HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අවුරුදු 9 දී නාසා යොවුන් තානාපති වූ මේඝ වි‍ජේවර්ධන

‘මල්කැකුළු’වලින් ලොව පුරා දරුවන්ගේ විශිෂ්ටතා පිළිබඳව නිතරම වාගේ ලිපි පළ කිරීමට උනන්දු වුණේ ලොව පුරා මල්කැකුළු කියවන දරුවන් එවැනි දේ සඳහා ඉදිරිපත් කරන්නට දිරිමත් කරන්නයි.ඒ වගේ ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ලොව කොහේ හෝ දස්කම් පාන අය වෙතොත් ඔවුන් ගැනත් විස්තර අපි පළ කළා, ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිරිමත් කරන්න. අද අප මේ විශේෂාංගය ලියන්නේ ඒ අංශ දෙකෙන් ම කැපී පෙනෙන සුභග දරුවෙක් (Gifted child) ගැන පැසසුමක් කරන්නයි. 

ඇමරිකාවේ නාසා ආයතනයේ 
ළාබාලම තානාපතිවරයා වූ මේඝ මහීම විජේවර්ධන

‘මේඝ’ යන වදන ඇසෙන විට අපට එක්වරම සිහියට නැගෙන්නේ භාරතයේ මහා කවියා ලෙස සැලකෙන කාලිදාසයි. ඔහු ‍’මේඝ දූතය’ කියා සංස්කෘත භාෂාවෙන් මහා ප්‍රේම කාව්‍යයක් කළා. ඒ ප්‍රේමවන්තියට මේඝයක් හෙවත් වලාවක් අත යැවූ සංදේශයක් නිසයි, ඒකට ‘මේඝ දූතය’ කියා නම් තැබුවේ. එය සංස්කෘත භාෂාවෙන් සිංහලට ආ එකක්. 

වලාවක් එහෙම නැත්නම් වලාකුළක් කියන්නේ බැලූ බැල්මට සැහැල්ලු එකක්. ඒත් මහා බරක් ඇති දෙයක්. නිතරම අහසේ අපේ හිසට ඉහළින් පාවෙමින්, විවිධ විසිතුරු රටා මවමින්, කාලගුණය අනුව වෙනස් වෙමින්, පෘථිවාසීන් වන අපේ ජීවන චක්‍රය පවත්වාගෙන යාමට ඉමහත් මෙහෙයක් සලසමින් පවතින්නක්. ඉතින් මේ නම ළමයකුට තැබුවොත්, ඒ ළමයා ඒ නමේ අරුතට ගැළපෙන තැනකට පත්වුවහොත් ඊටත් වඩා වාසනාවක් තවත් නැහැ. අප කියන්න යන්නේ එවැනි සුවිශේෂ දරු‍වෙකු ගැනයි. 

ඔහු නමින් මේඝ මහීම විජේවර්ධන. (Megha Maheema Wijewardane). ඇමරිකාවේ නාසා ආයතනයේ ළාබාලම තානාපතිවරයා ලෙස ඔහුව තෝරා ගෙන නම් කර ඇත්තේ ඔහු අභ්‍යවකාශය ගැන මේ වන විටත් ලබා ඇති දැනුම හා ක්‍රියාකාරකම් නිසයි. ඔහු ජීවත්වන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නගරයේයි. එහි උපන් මේඝ දැන් නව හැවිරිදි වියේ පසුවෙනවා. තාමත් ඇඩිලේඩ් වෙස්මිනිස්ටර් පාසලට යන ඔහු, සුභග දරුවකු ලෙස හඳුනාගෙන ඔහුට සුවිශේෂ අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. පාසලේ ඉගෙනීමට අමතරව ඔහු සිව් හැවිරිදි වියේ සිට ම දකුණු විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ පාඨමාලාවක් හදාරනවා. 

මේඝ කුඩා කාලයේදීම ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරු ඔහු පරීක්ෂා කර පවසා ඇත්තේ ඔහුගේ මොළයේ වර්ධනය සාමාන්‍ය වයසට වඩා අවුරුදු පහකින් වැඩුණු අයෙකුගේ මෙන් සැකසී ඇති බවයි. ඒ නිසා ඔහුට පාසලේ දී අමතර දැනුමක් ලබා දෙන ලෙසට ගුරුවරුන්ට නිර්දේශ කරලා තියෙනවා. එසේ පවසන චරිත් හා වමින්දි මේඝ පුුතා ගැන තවදුරටත් මෙහෙම කියනවා. 

මේඝ පුතා සමග චරිත් හා චමින්දි දෙමාපියන්

‘පුතාට පුංචි කාලේ ඉඳලාම සිංහල කතාව හුරුයි. ඒ අපි ගෙදරදි සිංහලෙන් කතා කරන නිසයි. අදටත් පුතාට හොඳින් සිංහලෙන් කතා කරන්න පුලුවන්. අපි එයාට පොඩි කාලේ ඉඳලාම පොත් කියවන්න ගෙනැල්ලා දුන්නා. මේ රටේ දී දරුවෙකු ලැබුණා ම රෝහලෙන් දෙනවා ඒ දරුවාට පරිහරණය කරන්නට පොත්. ඒ කළු සුදු රූප සහිත ඒවා. පුතා පොත්වලට හරි ඉක්මනට හුරු වුණා. ඒ නිසා අපිට එයාට මාස හයේදිම අකුරු කියවන්නට සිද්ධ වුණා. 

‘අවුරුදු දෙක වන විට පුතා පොඩි පොඩි දේවල් කියවන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් අවුරුදු තුන වෙනකොට පුතාට පොත් කියවන්න පුලුවන් වුණා. එයා කියවන්න පුරුදු වුනේ සැබෑ කතා තියෙන පොත්. ඒ කියන්නේ එයා ප්‍රබන්ධ කතාවලට ආසා කළේ නැහැ.ඒත් මට මතකයි අපි පුතා පුංචි කාලේ එයාට බයිබලයේ එන දෙවියන් වහන්සේ ලෝකය මවලා දුන්න හැටි කියනවා. පුතා ඒ කතාවලට ගොඩක් කැමති වුණා. අවුරුදු තුන පහුවෙන කොට එයා භෞතික විද්‍යාවේ පොඩි පොඩි සිද්ධාන්ත අවබෝධ කර ගන්න සමත් වුණා.’ 

‘අපට හිතා ගන්න බැහැ පුතා තුළ මේවා ගැන මෙතරම් උනන්දුවක් ඇති වුණේ කොහොමද කියලා. අපි එයාව අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ පාඨමාලාව සඳහා එක්කර ගෙන යනවා. ඒ දේශන සඳහා එන්නේ මහාචාර්යවරුන්. දේශනවලට එන්නෙත් වැඩිහිටි සිසුන්. ළමයකුට ඉන්නේ මෙයා විතරයි.’ 

‘පුතාට අවුරුදු හයේදි, ඒ කියන්නේ 2017 වස‍රෙදි ඕස්ට්‍රේලියාවේ Future Problem-solving club එකට බැ‍ඳ‍ෙනවා. ඒ සංගමයේ සාමාජිකයන් වැඩිදෙනා ඉංජිනේරුවරුන්, විශ්වවිද්‍යාල මට්ටමේ සිසුන්. එහිදි පුතා වායුගෝලය පිළිබඳ පැවැති පරීක්ෂණ දෙකක් ජය ගන්නවා. එහිදි පුතා ළාබාලම කණ්ඩායමේ නායකයා වෙනවා. ගිය අවුරුද්දේදී එයාබස් සමාගමත් ප්‍රංශ රජයත් ඒකාබද්ධව කරන ActInSpace නම් ව්‍යාපෘතියේදී චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කර, මහ මුහුදට අනවසරයෙන් ඇතුළුවී සිය මත්ස්‍ය අස්වැන්න වැඩි කර ගැනීමේ අරමුණෙන් එන ධීවර නෞකා ඉන් වළක්වා, අනෙක් නැව්වලට තම අවශ්‍යතා සපුරා ගත හැකි ක්‍රම සොයා බැලූ පරීක්ෂණයෙන් ද පුතා ජය ගත්තා.’ චරිත් කියනවා. 

2017 දී NASA Space App Challenge තරගයට සහභාගිවී තමන්ට වඩා වැඩිමහලු අය සමග තරග කොට ජය ගන්නට මේඝට හැකි වුණා. 2018 දී යළිත් ඒ අභියෝගයට ම ඉදිරිපත් වී ජය ගත්තා. එහිදී බෙනූ ග්‍රාහකය පිළිබඳ පර්යේෂණවලට එක්වීමටත් ඔහු අවස්ථාව ලැබෙනවා. ඒ කටයුතු කරගෙන යන අතර තමයි, මේඝට නාසා ආයතනයේ OSIRIS-Rex මෙහෙයුමට අදාළව ඔස්ට්‍රේලියාවේ තානාපතිවරයකු ලෙස අයැදුම් කරන්නට අවස්ථාව උදා වන්නේ. 

ඒ තානාපතිකම පිරිනමන්නේ ආරක්ෂක, සමාජ සම්බන්ධතා. සෞඛ්‍ය තත්වය පිළිබඳ දිගුකාලීන අධ්‍යයනයකින් පස්සෙයි. නාසා ආයතනය මගින් පැවැත්වූ පරීක්ෂණයකින් ඉහළින් සමත් පසු මේඝට මේ යොවුන් තානාපති පදවිය පිරිනමනු ලැබුවා. ඒ අනුව, OSIRIS-Rex මෙහෙයුමේ තොරතුරු ඔස්ට්‍රේලියානු ජනතාව වෙත ලබාදීම, සමාජයෙන් මතු වන ප්‍රශ්නවලට පිළිතුර දීම ඇතුළු කාර්යයන් පැවරෙන්නේ මේඝටයි. 

‘පුතා ගැන චාමින්දිටත් මටත් හරිම පුදුමයි. පුතා මේ මොන දේ කළත් එයා ලංකාවට ආදරෙයි. එයා කියන්නේ ශ්‍රී ලාංකික වීම එයාට ආඩම්බරයක් කියලයි. එයාට මේ දේවල් හැරුණ විට ගීත ගයන්න, සංගීත භාණ්ඩ වාදනය කරන්න, චෙස් ක්‍රීඩා කරන්න, පිහිනන්න හොඳට පුළුවන්. පුතා පාසල් ක්‍රිකට් කණ්ඩායමේත් නායකයා. ඒ වගේ ම ඔහු පිට පිට ම මීටර් 400 දිවීමේ තරගයෙන් ප්‍රථමයා වුණා.’ චරිත් පුතාගේ අනෙක් කටයුතු ගැනත් කීවා. 

කුඩා අවධියේදි සිටම විද්‍යාවට තදින් ඇලුම්කරන පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ හපනාට ජීවිතයේ අරමුණු දෙකක් තියෙනවා. ඔහුගේ පළමු අරමුණ වන්නේ වයස අවුරුදු පහළොවේදී ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන සිවිල් ගුවන් නියමුවෙකු වීම හා අවුරුදු 19 පසුවූ විට වාණිජ ගුවන් නියමු බලපත්‍රය ලබාගැනීමයි. ඔහුගේ දෙවන අරමුණ වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා අවසානයේ ඔස්ට්‍රේලියානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ හා ඇමරිකාවේ නාසා ආයතනයේ රොකට් විද්‍යාඥයෙකු වීමයි. 

මේඝ පුතා උපදින්නට අවුරුදු 39කට ඉස්සර ඔහුගේ පියපසින් සීයා වන අනුර විජේවර්ධන මා සමග ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ එකට සේවය කළා. ඒ කාලයේ ‘සතුට’ චිත්‍රකතා පත්‍රයට චිත්‍රකතාවක් ඇන්දා ‘මේඝ’ කියලා, සුපිරි වීරයෙක් ගැන. ශ්‍රී ලංක‍ාවේ සුප්‍රකට චිත්‍රකතාකරුවන් වූ තලන්ගම ජයසිංහ, දයා රාජපක්ෂ, බන්ධුල හරිශ්චන්ද්‍ර,  පී. වික්‍රමනායක, ජනක රත්නායක, සරත්මධු ආදීන් අතරෙහි ලා සැලකෙන ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් ලෙස අනුර සලකන්න පුලුවන්. ‘සතුට’ පත්‍රයට පමණක් නොව ඔහු සිළුමිණ පත්‍රයටත් චිත්‍රකතා ඇන්දා. තවමත් ඔහු සිළුමිණට චිත්‍රකතාවක් අඳිනවා. ඔහුගේ චිත්‍රකතා අතරින් වඩාත් ජනප්‍රිය චිත්‍රකතාව වූයේ ‘මේඝ’යි. අනුරගේ පුත් චරිත්ට, සිය පුතු උපන් වේලේ ඔහු ළමා කාලේ කියවූ පියාගේ ඒ ජනප්‍රිය සුපිරි චරිතය ‘මේඝ’ සිහියට එන්න ඇති. ඔහු පුතාට ඒ නම තබන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. කොහොම වුනත් ඔහුගේ පුතා ඒ නමට දැනටමත් අගයක් එකතු කරලා ඉවරයි. 

‘අපේ පුතා ගැන අපිට හරි ආඩම්බරයි. එයා වැඩිහිටියන්ට වගේම, පරිසරයටත් හරි ආදරෙයි. පුතාට පුංචි කාලේ ඉඳලාම උපන්දින තෑගිවලට ලංකාවෙන් එව්වේ පොත්පත්. දවසක අපේ පුතා අපේ ශ්‍රී ලංකාවටත් කීර්තියක් ගෙන එන බව මට විශ්වාසයි.’ චරිත් හා චමින්දි ශ්‍රී ලංක‍ාවේ පුවත්පතකට කියා තිබුණා. ‘මල්කැකුළු’ත් ඔබ ගැන ආඩම්බර වෙනවා. 

අපි මේඝ පුතාටත් චරිත් හා චමින්දි මාපියන්ටත් සුබ පතමු! 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments