේ. තව පස්සට පලයන්’ යයි එක් සුද්දෙක් දොරකඩ අවහිර කරමින් මහලු තෙරුන්නාන්සේට කීවේ ය. 

ඒත් තෙරණුවෝ මුවග සිනාවක් ඇතිව රිය මැදිරියට නගින්නට ම එන්නාහ. 

‘පිස්සා පලයන් පස්සට!’ යයි සුද්දා යළිත් කෝපයෙන් කීවේය. 

එහෙත් තෙරණුවෝ නො බා ම රිය මැදිරියට ගොඩ වැදී ආසනයක කොණකින් වාඩිවූහ. 

‘නාකියා ඔහෙ හිටපුදෙන්! හිටපුදෙන්! ජීවිත කාලය ඇතුළත එක දවසක්වත් පළමුවන පන්තියේ ගියදෙන්!’ යයි මෙ‍හිදී තවත් සුද්දෙක් සිය සගයන් සනසවමින් කීවේ ය. 

‘එහෙත් ටිකෙට් ඉන්ස්පෙක්ටර් කෙනෙක් ආව හැටියේ නාකියා බෙල්ලෙන් අල්ලා හිරබාරයට ගනීවි නේ!’ 

‘ඒක අපට අයිති වැඩක් නො වේ’ 

                                         ⋆                                                            ⋆ 

දුම්රිය වේයන්ගොඩට පැමිණෙනවාත් සමගම කොළඹ සිට නුවර බලා යන දුම්රිය ද එහි පිවිසියේ ය. දුම්රිය දෙකම සරලසමාන්තරව නැවකිණ. මහනුවර දුම්රියේ පිහිටි ආණ්ඩුකාරතුමන්ගේ යානාව නැවතුණේ ‍මේ සුද්දන් හා මහලු තෙරවරයාණන් සිටි දුම්රිය මැදිරියට සමාන්තරව ය. එහි සර් වැස්ට් රිජ්වේ ආණ්ඩුකාරතුමෝ සහපිරිවරින් සිටියහ. එතුමා අනෙක් දුම්රියේ සිටින මහලු තෙරුන්නාන්සේ දුටුවේ ය. අසුනෙන් නැගිට්ටේ ය. ඒ දුම්රියෙන් මේ දුම්රියට මාරු වුණේ ය. 

ආණ්ඩුකාරතුමෝ තෙරුන්නාන්සේ හමුවට පැමිණ ශීර්ෂ ප්‍රණාමයෙන් හා යුගත් ළමැද එක් කිරීමෙන් අභිවාදනය කළේ ය. උන්වහන්සේ සමග පිළිසඳර කතාවක යෙදුණේ ය. ලංකේශ්වර සර් වැස්ට් රිජ්වේ ගෙන් ඒ සා බහු මානනීය අභිවාදනයක් ලබා ඔහුත් සමග පරිසමාප්තියෙන්ම ව්‍යක්ත වූ ඉංගිරිසියෙන් කථෝපකථනයෙහි යෙදනෙ මේ මහලු තෙරුන්නාන්සේ හමුවේ තවත් අසුන් අරා සිටිය නොහැකි වූ වතුකාර සුද්දන් තිදෙන අසුන්වලින් නැගිට මැදිරියේ අනෙක් පැත්තෙන් හිස් එළියට දමා කම්පනයෙන් ප්‍රකම්පනයට පත්වෙමින් නිහඬව සිටියෝ ය.

                                        ⋆                                   ⋆                           ⋆ 

විනාඩි විස්සක් පමණ දෙ දුම්රිය ම ප්‍රමාද වන පරිද්දෙන් පැවති මේ කථෝපකථනයෙන් පසු සර් වැස්ට් රිජ්වේ තවත් වරක් තෙරුන්නාන්සේට අභිවාදන පවත්වා අනෙක් දුම්රියට ගියේ ය. මෙයින් මඳක් අස්වැසිලි ලැබූ සුද්දන් තිදෙන මහලු තෙරවරයාණන් හමුවට ගොස් බැගෑපත් ලෙස හිස් නැමූහ. 
වතුකරයේ සුද්දන්ගේ නොයෙක් කෙණෙහිලිකම්වලට 
සිංහලයන්ට අත් විඳින්නට සිදු වූයේ 
 එකල පැවති මේ උඩරට දුම්රියේදීය.

‘සමාවෙන්න! ඔබවහන්සේ කව්දැයි අපි නොදන්නෙමු. කරුණාකර කවුදැයි කියන්න’ යයි ඔවුහූ ඉංගිරිසියෙන් අයැද සිටියෝ ය. 

‘මම හික්කඩුවේ සුමංගල, ඉන්නෙ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ!’ යයි මාහිමියෝ පිරිසිදු ඉංගිරිසියෙන් පැවැසූහ.  

‘අපගෙන් ඔබවහන්සේහට සිත රිදීමක් වුණා නම් අප කෙරෙහි අනුකම්පා කොට අමතක කරන්න...’ 

‘නැහැ. නැහැ. මහත්වරුන් මා සිත රිදවීමක් කළේ නැහැ. මට දැක්වූයේ මහල්ලෙකුහට දැක්විය යුතු අනුකම්පාව පමණයි. ඒ ගැන මම මහතුන්ට කෘතඥ වෙනවා!’ 

 - (හේමපාල මුනිදාසයන්ගේ ‘රසාවදානය’ යන කෘතියෙනි.) 

Post a Comment

0 Comments