HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිරිලක කතුන්ට විමුක්තිය උදා කළ උඳුවප් පෝ දිනය අදයි!

අපේ ‍රටේ ජනතාවගේ මහ කන්නය වැපීරීම් කරන්නේ මේ මාසයේ දියි. වී ඇතුළු ප්‍රධාන බෝග වපුරන්නේ මෙකලයි. එයින් අතීතයේ ප්‍රධාන බෝගයක් වූ උඳු වැපිරීම මුල් කර ගෙන මේ මාසය උඳුවප් ලෙස හඳුන්වනවා. මේ මාසයට අයත් පසළොස්වක දිනය උඳුවප් පොහෝ දිනය ලෙස හඳුන්වනවා. මේ පොහොය සම්බුද්ධ සාසනයටත් වැදගත් සිදුවීම් කීපයක් අපේ මතකයට ගේනවා. 

මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව 
සංඝමිත්තා මහ රහතන් වහන්සේ විසින් ලක්දිවට 
වැඩමවා ගෙන එන අයුරු සෝලියස් මෙන්දිස් සිත්තරා විසින් 
කැලණි විහාරයේ මෙසේ සිතුවම් කර තියෙනවා.

එයින් ප්‍රධානම දෙය ශ්‍රී මහා බෝධිය මෙරට ස්ථාපනය කිරීමයි. ජීවමාන බුදුන්රදුන් ලෙස සලකනු ලබන ‍ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවා ගෙන ආවේ සංඝමිත්තා මහ රහතන් වහන්සේයි. ඒ බෝධි ශාඛාව අද වැඩ සිටින අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබුවේ දේවානම්පියතිස්ස රජතුමා අතිනුයි. එසේම සිරිලක කතුන්ට විමුක්තිය උදා කර දෙන්නට මෙහෙණි සස්න පිහිටුවමින් අනුලා දේවිය ඇතුළු සෝවාන් ඵලයට පත්ව සිටි පිරිස සමග 500ක් කතුන් පැවිදි බිමට ඇතුළත් කළේ සංඝමිත්තා මහ රහතන් වහන්සේයි. 

ලෝකයේ බෞද්ධ සැදැහැවතුන්ගේ පමණක් නොව උද්භිද විද්‍යාඥයන්ගේ සත්කාරය ද 
නො අඩුව ලබන ජය ශ්‍රී මහා බෝධිය වර්තමානයේ පවතින්නේ මෙසේයි.

දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්‌දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දින පිහිටු වූ අවස්‌ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක් දෙනා පැවිදිවීමට අවසර ඉල්ලා ති‍යනවා. එම ඉල්ලීම ගැන සැලකළ අවස්ථාවේ මිහිඳු මාහිමියන් දෙවන පෑතිස්‌ රජතුමාට අනුශාසනා කළේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බවත් ඒ සඳහා තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවා ගැනීම වඩාත් උචිත දෙය බව පෙන්නා දුන්නා.  ‍

ශ්‍රී මහා බෝධිය පිළිබඳ කතා පුවත ඇතුළත් අපේ පැරණි සාහිත්‍ය ග්‍රන්ථයක් වන බෝධි වංශයෙහි සඳහන්ව ඇති ආකාරයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්‌ ලක්දිවට එවීම ගැන බුදුරජානන් වහන්සේ ජීවමාන සිටියදී අධිෂ්ඨාන කර තිබූ බව දැක්වෙනවා. 

ලොව දීර්ඝතම වන්දනා සමය ලෙස සැලකෙන සිරිපා වන්දනාව ඇරඹෙන්නේ උඳුවප් පොහොයෙනි.

අද ලෝකයේ ඇති ඓතිහාසික වශයෙන් වැදගත්, ලොව ඉතාමත් පැරැණිතම වෘක්ෂය වන්නේ ශ්‍රී මහා බෝධින් වහන්සේයි. ලොව පුරා ලක්‌ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ අප්‍රමාණ ගෞරවයටත් පාත්‍ර වී ඇති ජය ශ්‍රී මහ බෝ රජුන් ජීවමාන බුදුන් හා සමානකොට බෞද්ධයන් විසින් සලකනු ලබනවා. මේ ‍ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මව් බෝධිය අද ඉන්දියාවේ ද දක්‌නට නැති නිසා මෙහි අගය තවත් වැඩි වෙනවා. 

මේ උඳුවප් පොයෝ දිනයේ ඇති අනික් වැදගත්ම කරුණ ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන්නේ ද මේ පසළොස් වක පොහොයෙන් වීමයි. ලෝකයේ දස‍ දෙසින් ‍‍බෞද්ධයන් ඇදී එන මෙය වසරක් පාසා පැවැත්වෙන ලොව දීර්ඝතම වන්දනාවද වෙනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments