HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ටයිම් කවරය සරසන වසරේ යුග පුරුෂ යුගලය ජෝ බයිඩන් හා කමලා හැරිස්

මුද්‍රිත මාධ්‍යයෙන් හා අන්තර්ජාලයෙන්, ඉංග්‍රීසි බසින් පළවන ලොව කීර්තිමත් සඟරාවක් වූ ‘ටයිම්’ (Time) වසරේ විශිෂ්ටතම පුද්ගලයන් තේරීම සිදු කළේ අදියර තුනකින්. පළමු වැන්න ලෙස දෙසැම්බර් 4 වැනිදා ළමා විද්‍යාඥවරියක් ලෙස නම් කළේ ගීතාංජලී රාවෝයි. ඒ 5000ක් දෙනා අතරින්. 

අනතුරුව වසරේ යුග පුරුෂ සම්මානය තේරීම සිය පාඨකයන්ට බාර කළා. ඒ අනුව පාඨක ඡන්දෙන් තෝරා ගන්නා ලද්දේ කෝවිඩ්-19 වසංගතයේදී ඒ අභියෝගය භාර ගනිමින් කටයුතු කළ ලොව පුරා විසිරී සිටින ‘අත්‍යවශ්‍ය සේවක පිරිස’යි. ඒ තේරීම පාඨකයන් ඉටු කළේ නම් කරන ලද 80 දෙනෙකු අතරින්. 

2020 වසරේ වැදගත්ම පුද්ගල යුගලය ලෙස ‘ටයිම්’ සඟරාව නම් කළ 
තේරී පත්වුණු ඇමරිකන් ජනාධිපති බයිඩන් හා උප ජනාධිපති කමලා හැරිස් 
2020 වසරේ අවසානයේ නිකුත් වූ ටයිම් සඟරාවේ කවරය සැරසූ අයුරු.

දැන් ටයිම් සඟරාව සිරිත් පරිදි වසරක් පාසා කරන ඔවුන්ගේ සංස්කාරක මණ්ඩලයේ තේරීම පසුගියදා ඔවුන්ගේ අලුත්ම කලාපයෙන් එළි දක්වනු ලැබුවා. ඒ ඇමරිකාවේ අලුතින් තේරී පත්වුණු ජනාධිපති ජෝ බයිඩන් හා උප ජනාධිපතිනි කමලා හැරිස් දෙදෙනායි. තේරී පත් වුණු, තවමත් දිවුරුම් නුදුන්, ජනාධිපති හා උප ජනාධිපති යුගලයක් වසරේ විශිෂ්ට පුද්ගලයා ලෙස නම් කෙරුණු පළමු වන අවස්ථාව මෙයයි. ඒ තේරීම කළේ අවසාන වශයෙන් නම් කළ සිවු දෙනකු අතරින්. ඒ ඇමරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස තේරුණු ‍ජෝ බයිඩන්, 2020 වසරේ දී ලෝකයට විශාල බලපෑමක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉදිරි පෙළ සෞඛ්‍ය සත්කාරක පිරිස් සමග වෛද්‍ය ඇන්තනි ෆවුචි සහ වාර්ගික යුක්තිය සඳහා වූ සංවිධානය යන පාර්ශ්ව හතරයි. 

මෙසේ ජෝ බයිඩන් හා කමලා හැරිස් ටයිම් සඟරාවේ කවරයට නම් කිරීම එහි ඉතිහාසයේ පළමු වරට සිදු වූවක්. මීට පෙර කිසිදිනෙක, තෝරා පත් කර ගත් ජනාධිපති හා උප ජනාධිපති යුගලයක් වසරේ පුද්ගලයා ලෙස ලන් කර නැහැ. මෙහි දී කමලා හැරිස්ගේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ ඇය එම තනතුරට තේරුණු ප්‍රථම කළු ජාතිකයා මෙන්ම ප්‍රථම ආසියාතික ඇමරිකානුවා ද වීමයි. 

2020 වසරේ පුද්ගලයා ලෙස නම් කිරීම සඳහා අවසාන වටයට තේරුණු නම් අතරට 
කෝවිඩ්-19 වසංගතයෙන් ලෝක ජනතාව බේරා ගැනීමට කැප වුණු 
ඉදිරිපෙළ ලෝක සෞඛ්‍ය සේවකයන් ද ඇතුළත් වුණා.

වසර දශක නවයක් තිස්සේ ‘වසරේ මිනිසා’(Man of the Year) කියා නම් කර තිබූ එය ‘වසරේ පුද්ගලයා’ (Person of the Year) ලෙස වෙනස් කෙරුණේ 1999දීයි. වසරක් පාසා ලෝකයේ ජන ජීවිතයට හොඳින් හෝ නරකින් ලොකු බලපෑමක් පුද්ගලයන් හෝ සංවිධාන ටයිම් සඟරාව විසින් නම් කරනු ලැබුවා. ඊට පුද්ගලයන් පමණක් නොව මානව හිතවාදී ව්‍යාපාර පමණක් නොව විවිධ සංවිධාන මෙන් ම පෘථිවිය වැනි ග්‍රහලෝක පවා ඇතුළත් වුණා. 

‘වසරේ පුද්ගලයා’ ලෙස මුලින් ම නම් කරනු ලැබූ ජනාධිපතිවරයා වූයේ ෆ්රෑන්ක් ඩෙලානෝ. රූස්වෙල්ට් ය. ටයිම් 1932 දී එතුමා ‘වසරේ මිනිසා’ ලෙසින් නම් කළේ ඇමරිකාව මහා උද්ධමනයෙන් ගලවා ගැනීමට ගත් පියවර නිසයි. සියලුම ජනාධිපතිවරුන්ට වඩා වැඩිපුර වාරයක්, එනම් තුන්වරක් පදවියට පත් වූ එතුමා ‘වසරේ පුද්ගලයා’ ලෙසත් අනෙක් හැම ජනාධිපතිවරයකුටම වඩා වැඩි වාර ගණනක්, එනම් තුන් වරක් ම එම සම්මානයට පාත්‍ර වුණා. පළමු වතාවට 1934 දී සිවිල් යුද්ධයට පෙරාතුව පැවති වාර මැද මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේත්, සෙනෙට් මණ්ඩලයේත් බහුතරය දිනා ගැනීම නිසාත්, වසර 1941 දී පර්ල් වරායේ සිදුවීමෙන් පසු ඔහු දෙවන ලෝක සංග්‍රමය පිවිස ඔහු ඇමරිකාවට දුන් නායකත්වය වෙනුවෙනුත් ඒ සඳහා නම් කරනු ලැබුවා. 

එතැනින් පසු තවත් ඇමරිකන් ජනාධිපතිවරුන් අට දෙනෙකු ඔවුන්ගේ පළමු ජනාධිපතිවරණයෙන් ජය ගත් පසු‘වසරේ පුද්ගලයා’ ලෙස නම් කරනු ලැබුවා. ඒ, හැරී ටෲමන්, ලින්ඩන් බී. ජොන්සන්, (ඒ දෙදෙනා කලින් ජනාධිපතිවරුන් තනතුරේ සිටියදී අභාවයට පත් වීම නිසා අනුප්‍රාප්තිකයන් ලෙස පත් වූ අයයි.), ජිමී කාටර්, රොනල්ඩ් රීගන්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බැරක් ඔබාමා, හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන අට දෙනායි. මේ කාර්යය ආරම්භ වූ දා සිට ‘වසරේ පුද්ගලයා’ ලෙස නම් නොකරන ලද ජනපතිවරුන් තුන් දෙනෙක් ඉන්නවා. ඒ, කැල්වින් කූලිජ්, හර්බට් හූවර් හා ජෙරල්ඩ් ෆෝඩ් ඒ අයයි. 

පළමු වරට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ පමණින් ‘වසරේ පුද්ගලයා’ ලෙස නම් කිරීමක් නියත වශයෙන් සිදුවන්නේ නැහැ. 

ඩ්වයිට් ඩී. අයිසන්හවර් ඉතා විශිෂ්ට ලෙස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළත් ඔහුට 1952 දී ඒ සඳහා නම් කෙරුණේ නැහැ. ඒ වෙනුවට එය ‘වසරේ කාන්තාව’ ලෙස වෙනස් කරමින් පිරිනමනු ලැබුවේ දෙවන එලිසැබත් මහ රැජිනටයි. ඒ 25 හැවිරිදි වියේ දී සිහසුනට පත්වීම වෙනුවෙන්. ටයිම් සඟරාව අයිසන්හවර්ව ‘වසරේ පුද්ගලයා’ ලෙස නම් කළේ 1959දි දෙවරක් ජනාධිපති පදවියට පත් වීමෙන් පසුවයි. ඒත් එසේ ඔහු ‘වසරේ පුද්ගලයා’ ලෙස නම් කෙරුණේ පළමු වතාවට නොවෙයි. ඔහු 1944 දී ‘වසරේ මිනිසා’ ලෙස නම් කරනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයේ ජයග්‍රහණය ලබා දුන් හමුදා ජනරාල් ලෙසයි. රූස්වෙල්ට් ගෙන් පසු හැරී ටෲමන් 1945 ‘වසරේ මිනිසා’ ලෙස නම් කරනු ලැබුවා. ටයිම් සඟරාව ඔහු ‘පරමාණු වර්ෂයේ මිනිසා’ ලෙස විකට නමකින් ද හඳුන්වනු ලැබු‍වා. එ් පළමු පරමාණු බෝම්බ දෙක ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට දැමීමට ගත් තීරණය නිසයි. ජෝන් එෆ්. කෙනඩි 1961 ‘වසරේ මිනිසා’ ලෙස නම් කරනු ලැබුවේ ඔහු පදවියට පත්ව වසරකට පසුවයි. 

1968 දී ඇපොලෝ 8 අභ්‍යවකාශගාමීන් නම් කරනු ලැබුවේ ‘වසරේ මිනිසුන්’ ලෙසයි. ඒ හඳ වටා කක්ෂයක ගිය ප්‍රථම මිනිසුන් වීම නිසයි. ඒ වසරේ ජනපති පදවියට පත් රිචඩ් නික්සන් එවර නම් කරනු නොලැබුවත් 1971 දීත් 1972 දීත් පිට පිට ම ‘වසරේ මිනිසා’ ලෙස නම් කරනු ලැබුවා. ඒ පිළිවෙළින් ඔහුගේ ඓතිහාසික චීන සංචාරයත් ‘වෝටර්ගේට්’ සිද්ධියත් නිසයි. ඒත් ඒ කවර දෙක සඳහා ම යොදා ගත්තේ මූර්තියි. අනික් ඒවාට මෙන් ආලේඛ්‍යෙ ඡායාරූප හෝ සිතුවමක් හෝ යොදා ගත්තේ නැහැ. 

1988 දී නම් කෙරුණේ ‘වසරේ ග්‍රහයා’ ලෙස ‘අනතුරට පත් වූ පෘථිවිය’ යි, ඒ වසරේ බලයට ආ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් කොවෙයි. බුෂ්ට ඒ සම්මානය හිමි වුණේ 1990දී ‘වසරේ මිනිසුන්’ කියායි. ඒ ‍ඔහු විදේශ ප්‍රතිපත්තිය වශයෙන් ලෝකයට පෑ ‘දෙබිඩි මුහුණු’ වෙනුවෙනි. 

1927 සිට වසර වසර 93ක් තිස්සේ ටයිම් සඟරාව වාර්ෂිකව නම් කළ ඒ වසරේ චරිතය හෝ ආයතනය හෝ සංවිධානය එකින් එක ගෙන විස්තර කරන්නට ගියොත් මේ සටහන ඉතා දිගු එකක් වෙනවා. මා මෙහිදී අදහස් කළේ ගෙවුණු දශක නවය තුළ මාධ්‍යයට නව සම්ප්‍රදායක් එක් කළ වසරේ පුද්ගලයා නම් කිරීමේ ‘ටයිම්’ මෙහෙවරෙහි විවිධත්වය හා එමගින් දිගු කාලයක් තිස්සේ ලෝක මතවාද හැසිරවූ ආකාරයත් ගැන ගැන අංශු මාත්‍ර සටහනක් තබන්නයි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments