HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ දෙසැම්බරයේ දී ඔබට දැක ගත හැකි අසිරිමත් දසුන්!

මේ දෙසැම්බර් මාසයේ රාත්‍රි අහස මෙතෙක් නුදුටු විස්මිත දසුන් මවනවා. ඉන් එකක් පසුගිය 13 හා 14 දෙදින තුළ දැක ගන්න ලැබුණා. ඒ විවිධ වර්ණවලින් යුත් ‘ජෙමිනිඩ්’ උල්කා වැස්සයි. 2020 වසර අවසන් වෙද්දී, රාත්‍රි අහසේ දකින්න ලැබුණු මේ අපූරු, සොඳුරු සිදුවීම විද්‍යාඥයන් හැඳින්වූයේ උල්කාපාත ‘රජ දැක්ම’ ලෙසයි. 

පැයකට උල්කාපාත 150ක් විතර පෘථිවි වායුගෝලයට ඇතුළු වී පහළට ඇදී ආවා. මිනිත්තුවකට උල්කාපාත එකක් හෝ දෙකක් බැගින් නැරඹීමට හැකියාව ඒ අනුව ලැබුණා. මෙසේ උල්කාශ්ම ලෙස පෘථිවි ගුරුත්වයට හසු වී ඇදී එන්නේ අභ්‍යවකාශයේ පාවෙමින් ඇති විවිධ ප්‍රමාණයේ පාෂාණ කැබලියි. ඇස්ටරොයිඩ හෝ ග්‍රහක කියා හැඳින්වෙන්නේත් ඒවායි. මේ ග්‍රහක වැලි කැට තරම් ප්‍රමාණයේ සිට, අති දැවැන්ත ග්‍රහක කැබැලි දක්වා වෙනස් වෙනවා. 
උල්කාපාත වර්ෂාව දිස් වූ හැටි

විශ්වයේ සැරිසරන මේවා පෘථිවි ආකර්ෂණයට හසු වී ඇදී එද්දී වායු ගෝලයට ඇතුළු වීමේදී ඇති වන ගැටීම නිසා සෙල්සියස් අංශක 3,000ක තරම් අධික උෂ්ණත්වයකින් ගිනි ගෙන දැවෙනවා. මේවා අවසානයේ පොළොවට පතිත වන්නේ නැහැ. මගදීම දැවී විනාශ වෙනවා. ඒවා තමා උල්කාපත ලෙස හැඳින්වෙන්නේ. සෑම රැයකම මේවා වැටෙනවා ඔබට දැකිය හැකියි. එකවර විශාල ප්‍රමාණයක් වැටෙන විට ගිනිකෙළි සංදර්ශනයක මෙන් ඒවා දැක ගන්න පුලුවන්. පසුගිය දෙ‍ දින තුළ සිදු වූයේ එවන් සංසිද්ධියක්. 

මෙසේ වැටෙන ඒවා අතර දැවී අළු වී නොයන ඒවාත් ඉඳහිට තියෙන්න පුලුවන්. ඒවා තරමක් විශාල ඒවා වන නිසා පිළිස්සුණු පාෂාණ කැබලි ලෙස දැකිය හැකියි. මේ ආකාරයට විශ්වය තුළ වේගයෙන් හඹා යන විශාල ප්‍රමාණයේ ග්‍රහකයක් පොළොවට ආවොත් ගැටීමෙන් මහත් විනාශයක් වෙන්න පුලුවන්. එවැනි යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් තමයි, මෙයින් වසර 65කට විතර ඉස්සර ඩයිනසෝරයන් මිහිමතින් වඳ වී ගියේ. මීට සතියකට පමණ පෙරත්, එවන් යෝධ ග්‍රහකයක් පෘථිවිය දෙසට ඇවිත් පෘථිවි වායු ගෝලය ආසන්නයෙන් එය පසු කර ගියා. එය ලොව උසම කුලුනු ගොඩනැගිල්ල සේ සැලකෙන, බර්ජ් කලීෆා තරම් විශාල එකක්. එහි ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුණා නම්, කොරෝනා ජරමර අස්සේ පෘථිවිවාසීන් වන අපට තවත් මහා විපතකට මුහුණ දීමට සිදු වෙනවා. 

මේ උල්කාශ්ම වර්ග කෙරෙන්නේ, ප්‍රධාන වශයෙන් ඒවායේ අඩංගු මූලද්‍රව්‍ය අනුවයි. නිකල් හෝ වෙනයම් ලෝහයක් හෝ සමඟ මිශ්‍ර වූ යකඩ උල්කා, නිකල්-යකඩ උල්කා ලෙසත්, මිශ්‍ර ලෝහ කුඩා ප්‍රමාණයකින් යුත් ප්‍රධාන වශයෙන් සිලිකේට ඛනිජ වර්ගවලින් පිරුණු ඒවා ශිලාමය උල්කා ලෙසත්, වර්ග කෙරෙනවා. උල්කා වැසි විවිධ වර්ණවලින් පෙනෙන්නේ ඒ පාෂාණ කැබලි තුළ ඇති විවිධ මූලද්‍රව්‍ය දැවී යන විටයි. 

අප මල් වෙඩි සංදර්ශන සඳහා මූලිකව යොදා ගන්නේත් මෙවැනි ක්‍රමයක්. මල් වෙඩිල්ලක් පුපුරා යද්දී එය විවිධ වර්ණවලින් දකින්න ලැබෙන්නේ ඊට එක් කරන විවිධාකාරයේ මූලද්‍රව්‍ය නිසයි. දැල්වීමේ දී, ලිතියම් අඩංගු නම් රතු පැහැයක්ද, සෝඩියම් අඩංගු නම් කහ පැහැයක්ද, සීසියම් අඩංගු නම් දම් පැහැයක්ද, කැල්සියම් අඩංගු නම් තද රතු පැහැයක්ද, තඹ අඩුංගු නම් කොළ පැහැයක්ද නිකුත් කෙරෙනවා. 
සෙනසුරු සහ බෘහස්පති ආසන්න වන අයුරු

ඒ අසිරිමත් ‘නත්තල් තරුව’ යළි උදා වේවි ද? 

ජේසු බිලිඳා උපන් දා, රෑ අහසේ ඉතා දීප්තිමත් තරුවක් පෑයූ බව කියැවෙනවා. එය ‘නත්තල් තරුව’ නැත් නම් ‘බෙත්ලෙහෙ‍ෙම් තරුව’කියාත් කියනවා. ජේසු බිලිඳා සොයා ප්‍රඥාවන්තයන් තිදෙනා හෙවත් රජ තුන් කට්ටුව ආවේ ඒ තරුව ඔස්සේයි. එලැඹෙන නත්තල් සතියේ, වසර ගණනාවකට පසු යළිත් වරක් ‘නත්තල් තරුව’ දැක ගැනීමට ලෝකවාසීන්ට අවස්ථාවක් උදා වෙනවා. මේ සංසිද්ධිය තාරකා විද්‍යාඥයන් පවා අනුමත කර ඇති නිසා, මෙම පුවත, මේ වන විට ලොව කා තුළත් කුතුහලයක් ඇති කිරීමට සමත් වී තියෙනවා. 

‘ක්‍රිස්මස් ස්ටාර්’ හෙවත් ‘නත්තල් තරුව’ තරුවක් නොවන බවත්, එය සුවිශේෂී ග්‍රහ පිහිටීමක් බවත් තාරකා විද්‍යාඥයන් ලොවට අනාවරණය කළේ මීට වසර කීපයකට පෙරයි. ඒ අනුව, ජේසු බිලිඳා උපන් එම සුවිශේෂී දිනය, තාරකා විද්‍යාත්මකව පවා ඉතා වැදගත් එකක්. ලබන 21 වැනිදා සිට නත්තල් දිනය එනම් 25 තෙක් යළිත් වරක් එම ග්‍රහ පිහිටීම සිදුවීමට නියමිතයි. ලොව සෑම කෙනකුටම පාහේ එය නැරඹීමට හැකිවනු ඇතැයි ද කියැවෙනවා. 

පොදුවේ, රෑ අහස හැඩ කරන සියල්ල තරු යැයි අර්ථ දැක්වුවත්, රෑ අහසේ පෙනෙන දීප්තිමත් වස්තූන් සියල්ල තරු නොවෙයි. ඒ අතර ග්‍රහලෝකත් තියෙනවා. තරුවක් සහ ග්‍රහලොවක් අතර වෙනසක් තියෙනවා. නිවි නිවී දිලෙන්නේ තාරකායි. ඒ තමන්ගේම ආලෝකයක් නිකුත් කරන නිසයි. ග්‍රහලෝක එසේ නොවෙයි. ඒවායේ දීප්තිය ඇති වන්නේ හිරු එළිය පරාවර්තනය කිරීම නිසයි. ඒ නිසා තරු මෙන් ඒවා දිලෙන්නේ නැහැ. 
සෙනසුරු සහ බෘහස්පතිගේ ගමන් මග

ඓතිහාසික කරුණු හා බයිබල් වාර්තා අනුව සලකා බලමින් විද්‍යාඥයන් තාරකා විද්‍යාව අනුව තහවුරු කර ඇත්තේ, එදා නත්තල් දා, අහසේ දිස්වුණු අපූරු මෙන්ම දීප්තිමත් ‘වස්තුව’ තරුවක් නොවන බවයි. මේෂ රාශියත්, සෙනසුරු, බෘහස්පති, පෘථිවිය සහ හිරු එක එල්ලයට පිහිටීම මේ සංසිද්ධියට හේතු වූ බවයි. 

මේ සංසිද්ධිය අපට දැක ගත හැකි වන්නේ ඉර බැස ගිය පසුව, බටහිර අහසේ ක්ෂිතිජයට ළං වෙන්නටයි. මෙවර සෙනසුරු හා බෘහස්පතී සමග චන්ද්‍රයාත් ඒ ළඟින් අහසේ පිහිටියත් අමාවක ආසන්නයේ නිසා එහි දීප්තිය අඩු නිසා ග්‍රහයන් දෙදෙනා ඉතා හොඳින් දැක ගත හැකියි. දැනුත් මේ ග්‍රහයන් එකිනෙකට ළ‍ං වෙන අයුරු හා ඒවා බැස යන්න ආසන්නව බටහිර අහසේ පහළින් දැක ගත හැකියි. සෑම වසර විස්සකට වරක් මේ ග්‍රහයන් එකිනෙකා ආසන්නයෙන් යනවා. ඒත් මෙහෙම එක මත එක පිහිටන ආකාරයට යන්නේ නැහැ. මේ ආකාරයට සෙනසුරු හා බෘහස්පතී පිහිටන්නේ වසර 400කට වරක් බැව් විද්‍යාඥයන් කියනවා. ඒ දිනය යෙදී ඇත්තේ දෙසැම්බර් 21දාටයි. 

සෞරග්‍රහ මණ්ඩලයේ මහ ග්‍රහයන් දෙදෙනා වන සෙනසුරු සහ බෘහස්පති එකිනෙකා ඈතින් කක්ෂවල සිටිමින් සූර්යයා වටා ගියත්, පෘථිවියට බොහෝ සේ ආසන්නව පිහිටමින්, ඒවා එක මත එක සිටින සේ ආකාරයට දකින්නට ලැබෙන්නේ සිය වස් හතරකට වතාවක් පමණයි. ජේසු බිලිඳා උපන්දා පෘථිවියේ සිට බලද්දී එය දීප්තිමත් තරුවක් ලෙස දිස්වන්නට ඇති. එළඹෙන නත්තල් සතියේත් ඒ සංසිද්ධිය යළිත් වරක් එසේ ම සිදුවෙනවා. මෙම විරල ග්‍රහ පිහිටීම ලොව සෑම රටකටම දකින්න ලැබෙනු ඇතැයි ද තාරකා විද්‍යාඥයන් වැඩිදුරටත් කියනවා. 

නත්තල් තරුව, තරුවක් නොවන බව පළමුවෙන් ලොවට හෙළි කළේ ප්‍රංශයේ පැරිස් නුවර නෝත්‍රදාම් විශ්ව විද්‍යාලයේ ‘න්‍යායාත්මක තාරකා භෞතික විද්‍යාව සහ විශ්වසම්භවවේදය පිළිබඳ මහාචාර්ය ග්‍රෑන්ට් මැතිව්ස් වන අතර ඔහු දශකයකට වැඩි කාලයක් තිස්සේ බෙත්ලෙහම් තාරකාවේ සුලමුල සෙවීමට වෙහෙසුණු තාරකා විද්‍යාඥයෙක්. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments