HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 45කට පසුව චීනයත් සඳ‍ෙන් පස් ගෙ‍ෙනයි! ආපසු ආ විස්මිත ගමන!

චීනයේ ‘චෑංඊ-5’ (Chang'e-5) චන්ද්‍ර කැප්සියුලය ස‍ඳ‍ෙහි අලුත්ම පස් හා ගල් සාම්පල රැගෙන 2020 දෙසැම්බර් 17 වැනිදා පෙර අලුයම් කාලයේ දී නිරුපද්‍රිතව පෘථිවියට පැමිණියා. මෙවැන්නක් සිදු වූයේ වසර 45කට පසුවයි. ඒ සෝවියට් ‘ලූනා 24’ යානය 1976 දී ස‍ඳ‍ෙහි පස් ගෙනාවාට පසුවයි. මේ චීනය ස‍ඳ‍ෙන් පස් ගෙන ඒමට සමත් වූ ලෝකයේ තුන්වැනි රට බවට පත්වෙනවා. අනෙක් රටවල් දෙක වන්නේ සෝවියට් දේශයත්, ඇමරිකා එක්සත් ජනපදයත්. 
පස් රැගෙන පෘථිවියට ආ චීන කැප්සියුලය

ආපසු එන ගමනේ දී රාත්තල් 661ක් බර මේ කැප්සියුලය ඇතුළු කොටස කෙළින් ම ඇතුළු වුණේ නෑ, පෘථිවි වායුගෝලයට. එසේ වුවහොත් ගැටීමෙන් ගිනි ගැනීමක් සිදු වන නිසා එය අරාබි මුහුදට ඉහළින් වායුගෝලය අද්දරදී වායුගෝලයේ වැදී බෝලයක් මෙන් විස්මයජනක ලෙස පොළා පනිමින් එහි වේගය අඩු කර ගෙන දෙවනුවයි, පෘථිවි වායුගෝලයට ඇතුළු වූයේ. 

ප‍ොළොවේ සිටි අයට මේ කැප්සියුලය පෙනුනේ පාන්දර අහසේ වේගයෙන් පොළොව කරා එන දිගු ආලෝක ධාරාවක් සහිත උල්කාපාතයක් ලෙසයි. 

මෙය පතිත වූයේ චීනයේ වඩාත් උතුරට වෙන්නට පිහිටි හිමෙන් වැසුණු පරිසරයකටයි. එය කලින් ද චීනය උඩුගුවනට යැවූ අභ්‍යවකාශගාමීන් රැගත් කැප්සියුල පතිත වූ තැනකි. මධ්‍යම රාත්‍රිය පසුවී පැය එකහමාරකට පසු සිදුවූ මේ ආගමනය අපේක්ෂාවෙන් විද්‍යාඥයන් මෙන් ම ගලවා ගැනීමට යොදවන ලද කණ්ඩායම්ද ඇස් දල්වාගෙන සිටියා. 

කැප්සියුලය වැටුණු තැන නංවා ඇති ධජය සහ ඔවුන් එය ඉවත්කිරීමට සැරසෙන අයුරු

කැප්සියුලය පතිත වූ තැනට පර්යේෂකයන් හැමටම පළමුව ගියා. ඒ කැප්සියුලය එතැනින් ඉවත් කිරීමට ප්‍රථම බාහිරව පරීක්ෂා කිරීමටයි. ඉන්පසුවයි, මුද්‍රා තබා ඇති පස් සාම්පල බෙයිජිං අග නගරයට ගෙනියන්නේ ඒවායේ මුද්‍රා ඉවත් කරන්නයි. මේ ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් පසු ස‍ඳ‍ෙන් පස් ගෙන ඒමට සමත්වූ ලෝකයේ තුන්වැනි රට බවට පත් වෙනවා. 

මෙසේ අලුතින් ගෙනා පස් මීට කලින් සෝවියට් දේශය හා ඇමරිකාව ගෙනා පස් හා පාෂාණවලට වඩා වසර බිලියන ගණනක් වයසින් අඩු ඒවා වන අතර ඒවා පරීක්ෂා කිරීමෙන් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහවස්තූන්ගේ හා ස‍ඳ‍ෙහි ඉතිහාසය පිළිබඳ නව දැනුමක් ලබා ගැනීමට මඟ පෑදෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. 

මේ රූප සටහනෙන් පියවරෙන් පියවර දැක්වෙන්නේ යානය 
හඳ වෙත ගොස් පස් සාම්පල රැගෙන ආ ආකාරයයි.

කැප්සියුලය සොයා ගත් තැන චීන ජාතික ධජය ඔසවන්නට ඔවුන් අමතක කළේ නැහැ. එයින් පසුවයි, ඔවුන් ඒ කැප්සියුලය එතැනින් ඉවත් කර ගත්තේ. 

මේ පස් සාම්පලවලින් කොටසක් චීනයේ විමුක්තිදායකයා වූ සභාපති මාවෝගේ උපන් ස්ථානය වූ ෂාවොෂාන්හි තැන්පත් කෙරෙනවා. ඒ, ‘සිය දේශයට යම් දවසක සඳ අල්ලන්න හැකි වේවා’යි කළ ඔහුගේ පැතුමට ගෞරවයක් හැටියටයි. 

මේ පස් සාම්පල ලබා ගත්තේ සඳ‍ෙහි ‘ඕෂේනියස් ප්‍රෝසිලාරම්’ (Oceanus Procellarum) හෙවත් කුණාටු මුහුදේ ‘මොන්ස් රුම්කර්’ (Mons Rumker) නම් ස්ථානයෙන්. එය ආදි යුගයේ යමහලක් (ගිනිකන්දක්) පැවති තැනක්. 

‘මේ පස් හා පාෂාණ, විද්‍යඥයන්ට දළ වශයෙන් වසර බිලියන එකත් තුනත් අතර වන සඳ‍ෙහි වයස් කාලය තුළ ඉතිහාසයේ අඩුතැන් පුරවා ගැනීමට උපකාර වෙනවා.’ යයි ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යා පිළිබඳ මැක්ඩොනල්ඩ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බ්‍රැඩ් ජොලිෆ් ඊමේල් මගින් සඳහන් කරනවා. 

චන්ද්‍රයානය සමග සඳ වටා යමින් පස් රැගෙන ආපසු ඒමට සැරසුණු හැටි

‘ඒ හැරෙන්නට එහි, අපට ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් වන සාන්ද්‍රණය වූ හයිඩ්‍රජන් ‍හා ඔක්සිජන් ඇතැයි පළ කෙරෙන ඉඟි ඇත්නම් ඒවා සොයා ගැනීමටත් මේවා පිරික්සීමෙන් පුලුවන් වේවි. ඒ අතින් මේ සාම්පල ධන නිධානයක් වගෙයි’ යයි සඳහන් කරන බ්‍රැඩ් ජොලිෆ් තවදුරටත් කියන්නේ, ‘මා අපේ සහෝදර චීන විද්‍යාඥයන්ට සුබ පතනවා, මෙවැනි අසීරු කටයුත්තක් සාර්ථක ලෙස නිම කිරීම ගැන. මෙවැනි සාම්පල ගෙනවුත් කරන විශ්ලේෂණවලින් වසර ගණනාවකට අවශ්‍ය තොරතුරු හෙළි කර ගන්න පුලුවන්. ඒ සඳහා ජාත්‍යන්තර විද්‍යා ප්‍රජාවගේ සහයෝගය ලබා ගනීවි යැයි අපේක්ෂා කරනවා.’ කියායි. 

චීන රජයේ රුපවාහිනියෙන් මේ කැප්සියුලය සොයා ගත් අවස්ථාව සජීවීව පෙන්වනු ලැබුවා. මේ කැප්සියුලය විවෘත කෙරෙන්නේ බෙයිජිංවලට ගෙන ගිය පසුවයි. මෙහි පස් හා පාෂාණ රාත්තල් 4.41ක් ගෙන ඒමට සැලසුම් කර තිබුණද එහි සත්‍ය වශයෙන් ඇත්තේ කොපමණ දැයි දැන ගත හැකි වන්නේ විවෘත කර බැලූ පසුවයි. නිලධාරින් කියන්නේ මේ පස් කොටස් කර, එක් කොටසක් මහජන ප්‍රදර්ශනය සඳහා කෞතුකාගාරවලට හා ‍ග්‍රහලෝකාගාරවලට යවනවා. කොටසක් ඉන්කියුබේටරයක තැන්පත් කරනවා. ‍අනෙක් කොටස් පර්යේෂණ සඳහා විද්‍යාගාරවලට යැවෙනවා. එහි දී පර්යේෂණ කිරීමට කැමත්ත පළ කරන අන්තර්ජාතික විද්‍යාගාරවලටද ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. 

පෘථිවියට ගෙන ඒමට පස් සාම්පල රැස් කළ අයුරු

පහත වීඩියෝව බලන්න

මේ කටයුත්තේ දී චීනයට සහය දුන්නේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියයි. ඔවුන් තමයි චීනයට මෙම මෙහෙයුම අධීක්ෂණය කරන්නට සහය වුණේ. නාසා ආයතනයට මේ සඳහා උදවු කිරීමට හැකියාවක් තිබු‍ණේ නැහැ, ඇමරිකානු රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් නිසා. එයට හේතුව චීන අභ්‍යවකාශ වැඩ පිළිවෙළට චීන හමුදාව සම්බන්ධ වීමයි. 

මේ නිසාම තමයි, අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළේ අභ්‍යාසවලට එක්වීමට චීන අභ්‍යවකාශ ගාමීන්ට අවස්ථාව නොලැබුණේ. ඒ නිසා චීනය වෙන රාජ්‍යවල සහය ඇතිව ඉදිරි වසර දෙක තුළ නව අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළක් පිහිටුවීමටද සැලසුම් කර ගෙන යනවා. 

චීනයේ මේ ‘චෑන් ඊ-5’ යානය පසුගිය නොවැම්බර් 23 වැනිදා හුනාන් පළාතෙන් සඳ බලා යවනු ලැබූ අතර එය දෙසැම්බර් 1 වැනිදා නියමිත පරිදි සඳ මතට ගොඩ බැස්සා. මිනිසුන් රහිත යානයක් නිසා එහි රෝබෝ අත්වලින් සඳ මත සූරා පස් හා පාෂාණ එක්කාසු කර ගෙන, ඒ වගේම සඳ පෘෂ්ඨය අඩි හයක් විද එහි ඇතුළතින් පස් ලබා ගෙන, ආපසු පොළොවට ඒමයි, එයට පැවරුණු රාජකාරිය වුණේ. ඒ කටයුත්ත දින 23කට පසු සාර්ථක ලෙස ඉටු වුණා. ඒවා වි‍ශ්ලේෂණයෙන් කරුණු හෙළිදරවු කර ගැනීමයි ඊළඟට තියෙන්නේ. 

සඳ‍ෙන් ගෙනෙන පස් හා පාෂාණ ඒ ස්ථානයේ දීම මුද්‍රා තබා විශේෂ බහාලුම්වල දමා ආපසු එන යානයෙන් ගෙන්වීමට ඔවුන් බලාපොරොත්තු වුණා. සියල්ල ඉතා නිවැරදිව සිදු වුණා. මේ මෙහෙයුම සාර්ථක කර ගන්නට යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ සහය චීනයට ලැබුණා. 

චීනය මේ වන විට යානා තුනක් සඳට යවා තියෙනවා. එයින් යානා එකක් (චැන් ඊ-4) යැවුවේ හඳ‍ෙහි අඳුරු පැත්තටයි. හඳට මිනිසුන් යවන විට එහි ස්ථිර කඳවුරක් බිහි කිරීමට අවශ්‍ය දත්ත එක්රැස් කෙරුණේ එම යානයෙන්. ඊට අමතරව ඔවුන් අඟහරු වෙතටත් යානයක් යැවුවා. මේ ගැන ඔබට අපි මීට කලින් ‘මල්කැකුළු’වලින් දැනුම් දුන්නා මතක ඇති. 

මීට කලින් ‍1969ත් 1972ත් අතර ඇමරිකාව අභ්‍යවකාශගාමීන් යවා හ‍ඳ‍ෙන් පස් සාම්පල රාත්තල් 842ක් ගෙනාවා. ඒවායින් තමා සඳ‍ෙහි සංයුතිය, වයස ආදිය නිගමනය කළේ. ඒ පස් සාම්පල් ලෝකයේ විද්‍යාඥයන්ටත් පර්යේෂණ සඳහා බෙදා දුන්නා. 

චීනය මේ ගෙනා පස් විශ්ලේෂණය කරන්නට සුවිශේෂ විද්‍යාගාරයක්ද තනා තියෙනවා. පෘථිවියේ වායුව සමග මේ පස් නොගැටෙන සේ පරිස්සමෙන් එහි ග‍ෙන ගොස් පිරික්සීමට චීනය අපේක්ෂා කරනවා. ඒ වගේම ලෝකයේ විද්‍යාඥයන්ට මේ පස් සාම්පල ලබා දීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

1 Comments

  1. චීන ජාතික ඉංජිනේරු මහත්තයා මොකද කියන්නේ මේ ගැන

    ReplyDelete