HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නත්තලට කෑම ජාති 5000ක් උයන්න හැකි විස්මිත රොබෝ කෝකියෙක්!

එක්සත් රාජධානියේ මෝලේ රොබොටික්ස් ආයතනය නත්තලට විස්මිත නිර්මාණයක් කරලා තියෙනවා. ඒ, නත්තලට ඕනෑම කෑමක් හදලා දෙන්න පුලුවන් රොබෝ කෝකියෙක්. මිනිස් උදවු නැතිව තනියම මේ රොබෝ කෝකියාට කෑම වට්ටෝරු 5000ක් 2011 මාස්ටර් චෙෆ් සම්මාන දිනූ සූපවේදියා හදන විදියට ම හදලා දෙන්න පුලුවන්. මෝලේ රොබොටික්ස් මේ අලුත් ම ‍රොබෝ හදලා තියෙන්නේ ඒ වසරේ හොඳම සූපවේදියා වූ ටිම් ඇන්ඩර්සන් අනුකරණය කර ඔහු හදන විදියට ම කෑම පිසින්නයි. 
මේ ස්මාට් සූපවේදියාට ස්මාට් ශීතකරණයෙන් අවශ්‍ය දෑ අරගෙන 
මුළුතැන්ගෙයි මෙවලම් භාවිත කර, විදුලි උදුනේ තබා පිස ගෙන අනතුරුව කෑම මේසයට 
ගෙනවුත් පිළිගන්වන්නත් පුලුවන්.

මේ රොබෝ කෝකියාට විවිධ කෑම වේල් 5000ක් පිළියෙල කරලා කෑමට එන අයට ඒවා පිළිගන්වා අවසානයේදී අස්පස් කරලා දාන්නත් පුලුවන්. මේ රොබෝ කෝකියා තමන්ගේ කුස්සියට යොදා ගැනීමෙන් ‍පවුම් 30,000ත් 55,000ත් අතර ගණනක් ඉතිරි කර ගත්තෑකි කියලයි එය තැනූ අය කියන්නේ. 

මේක ඇත්තෙන්ම රොබෝ කෝකියෙක් විතරක් නෙවෙයි, ස්වංක්‍රීය මුළුතැන්ගෙයක්. මේ රොබෝ නිර්මාණය කරන්න ඉංජිනේරුවන් හා සැලසුම්කරුවන් 100ක් දායකත්වය දීලා තියෙනවා. ඊට අමතරව සම්මාන දිනූ සූපවේදීන් තුන් දෙනෙකුත් හවුල් ‍වෙලා තියෙනවා. ඒ වගේ ම වසර හයක් ගත වුණා, ඔවුන්ට මේ නිර්මාණය ඉවර කරන්න. මේ රොබෝ වෙළඳපොළට එවන්න දැන් සූදානම්. 

මේ ස්වයංක්‍රීය මුළුතැන්ගෙය නිර්මාණය කරන්නට ඉංජිනේරුවන් හා 
 සැලසුම්කරුවන් 100ක් හා සම්මානලාභී සූපවේදීන් තුන්දෙනෙක් 
වසර හයක් තිස්සේ වෙහෙසුණා.

මේ රොබෝට තියෙනවා සංවේදක හා කැමරා පද්ධතියක්, මුළුතැන්ගෙය තුළ ඇවිදලා අවශ්‍ය දේ සොයා ගෙන කාගෙවත් උදව්වක් නැතිව සිය කටයුතු කඩිසරව හා කාර්යක්ෂමව කර ගන්න පුලුවන්. මුළුතැන්ගෙහි ඇති කෑම පිසින උපකරණ තෝරා ගෙන, පිසිය යුතු කෑම වර්ගවලට අවශ්‍ය අමු ද්‍රව්‍ය, කුළුබඩු ඇති තැන්වලින් සොයා ගෙන මිනිස් සූපවේදියකු මෙන් කෑම පිසින පියවර නිසි ලෙස භාවිත කරමින් කෑම පිසින්න පුලුවන්. 

මල නොබැ‍ඳ‍ෙන වානේවලින් තැනූ මෙහි ඇති කෑම පිසින භාජන හැඬලවල හා මූඩිවල සලකුණු යොදා තියෙනවා රොබෝට හඳුනා ගන්න පුලුවන් වෙන විදියට. ඒ නිසා වැඩ කරන අතරතුර ඒවා නිවැරදිව තෝරා බේරා ගෙන වැඩ කරන්න රොබෝට පුලුවන්කම තියෙනවා. ඒ අතර රොබෝ ළඟ ඇති කැමරාවලට පුලුවන්, ඉවතට විසි වන ආහාර කොටස් සොයා බලා ඒ ශුද්ධ පවිත්‍ර කරන්න. ඒ එක්කම රෝබෝ ළඟ තියෙනවා, පාරජම්බුල ආලෝක ධාරාවක්. වැඩ කරන අතර ඒකට පුලුවන්, මුළුතැන්ගෙය තුළ සෑම තැනකම ඇති අහිතකර විෂ බීජ විනාශ කර දමන්න. 

එංගලන්තයේ මොලේ රොබෝටික්ස් ආයතනයේ මේ සූපර් කුක් 
අනුකරණය කරන්නේ 2011 මාස්ටර් චෙෆ් බවට පත් වූ ටිම් ඇන්ඩර්සන්වයි.

මේ රොබෝට වැඩ කරන්න විශේෂයෙන් සැලසුම් කළ නවීන තාක්ෂණික මුළුතැන්ගෙයක් ඕනෑ. එහි රොබෝ වෙනුවෙන් ම හැම දෙයක්ම සැලසුම් කරලා තියෙනවා. ඇත්තම කියනවා නම් මෝලේ රොබොටික්ස් ආයතනය හඳුන්වා දී ‘ඇත්තේ’ සුපර් කුක් කෙනෙක් විතරක් නොවෙයි, නවීන ස්වයංක්‍රීය මුළුතැන්ගෙයක්. 

මේ මුළුතැන්ගෙය තුළ පරිගණකයෙන් මෙහෙවන ජාලගත උපකරණ රාශියක් තියෙනවා. ස්මාට් ශීතකරණයක් හා ආහාර පිසීමට ගන්නා ද්‍රව්‍ය ගබඩා කළ හැකි කොටසක් තියෙනවා. ඒ කොටසේ ඇති විශේෂ සංවේදකවලට පුලුවන් ආහාර පිසීමට ගන්නා අමු ද්‍රව්‍ය අඩු වේගන යනවා නම් ඒ බවත්, කල් ඉකුත්වී යනවා නම් ඒ බවත්, කල් ඇතුව දැනුම් දෙන්න. ඒකටම සම්බන්ධ වෙලා තියෙනවා, උදුනක් හා තාප ප්‍රේරණ තලයක් සමග සින්ක් එකක්. 

මේ රොබෝ සූපවේදියාට තමා වෙත ඇති කැමරා හා සංවේදක මගින් 
අවශ්‍ය හැම දෙයක් ම සොයා ගෙන මිනිස් සූපවේදියකු වගේම 
ක්‍රියා කරන්න පුලුවන් කාගේවත් උදව්වක් නැතිව.

මේ සුපර් කුක් සමග ස්වයංක්‍රීය මුළුතැන්ගේ පද්ධතිය මුලින් දොරට වැඩියේ පසුගියදා ඩුබායිහිදී පැවැති ‘ගල්ෆ් තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය (Gulf Information Technology Exhibition) සඳහා විශේෂාංගයක් හැටියටයි. 2011 ජගත් සූපවේදී සූරයා වූ ටිම් ඇන්ඩර්සන් සමග තවත් ප්‍රධාන පෙළේ සූපවේදීන් දෙපළක් වන ඇන්ඩෲ ක්ලාක් හා නිකොලේ පිසානි එක්ව විශේෂ කෑම වට්ටෝරු 30ක් යොදා මේ ස්වයංක්‍රීය මුළුතැන්ගෙය ඒ ප්‍රදර්ශනයේ දී ක්‍රියාත්මක කර පෙන්නුවා. 

මෝලේ රොබොටික්ස් කියන්නේ සතිපතා මෙයට නව කෑම වට්ටෝරු ඇතුළත් කරන බවයි. සම්මත කෑම වට්ටෝරු 5000ක් මෙයට ඇතුළත් කරන්න පුලුවන්. හිමිකරුවන්ටත් තමන් කැමති ඕනෑම කෑම වට්ටෝරුවක් මෙය එක් කළ හැකියි. 

මේ ඔබ දකින්නේ ලෝකයේ ප්‍රථම රොබෝටික මුළුතැන්ගෙයි කෑම පිසින ආකාරයයි. 
මේ සූපවේදය අතින් මිනිසා ලත් විශිෂ්ට ජයග්‍රහණයක්.

‘ඔබ මේ දකින්නේ ලෝකයේ ප්‍රථම පාරිභෝගික රොබෝටික මුළුතැන්ගෙයයි.’ මෙය හඳුන්වා දෙමින් මෝලේ රොබෝටික්ස්වල ප්‍රධාන විධායක නිලධාරි මාක් ඔලේනික් කියනවා. 

‘අපේ සුඛෝපභෝගී පූර්ණ ස්වයංක්‍රීය ස්මාට් කුස්සිය අලෙවි කරන්න දැන් අපි සූදානම්. ස්මාට් කාර්, ස්මාට් ෆෝන්, ස්මාට් ටෙලිවිශන්, ස්මාට් පරිගණක වැනි නවෝත්පාදක නිපැයුම් අතරට මේ ස්මාට් කුස්සියක් අද පටන් එක්වෙනවා. අපට විශ්වාසයි, මේක නවෝත්පාදනලෝලීන් මෙන් ම වෘත්තීකයන් ද ආදරෙන් වැළඳ ගනියි කියලා’. 

මෙහි ඇති වට්ටෝරු හුවමාරු කර ගන්නා විශේෂාගය මගින්, ඔබට අවශ්‍ය අලුත් වට්ටෝරු එකතු කරන්නත් මෙහි ඇති වට්ටෝරුවල වෙනස්කම් කරන්නත් පුලුවන්.

‘දැනට ඇණවුම අනුව මිල නියම කෙරුණත් පසුව මෙහි ඉල්ලුම, නිෂ්පාදන ධාරිතාව හා අලෙවිය අනුව අනාගතයේ දී විශාල ලෙස මිල අඩු කළ හැකි වේවි. ඒ එක්කම මෙය තවදුරටත් වැඩි දියුණු කොට අලුත් අංග රැසක් එක්කරන්න අපට පුලුවන් වේවි.’ ඔහු වැඩිදුරටත් කියනවා. 

‘ඔබ විවිධ ආහාර ගන්න රුචි අයෙක් නම් ඒ අත්දැකීම් ගන්න පුලුවන්. එහෙම නැතුව ඔබ අඩු කැලරි කෑමවලට කැමති නම්, ආහාරය පාලනය කරන, ඒ සඳහා විශේෂිත ආහාර වට්ටෝරු අවශ්‍ය අයෙක් නම් ඒකටත් සහය වෙන්න මේ සුපර් කුක්ට පුලුවන්.’ 

කෑම පිසීම ඉතාමත් පහසු වෙනවා මේ ස්වයංක්‍රීය රොබෝ සූපවේදියා යොදා ගත්තාම. 
කෑම වට්ටෝරු 5000ක් තියෙනවා ඔබට තෝරා ගන්නට.

රොබෝ සූපවේදියා ක්‍රියාකරන අයුරු පහත වීඩියෝවෙන් බලන්න!

‘මෙහි ඇති වට්ටෝරු හුවමාරු කර ගන්නා විශේෂාගය මගින්, ගෙදර රසට ආහාර පිසගන්නා අයටත්, සූපවේදීන්ටත්, තමන්ගේ අත්දැකීම් මත වට්ටෝරු වෙනස් කිරීම් ආදිය කරන්නත් පුලුවන්. ඉදිරියේදී ඒවා තවත් අයට රසවිඳින්නත් ඉඩ ප්‍රස්තා සැලැසේවි.’ 

‘මේක ශ්‍රමය ඉතිරි කරන එකක්ම පමණක් නොවෙයි, නව ආහාර වට්ටෝරු නිර්මාණය කරන අයටත් ඒවා අත්හදා බලන්නත් උදවු වෙන මෙවලමක්. ඒ වගේ ඔබට වඩා හොඳ සූපවේදියකු වීමට මග කියා දීමටත් මේ ස්මාට් ‍සූපවේදියාට පුලුවන්.’ මෝලේ රොබෝටික්ස්වල ප්‍රධාන විධායක නිලධාරි මාක් ඔලේනික් අවසාන වශයෙන් සඳහන් කළා.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments