නාසා ලෑන්ඩරය රතු ග්‍රහයාගේ ඇතුළත විස්මිත රහස් හෙළි කරයි!

වසර දෙකකට පෙර අඟහරු ග්‍රහයා වෙත යවනු ලැබූ ‘ඉන්සයිට් ලෑන්ඩර්’ යානය ඒ තුළ ඇති භූකම්පන මානය මගින් අඟහරු තුළ සිදුවූ අඟහරු භූකම්පන 480ක් 2019 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා පෘථිවියට එවා තියෙනවා. එහි සිදුවන භූකම්පන තරංගවල වෙනස්කම් අනුව අඟහරු පෘෂ්ඨයේ කබොලෙහි (කටුවෙහි) ප්‍රමාණය හා අභ්‍යන්තර සංයුතිය ගැන විද්‍යාඥයන්ට දැන් කියන්න පුලුවන්. 

අඟහරුගේ පෘෂ්ඨ කබොල, කේක් එකක ස්තර වාගේ ස්තර තුනකින් යුක්ත බව 
ඒ ‘ඉන්සයිට්’ එවූ තොරතුරුවලින් හෙළිවුණා.

ඒ අනුව විද්‍යාඥයන් දැන් නිගමනය කර ඇත්තේ අඟහරු පෘෂ්ඨයේ කබොල (කටුව) සැතැපුම් 23ක් (කි.මී. 37ක්) ඝනකමින් යුක්ත බවයි. එය පෘථිවි කටුවේ ප්‍රමාණයට වඩා ඉතා විශාල බවයි ඔවුන් කියන්නේ. 

පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා භූකම්පන ක්‍රියාකාරකම් වාර්තා නොවූ තරම් වන අතර ඒ කාලය තුළ වාර්තා කර ඇත්තේ භූකම්පන හතරක් පමණයි. 

නාසා ආයතනයේ ‘ඉන්සයිට් ලෑන්ඩර්’ යානය මගින් මේ වන විට පෘථිවියට එවා ඇති දත්ත අනුව අඟහරුගේ පෘෂ්ඨ කබොල, කේක් එකක ස්තර වාගේ ස්තර තුනකින් යුක්ත බවයි. 

2018 මාර්තුවේ තමයි නාසා ආයතනයේ ‘ඉන්සයිට්’ අඟහරු මතට යවනු ලැබුවේ.

අඟහරුගේ සමකය ආසන්නයට ‍ගොඩ බා ඇති නාසා ආයතනයේ ඉන්සයිට් ලෑන්ඩර් යානයෙහි ඇති අධි සංවේදික භූකම්පන මානක උපකරණ පද්ධතිය (SEIS) විසින් පටි ගත කර තියෙනවා, ‘අඟහරු කම්පන’ (marsquakes) සිය ගණනකටත් වැඩි ප්‍රමාණයක්, පසුගිය දෙවසර තිස්සේම. 

සාමාන්‍යයෙන් පෘථිවියේ කබො‍ල සෑදී ඇත්තේ එකිනෙකට වෙනස් පාෂාණ තට්ටු තුනකින්. ඒවා විපරීත පාෂාණ, අග්නේය පාෂාණ හා අවසාදිත පාෂාණ යනුවෙන් හැඳින්වෙනවා. ඒ විදියට අඟහරු ගැනත් විද්‍යාඥයන් සිතුවේ න්‍යායික වශයෙන් අඟහරුගේ පිහිටීමත් ඊට සමාන ඇතැයි සිතා ගෙන වුවත් ඒ සඳහා ස්ථිර නිගමනයකට එන්නට ඔවුන්ට මෙතෙක් දත්ත තිබුණේ නැහැ. 

අඟහරු වෙතින් ලද අලුත් තොරතුරු ගැන සඳහන් කරමින් ජෙට් ප්‍රොපල්ෂන් රසායනාගාරයේ විද්‍යාඥ බෲස් බැනර්ඩ් කියන්නේ, ‘දැන් අපට අඟහරු පිළිබඳව මතු කෙරෙන වැදගත් ප්‍රශ්නවලට උත්තර දීමට හැකියාව ඇතැ’යි කියායි. ඒ පිළිබඳ වාර්තාවක් පළ කරන ‘නේචර්’ (Nature) විද්‍යා සඟරාව අඟහරු කබොලෙහි තිබිය හැක්කේ ස්තර දෙකක් වුවත් ස්තර තුනක් ඇතැයි අනුමාන කර ඇත්තේ අඟහරුගේ උල්කාශ්ම නිරීක්ෂණය කිරීමෙන් පසුව බවයි. 

අඟහරු කම්පනවල ප්‍රථම හා ද්විතීයික තරංග පරීක්ෂා කර බැලීමෙන් විද්‍යාඥයන් ගණනය කර ඇත්තේ එහි කබොලෙහි ඝනකමේ සාමාන්‍යය සැතැපුම් 23ක් වුවද ඇතැම් තැනක එය සැතැපුම් 42කට තරම් ආසන්න වන බවත් සඳහන් වෙනවා. එය පෘථිවිය හා සසඳන විට ඉතාමත් වැඩි බවත් කියැවෙනවා. පෘථිවියේ කබොලෙහි ඝනකම සාගරයට යටින් සැතැපුම් 3ක් පමණ වන අතර මහාද්වීප වලට යටින් ඝනකම සැතැපුම් 18ක් පමණ වන බවත් සඳහන් වෙනවා. 

මේ අඟහරු මෙහෙයුමට InSight (ඉන්සයිට්) කියා නම තබා ඇත්තේ ඒ මෙහෙයුම හඳුන්වන Interior Exploration using Seismic Investigations, Geodesy and Heat Transport (‘භූකම්පන නිරීක්ෂණ, භූමිතිය, තාප ප්‍රවාහන ක්‍රමවේද භාවිතයෙන් අභ්‍යන්තර ගවේෂණය’) යන ඉංග්‍රීසි වදන්වල මුලකුරු එක්කර ගෙනයි. 

අධි සංවේදික භූකම්පන මානය මගින් මේ දක්වා 
අඟහරු කම්පන 480කට වැඩි ගණනක් වාර්තා කර තියෙනවා.

විටින් විට අඟහරු ග්‍රහයාගේ බිම කැණීම් කරමින් එහි උෂ්ණත්වය මැනීමට පවා මේ ලෑන්ඩරයෙහි උපකරණ සවිකර තිබුණා. ඒත් එය සැලසුම් කළ පරිදි සිදු වූයේ නැහැ, එහි පසෙහි තිබූ අනපේක්ෂිත ගුණාංග කීපයක් නිසා ඒ තත්වය ඇති වුණා. ලෑන්ඩරයෙහි තිබූ අනෙක් උපකරණ ඉතා හොඳින් ක්‍රියා කළා. විශේෂයෙන් ම ප්‍රංශ අභ්‍යවකාශ ඒජන්සියෙන් සපයා තිබුණු භූකම්පන මානය ඉතා හොඳින් ක්‍රියා කළා. 2019 අප්‍රේල්වල සිට අධි සංවේදික භූකම්පන මානක උපකරණ පද්ධතිය කම්පන 480කට වැඩි ගණනක් පෘථිවියට වාර්තා කළා. ඒ කම්පන සාපේක්ෂව ඉතා දැඩි ඒවා නොවෙයි. ඒවායේ කම්පන අගය 3.7කට වඩා වැඩි වුණේ නැහැ. 

‘අපට පුදුමයි ලොකු කම්පනයක් හමු නොවීම ගැන.’ යයි නාසා ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ භූකම්පනවේදියකු වන මාක් ප්ලෑනින් කියනවා. ‘අපට හරියට ම නිශ්චය නැහැ, අඟහරු පෘථිවියට වඩා ස්ථායී ග්‍රහයෙක්ද නැත්නම් ඉන්සයිට් එහි යැවූ කාලය එහි භූකම්පන අඩු නිහඬ කාලයක්ද කියා.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

මේ අඟහරු කම්පන දිනපතා සුළු කම්පන වශයෙන් කාලයක් පැවතුනත් ජූනි අග හරියේ දී ඒ තත්වය හදිසියේ නැවතුණා. ඒ එක්කම ඒ ග්‍රහයා මතුපිට සුළං අධික කාලය එළඹුණා. ඒ නිසා භූකම්පනවල නියම තත්වය සැඟවුනා විය හැකියැයි ඔවුන් සිතනවා. 

පර්යේෂකයන් අපේක්ෂා කරනවා ඉදිරියේදී ප්‍රබල භුකම්පන එ් ග්‍රහයා තුළ ඇති වේවිය කියා. ඒ අනුව ඉදිරියේ දී ඒ ග්‍රහයාගේ අභ්‍යන්තර තත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිකර ගත හැකි වේවි. 

- පර්සි ජයමාන්න


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments