HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නත්තලේ සැඟවී ඇති ඔබ නොදන්නා විස්මිත කරුණු!

නත්තල දැන් එක් ආගමකට අයිති උත්සවයක් නෙවෙයි. ලොව පුරා සිටින සෑම ප්‍රජාවක් ම සමරන උත්සවයක් වෙලා ඉවරයි. නත්තල ගැන විස්මිත කතා බොහොමයි! එයින් මා සිත්ගත් කීපයක් ඔබ සමඟ බෙදා ගන්නට කල්පනා කළේ එයින් කිසියම් ආශ්වාදයක් ලැබෙතැයි සිතා ගෙනයි. නත්තල් ගැන විස්මිත තොරතුරු (Amazing Chrismas Facts) යටතේ සෙව්ව‍ොත් ඔබට මෙවැනි කරුණු අන්තර්ජාලයෙන් ඕනෑ තරම් සොයා ගත හැකි වේවි.

පොදුවේ ලොව පුරා දරුවන් තෑගි ලබන උත්සවය නත්තලයි.

ජේසු බිලිඳා උපන්නේ නත්තල් දා නොවෙයි! 

නත්තල් දා, එනම් දෙසැම්බර් 25 වැනිදා, සැලකෙන්නේ ජේසු බිලිඳුන්ගේ උපන් දිනය ලෙසයි. ඒ එය ඇත්තටම සිදු වූයේ දෙසැම්බර් 25 වැනිදා නොවෙයි. බයිබලයේවත් ඒ ගැන කිසිම සඳහනක් නැහැ. ලොව බොහෝ ඉතිහාසඥයන් කියන්නේ ජේසු උපත සිදුවූයේ ශීත කාලයේ නොව වසන්ත සමයේදි බවයි. සමහර ඉතිහාසඥයන් කියන්නේ ඒ පැරණි යුගයේ තිබූ ඇදහීමකට අනුව වසර අවසානයේ දී පැවති ‘සෙනසුරු උළෙල’(Saturnalia) ක් ඒ කාලයේ තිබූ අතර ඒ වෙනුවට නත්තල් උත්සවය ආදේශ කර ගෙන ඇති බවයි. එදා එම උත්සවය පැවැත් වුණේ වසර අවසානයේ අස්වැන්න ලබා ගැනීමට උදවු කිරීම වෙනුවෙන් කෘෂි කර්මාන්තයට අධිපති සෙනසුරු දෙවියන්ට කරන තුති පිදීම අරමුණු කර ගෙනයි. ජේසු බිලිඳුන්ගේ උපත වෙනුවෙන් යොදා ගත් දෙසැම්බර් 25 වැනිදා නිවාඩු දිනයක් බවට පත් වුණේත් ඊට වසර 300කට පස්සෙයි. 

‘ජින්ගල් බෙල්ස්’ නත්තල් ගීයක් හෝ පිටසක්වළින් ආවක් නොවෙයි! 

නත්තලට වාදනය කරන ‘ජින්ගල් බෙල්ස්’ (Jingle Bells) නත්තල් වෙනුවෙන් ලියූවක් නොවෙයි. එය 1875 දී ජේම්ස් ලෝඩ් පියර්පොයින්ට් විසින් ‘එක් අසෙකු යෙදූ විවෘත ස්ලෙජය’ යන නමින් පළ වූ ගී පෙළක්. එය ඔහුගේ ඉරිදා ඉස්කෝලේ පන්තියේ දී මිඩ්ෆෝඩ් ස්ලෙජ තරගය සැමරීම පිණිස පැවති ‘තුති පිදීමේ සංග්‍රහයේදී’ (Thanksgiving) ගායනය කළ ගීයක්. මෙම තුති පිදීමේ උළෙල ගත වූ වසරේ ලද අස්වැන්න ලැබීම වෙනුවෙන් පැවැත්වෙන්නක්. එය ඇමෙරිකාවේ පැවැත්වෙන්නේ නොවැම්බර මාසයේ 26 වැනිදායි. ලොව පුරා බොහෝ රටවල ඒ ආසන්න දිනයක පැවැත්වෙන මෙම උළෙලට ‘රෝස් කළ කළුකුමෙකු’ යොදා ගත් භෝජන සංග්‍රහයක් ඇතුළත්. කළුකුමාට ‘තෑන්ක්ස්ගිවිං බර්ඩ්’ කියා කියන්නේත් ඒ නිසයි. අද එය නත්තලට ලොව පුරා සෑම තැනකින්ම ඇසෙන්නක් වෙලා! 

නත්තල් සීයා ළමයින් ප්‍රිය කරන සුන්දර අයෙකු ලෙස වෙනස් කළේ 
1931 දී කොකාකෝලා සමාගමේ ඉල්ලීම මත හැඩ්න් සන්බෝම් නම් චිත්‍රශිල්පියකු අතින්.

මෙය අභ්‍යවකාශයෙන් ඇසුණු එකම ගීතය ද වෙනවා. 1965 නත්තලට දින නමයක් තිබියදී තමයි මෙය පිටසක්වළෙන් ඇසුණේ. ඒ ‘ජෙමිනි 6’ යානයෙන් උඩුගුවනට ගිය වෝල්ටර් ෂිරා (කනිෂ්ඨ) හා තෝමස් ස්ටැෆර්ඩ් යන අජටාකාශගාමීන් දෙදෙනා පෘථිවියේ පාලක මැදිරියේ අයට කළ විහිළුවක් හැටියටයි. ඒක තව පොඩ්ඩෙන් දුර දිග යනවා. ඔවුන් හදිසියේ ම, තමන් ‘හඳුනා නොගත් සක්වළ යානයක්’ පෘථිවි වායුගෝලයට ඇතුළු වෙනවා දුටුවේ යැයි පාලක මැදිරියට අමුතු වාර්තාවක් එව්වා. ඒ වාර්තාව එවන අවස්ථාවේ දී පසුබිමින් ඇහෙන විදියට ‘ජින්ගල් බෙල්ස්’ ගීයේ සංගීතය වාදනය කළා. සක්වළ යානයෙන් ආ හඬක් ලෙස ඇසුණේ එයයි. වෝල්ටර් ෂිරා කුඩා හාමොනිකාවක් වාදනය කළ අතර තෝමස් පුංචි කිංකිණි කිපයක් ඒ අතරතුර හැ‍ඬ‍ෙව්වා. ඒ භාණ්ඩ ඔවුන් හොරෙන් ගෙන ගිය ඒවා බව නොදත් පාලක මැදිරියේ අය මොහොතකට ඒකට රැවටුණා. 

නත්තල් ගහත් විස්මිත ගහක් වුණේ මෙහෙමයි. 

අතීතයේ මුල්ම නත්තල් ගහ ඇත්තෙන්ම ගහක් නෙවෙයි! ඒවා තනා ගත්තේ පාත්තයන්ගේ පිහාටු එක් කර ගෙන ඒවාට කොළ පාට සායම් ගන්වලා ඒකෙන් තමයි, නත්තල් ගහ හදා ගත්තේ. ඒ මුල් ම නත්තල් ගහ ආවේ19 වන සියවසේදි ජර්මනියෙන්. මහා පරිමාණයේ වනාන්තරය විනාශය පිටු දකිනු සඳහායි. විසිවන සියවසේ මුල හරියේදී මෙය ඉතා ජනප්‍රිය වුණා. ඊට පස්සේ මේ පුරුද්ද 130 දී ඇමරිකාවටත් ගියා. නත්තල් ගහ සඳහා අද යොදා ගන්නේ කස, කේතුධර, සදාහරිත ගසක්. ඒ ගසක අත්තකින් තමයි අද නත්තල් ගහට යොදා ගන්නේ. දැන් යොදා ගන්නා ඒ ගසක් මේ සඳහා යොදා ගන්න වසර 15ක්වත් වැඩෙන්න අවශ්‍යයි. නත්තල් ගහ ලෝකය පුරා ජනප්‍රිය වීමේ ගෞරවය හිමි විය යුත්තේ ජර්මනියේ ඇල්බට් කුමරුන්ටයි. එතුමා සිය අලුත් බිරිඳ වූ එංගලන්තයේ වික්ටෝරියා මහරැජිනට තෑග්ගක් හැටියට ගෙනිහින් දුන්නා. ඒ නත්තල් ගහ 1846 දී ‘ඉලස්ට්‍රේටඩ් ලන්ඩන් නිවුස් සඟරාවේ කවරයේ පළවුණේ, ඒ රාජකීය යුවල ඒ නත්තල් ගහ ඉදිරිපිට ඉන්නා ආකාරයටයි. ඒකයි, ලොව පුරා නත්තල් ගහ රැල්ලක් මෙන් පැතිරෙන්නට හේතු වුණේ. 

ඇත්ත නත්තල් සීයාට ඇත්තේ මේ සැන්ටාගේ හැඩ රුව ද? 

ඔබ දැනටත් දන්නවා ඇති, සැන්ටා ක්ලෝස් අදහස ආවේ ශාන්ත නිකලස් පියතුමා නිසා බව. නමුත් ඇත්ත වශයෙන්ම ඒ සාන්තුවරයා සැන්ටා වාගේ රැවුලක් ඇති රතු ඇඳුමක් ඇඳි අයෙකු නොවෙයි. එ්වා පසු කාලයේ දී සිදුවූ වෙනස්කම්. ප්‍රවාදයට අනුව ඔහු හතර වන සියවසේදී වර්තමානයේ තුර්කිය පවතින ප්‍රදේශයේ ජීවත්වූ ක්‍රිස්තියානි බිශොප්වරයෙක්. එයා තමයි මුලින් ම එතුමාගේ සන්තක සියලු වස්තුව නිරන්තරයෙන් ම දරුවන්ට හා අසරණ කාන්තාවන්ට බෙදා දුන්නේ. ඔවුන් වහල්භාවයෙන් මුදවා ගන්නට කැපවීමෙන් ක්‍රියා කළේ. නත්තල් සීයා සංකල්පය ඇති වුණේ එහෙමයි. 

එක රැයක් තුළ දී ලොව සියලුම ළමයින්ට තෑගි දෙන්නට නම් 
නත්තල් සීයාට ආසන්න වශයෙන් පැයට සැතැපුම් 650ක 
වේගයෙන් යන්න සිදු වෙනවා.

ඒත් මුලින් ම නත්තල් සීයා දැන් තරම් ‘ජොලි’ කෙනෙක් නොවෙයි. තරමක් බය හිතෙන ගැඹුරු පෙනුමක් ඇති කෙනෙක්. වොෂින්ටන් අර්වින් කියන ඇමරිකන් ලේඛකයා පුවත්පත්වලට මුලින් ම චිත්‍රශිල්පියකු ලවා රූපයක් නිර්මාණය කර වූවා. ඒ කාලේ නත්තල් සීයා ඇන්දේ නිල්, සුදු හා කොළ පැහැති ඇඳුම්. තෝමස් නාස්ට් නම් ඇමරිකානු කාටුන් ශිල්පියා තමයි, 1863 දි නත්තල් සීයාගේ රුව සඟරාවකට මුලින් ම ඇන්දේ. පසුව 1931 දී කොකාකෝලා සමඟ එක්වුණාට පස්සෙයි, නත්තල් සීයා ‘ජොලි ගුඩ්’ අයෙකු වූයේ. කොකාකෝලා සමාගම හැඩ්න් සන්බෝම් කියා චිත්‍රශිල්පියෙකු යොදවා ගෙන දැන්වීම් වගයක් සැලසුම් කළා, සඟරාවකට. නත්තල් හැන්දෑවේ දරුවන් බිය පත් කරන සිහින දකින්නට හේතුවූ නත්තල් සීයා ළමයින් ප්‍රිය කරන සුන්දර අයෙකු ලෙස වෙනස් කළේ ඒ චිත්‍රශිල්පියායි. නත්තල් සීයාට රතුපාට ඇඳුමත් රැවුලත් තොප්පියක් එක්ක අලංකාර පෙනුමක් එක්වුණේ එහෙමයි. 

නත්තල් සීයා ඇත්තටම ළමයින්ට තෑගි ගෙන යනවාද? 

එක රැයක් තුළ දී ලොව සියලුම ළමයින්ට තෑගි දෙන්නට නම් නත්තල් සීයාට රබර් පටියක් වගේ ඇදෙන්න සිද්ධ වෙනවා. ඒ මොකද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනයට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් මිලියන 2,160ක් ඉන්නවා. අපි හිතමු ලෝකයේ එක ගෙදරක දරුවන් දෙකහමාරක් ඉන්නවා කියලා, එහෙම වුණොත් නත්තල් සීයාට ලෝකයේ ඇති ගෙවල් මිලියන 842කට යායුතු වෙනවා. ඒක කරන්න නම් සැතැපුම් 221ක දුරක් යාමට සිදුවෙනවා. ඒ දේශවල ඇති වෙනස් වන වෙලාවන් අනුව ඒ සඳහා ඔහුට ඇති කාලය පැය 36යි, සියලුම තෑගි බෙදා ඉවර කරන්නට. ඒ මුළු දුර යාමට ඔහුට ආසන්න වශයෙන් පැයට සැතැපුම් 650ක වේගයෙන් දුවන්න සිදු වෙනවා. එය ආලෝකයේ වේගයට වඩා අඩු වේගයක් නිසා කරන්න බැරි දෙයකුත් නොවෙයි. ඒත් ඔයතරම් මහත ඇඟක් ඇති අයෙකුට එය කළ හැකි දෙයක් ද? 

ජේසු බිලිඳුන්ගේ උපත සිදුවූයේ මේ උත්සව පවත්වන නත්තල් දිනයේ නොවෙයි!

ඇමරිකාවේ උතුරු කැරොලිනා සරසවියේ යාන්ත්‍රික විද්‍යාව හා ගගන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලැරී සිල්වර්බර්ග් කියන්නේ ඒ කටයුත්ත කරන්න නම් සැන්ටාට සාපේක්ෂ භෞතික විද්‍යාවේ පිහිට සොයන්න සිදු වෙන බවයි. එහෙම කළොත් ඔහුට ඒ බෙදා හැරීම කරන්න සාපේක්ෂ වලාකුළුවල (relativity clouds) සහය ගන්න වෙනවා කියලයි. මේ ක්‍රමයට සැන්ටාට කාලය රබර් පටියක් මෙන් අදින්න හැකි වෙනවා. එවිට ඔහුට මේ තෑගි බෙදන්න මාස ගණනක කාලයක් ලැබෙනවා. ඒත් අපෙන් කාලය ගත වන්නේ ඒ සඳහා මිනිත්තු කීපයක් විතරයි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments