HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 24කට පෙර සිංහල ගීත ලෝකයේ විස්මිත මැජික් පෙන්නූ ක්ලැරා

සිංහල ගීතය වයස් තරාතිරමක් නැතිව එකසේ සෑම දෙනාගේම හදවත්වලට සමීප කළ මනබඳන ගායක‍යකු, ගීත රචකයකු, ස්වර රචකයකු හා සංගීතඥයකු වසර 24කට පෙර අප අතරින් අකාලයේ වෙන්ව ගියේ තවමත් නොපිරවූ මහා හිඩැසක් ඇති කරමිනුයි. ඔහු අන්කිසිවකු නොව, වර්තමානයේ ජයකෙහෙළි නංවා සිටින ගායක ගායිකාවන් රැසකට දහස් ගණනක තනු සපයා දෙමින්, කුසලතා ඇති නවක ගායක ගායිකාවන් හඳුන්වාදී එක රැයින් කරු බවට පත් කරමින්, කණ්ඩායම් සංගීතයට අමිල මෙහෙයක් ඉටු කළ විතාන කුරුප්පු ආරච්චිගේ ක්ලැරන්ස් ආතර් සෝමසිංහ විජේවර්ධනයි. ඔබට හුරුපුරුදු නමින් කීවොත් ඔහු ‘ක්ලැරන්ස් විජේවර්ධන’යි. ඔහු මියගියේ ඊයේ වගේ දවසකයි. ඒ 1996 දෙසැම්බර් 13 වැනිදා කොළඹදීයි. කොළඹ කනත්තේ ඔහු වෙනුවෙන් ලියූ හේතුපාඨයක් යෙදා ඉදිකළ සිහිවටනයක් තියෙනවා. 

ක්ලැරන්ස් විජේවර්ධන

ඔහු උපන්නේ 1943 අගෝස්තු 3 හපුතලේ දී. ඔහුගේ පියා තේ වතුකරයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ නිසා පුතා වතු පාලකයකු කිරීමට ඔහුගේ පියාට අවශ්‍ය වුනත් ඔහු හැරුණේ සංගීතය දෙසටයි. ඔහු හපුතලේ හයිලන්ඩ් විද්‍යාලය, මාපියන් පදිංචිය මාතලේට වෙනස් වූ බැවින් යටවත්තේ මහසෙන් මහා විද්‍යාලයටත්, එතැනින් මහනුවර ධර්මරාජ විද්‍යාලයටත් ගොස් අධ්‍යාපනය ලැබුවෙක්. ධර්මරාජයේ ඉන්නා කාලයේ ඔහු ලියූ කවි, දිනමිණ, ජනතා, පුවත්පත්වලට පළ වී තියෙනවා. ඔහු පියාගේ අකල් වියෝව නිසා 1965 දී රත්නපුරේ බටුගෙදර පදිංචියට ආ පසුවයි, පාසලේදී සංගීතය ඉගෙන නොගත් ඔහු ඊට තදින් යොමුවුණේ. ඒ මංගල උත්සවයකදී බීකන්ස් සංගීත කණ්ඩායම කළ ප්‍රාසාංගික ඉදිරිපත් කරනු දැකීමෙන් පසුවයි. ඒ අනුවයි, ඔහු රත්නපුර ගඟබඩ සීවලියේ සංගීත ගුරු රත්නසේකර සර් හමු වී ගිටාරය ශාස්ත්‍රානුකූලව උගන්වන ලෙස ඉල්ලා සිටියේ. 

ක්ලැරන්ස් (මැද) සමග ‘ද මූන්ස්ටෝන්ස්’ කණ්ඩායම.

රත්නපුරේ බටුගෙදර ජීවත් වීමට ආ පසු හැටේ දශකයේ මැද භාගයේ දී ඔහු සංගීත කණ්ඩායමක් තනා ගෙන උපදෙස් පතාගෙන ශ්‍රී සඟබෝ කොරයා හමුවීමට ගිය අවස්ථාවේ ගීත අසා සතුටු වූ ඔහු සංගීත කණ්ඩායමට නායක ගායකයෙකු අවශ්‍ය බව පෙන්වා දුන්නා. ඒ අනුව ක්ලැරන්ස් ඇනස්ලි මාලේවන ඊට එක්කර ගත්තා. මේ කණ්ඩායමට ‘ද මූන්ස්ටෝන්ස්’ යන නම දුන්නේත් ශ්‍රී සඟබෝ කොරයායි. ඒ විතරක් නොවෙයි ඔහු ක්ලැරන්ස්ව ගුවන්විදුලියේ විජය කොරයාටත් හඳුන්වා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, Saturday Stars නම් සංගීත වැඩසටහනට එක්වීමට අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ මුල්ම ගී තැටිය ‘මංගෝ කළු නැන්දේ’වූ අතර ‘රුවන්පුරය අපේ ගම තමයි’ගීයත් එහි ආවක්. ඉන්ද්‍රණි පෙරේරා ගැයූ, ‘දිල්හානී’, ‘සුමුදු මල් පිපුණු අතු කොනේ’, ‘වන දෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ’, ‘කාගෙ ද ගොන් වස්සා’ වැනි ගීතත් ඒ කාලෙදි ක්ලැරන්ස් අතින් ලියැවී සංගීතවත් වුණු ඒවායි. 

1970 දී ක්ලැරන්ස් ‘මූන්ස්ටෝන්ස්’ අතහැර ‍ගොස් ‘ද ගෝල්ඩන් චයිම්ස්’ කණ්ඩායම පිහිටුවනවා. ‘කිමද නාවේ’, මගේ පැල්පතේ’, ‘සමනලයෝ’, ‘වැලයි මලයි’ ආදී ගීත ආවේ ඒ කාලයේයි. වසර දෙකකට පසු 1973 දී ඔහු ‘ද සුපර් ගෝල්ඩන් චයිම්ස්’ පිහිටුවනවා. ‘ගමෙන් ලියුමක්’, ‘උඩරට නිළිය’, ‘වන බඹරෝ’ ආදිය ඒ කාලේ ආ ගීතයි. ක්ලැරන්ස් සමග කණ්ඩායම කතරගම පුදබිමට ගියේත් ඒ කාලයේමයි. ‘කඳසුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද - පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන - ඔබ පිදුමට ආවා - අපි ඔබ පිදුමට ආවා’ එදා ඔවුන්ගේ සජීවී ගී හඬින් ඒ පුදබිම පිරී ගියා. 

ශ්‍රී ලංකාවේ ගීත පටි ගත කිරීම සඳහා ප්‍රථම වරට මල්ටි ට්‍රැක් 
පටිගත කිරීමේ ක්‍රමය යොදා ගත්තේ ක්ලැරන්ස්

1979 දී ඇනස්ලි මාලේවන කණ්ඩායම හැරයාමත් සමග ඉන් ඉවත් වූ ක්ලැරන්ස් ද ඒකල ගායකයකු වශයෙන් කටයුතු කළා. එපමණක් නොව අපේ පළමු පෙළේ ගායකයන්ට හා ගීත රචකයන්ට ඔහු තනු නිර්මාණයෙන් සිය දායකත්වය නොමසුරුව ලබා දුන්නා. දශක තුනක් තුළ ඔහු තනු නිර්මාණය කළ ගීත සංඛ්‍යාව දෙදහසකටත් වැඩියි. ඔහුගේ මිහිරි තනුවලට නිදසුන් ලෙස ‘මාගේ වියෝවෙන්’, ‘නිසංසලේ අපි හමුවෙලා’, ‘රහසේ හඬනා’, ‘ඈත රන්විමන් තුළින්´ඉන් කීපයක්. 

1985 වසරේ දී ක්ලැරන්ස් ‘මදාරා’ නමින් නව සංගීත කණ්ඩායමක් බිහි කළා. එහි සාමාජිකයන් වුණේ රූකාන්ත ගුණතිලක (කී බෝඩ්), මරියසෙල් ගුණතිලක (කී‍ බෝඩ් හා ගායනය), රාජු බණ්ඩාර හා ප්‍රභාත් බණ්ඩාර (ලීඩ් ගි‍‍ටාරය), සමග අජන්ත ගමගේ (ඩ්‍රම්ස්) යන අයයි. 

‘ක්ලැරා’ නමින් පොතක්, ‘පරා’, ඒ කියන්නේ පරාක්‍රම කොඩිතුවක්කු කවියා ලියලා තියෙනවා. ඒක හඳුන්වා ඇත්තේ සංගීතමය නවකතාවක් ලෙසයි. ඒකෙ එකතැනක ක්ලැරන්ස්ගේ කුඩා කාලය ගැන ඔහුගේම වචනවලින් මෙහෙම කියනවා. ‘මම හපුතලේ පැත්තේ පිටිසර ගමක උපන් කොල්ලෙක්. අල බතල කාල හැදුණෙ. පුංචි සන්දියෙදි අත්තම්මා මල්ලිටයි මටයි බතට බෙදුවේ තෙබු, අඟුණකොළ මැල්ලුම්. ඒ වගේම කරපිංචචා, ඉරමුසු කැඳ හදා දුන්නා. අම්මා නුවර පෙරහරේ පොළේදි අරන් දුන්න පුංචි රබාන මගේ අතට ලැබුණු මුල්ම සංගීත භාණ්ඩයයි. පහේ පන්තියෙදි ලැබුණ ඒ රබාන දහයට යනතුරු ම මගේ ළඟ තිබුණා. ඒ රබාන ඇතුළෙන් ආ song bird කෙනෙක් මා තුළට රිංගන්න ඇති.’ 

අලුත් විදියට හිතන, හොඳ කවි ලියන, පෙරළිකාරයකු වූ පරාක්‍රම ‘ක්ලෑරා’ ලියා ක්ලැරන්ස්ට කළේ ලොකු ගෞරවයක්. රත්නපුරේ සිය සහෘදයකුට කළ උපහාරයක්. එහි එන තවත් සඳහනක් මෙසේයි. ‘බලංගොඩ පල්ලියේ ඉස්කෝලෙට යද්දී නැවතී සිටි ෆ්‍රැන්සිස් අයියලාගේ බෝඩිමේදි තමයි ගිටාරයක් හමුවුණේ. එයාගේ ඇඳ උඩ තිබුණු බොක්ස් ගිටාරය මගේ ඇඳටම ආවා. ජපන් මැන්ඩලීනයයි, මවුක් ඕගන් එකයි හපුතලේ හයිලන්ඩ් කොලීජියෙදි හමුවුණු මිතුරන්.’ 

අපේ හද දිනූ ජනකාන්ත ගීත රචක කරුණාරත්න අබේසේකරයන් ඔහුගේ එකම පුතු උපන් පසු ලත් සංකල්පනාවක් මත 1969 දී සිළුමිණ පුවත්පතට ලියූ ගී පෙළක් ඇසුරෙන් ක්ලැරන්ස් තනුවක් යොදා ගායනා කළ ‘දිලීප පොඩි පුතු’ යන ගීය ක්ලැරන්ස්ගේ ප්‍රථම ඒකල ගායනය වුණා. ඒ ගීය තවමත් මගේ හද දිනූ ගී පොකුරේ මුලම රැඳී තිබෙන්නක්. එය ඇසෙන හැමවිටම ඒ පද වැල ලියූ ‘කරු අයියා’ට සමීප වීමට මට අවස්ථාව ලැබෙනවා. ක්ලැරන්ස්ගේ ඒ වදන් ඇහෙන විට කරු අයියාගේ හද ගැස්ම මට දැනෙනවා. ‘දිලීප පොඩි පුතු සනීපයට නිදි, මවගේ උකුල් යහනේ - කුමාරයාණනි, මගේ කිරුළ හිමි - ජීවන රජ දහනේ, පරෙවි දෙපා වැනි - සුලලිත කෝමල සුමුදු ටිකිරි දෑතේ - පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත මා නොලියුව ගීතේ’ යනුවෙන් ආ ඒ අපූරු පද වැල කරු අයියාගේ හදපත්ලෙන් ම ආ එකක් වගේම, ක්ලැරන්ස් සිය මුල්ම ඒකල ගීය ලෙස මුළු හදින්ම ගැයූවක්. අදත් දිලීප අබේසේකර රසවතා කවි, ගී ආදියෙහි රස විද්‍යුත් මාධ්‍ය ඔස්සේ බෙදා දෙනු දකින විට මට ඒ ගීය මතක් වෙනවා. 

ගීත රචනයට ක්ලැරන්ස් දැක්වූ ප්‍රතිභාව ඔහු සතු වූ විවිධ හැකියාවන් අතරින් සියල්ලටම ඉහළින් කැපී පෙනෙනවා. ඔහුගේ වදන් සරලයි. සුගමයි. මිහිරියි. තැනට උචිතයි. අරුතින් සපිරියි. එක්වරක් ඇසූ පමණින් ඉතාමත් පහසුවෙන් මතක තබා ගත හැකියි. නිදසුනක් වශය‍ෙන් ඉන්ද්‍රාණි පෙ‍ෙර්රා කරළියට ගෙනා ‘දිල්හානී දියනී’යන ගීය දක්වන්න පුලුවන්. එය ‘දිලීප පොඩි පුතු’ ආරෙට ලියූවක් වුනත් ඒ පදවැල ක්ලැරන්ස් ගේ නිර්මාණ කුසලතාව කියා පාන්නක්. ඒ ගීය ලියූවේ ක්ලැරන්ස් ආරම්භ කළ ‘ ද මූන්ස්ටෝන්ස්’ ගී කණ්ඩායමට නම දුන් ශ්‍රී සඟබෝ කොරයාගේ දියණියක් වූ දිල්හානී වෙනුවෙනුයි. 

ක්ලැරන්ස් තම එදිනෙදා ජීවිතයට බද්ධ වූ කරුණු මත ගී රැසක් නිර්මාණය කළා. ඒවා රසිකයන් තම ජීවිතවලට බද්ධ කර ගනිමින් රස වින්දා. ඒවා ජනප්‍රිය වීමට හේතුවත් එයයි. මේ බලන්න, ‘දුව මා වාගේ...නේද නෑ අම්මා වාගේ... දඟකාර දූ කාගෙ දෝ..’ ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ - මොකක් කියලාද දන්නේ එහෙ ගියෙත් නෑනේ’, ‘මලට බමරකු සේ - සිතට ඔබ එනවා - කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා . ඔබ සිනාසෙනවා’ මේ ගීය ආචාර්ය අමරදේවයන්ගේ පැසසුමට ලක්වුණා. 

‘ආදරේට කියන කතා බොළඳ වුනාට - සාගරයක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට’ යන්න ද ආදර ගීයක් ලෙස පහසුවෙන් අමතක කළ නොහැක්කක්. ‘දිනෙක මේ නදී තීරේ, දෙනෙත හමුවෙලා - පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා - ඔබට මා එපා වී යන නමුත්, වෙන්වෙලා - නොයයි මා පැතූ ඒ රුව, සිතින් ගිලිහිලා’ ඔහුගේ හැම වදන්වැලක් ම රසවත් පසුබිම් කතාවක් කියන්නකි. ‘හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා - සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා’, ‘අඳුර ඉරා සඳමිණි මේලාවේ - පබළු වලා ඉහිරුනු වේලාවේ - බඳුන පුරා අමරස වෑහීලා - බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා’, ‘මුතු මැණිකේ උදේ රැයෙන් - මුතු පොට සේ හිනාවෙයන් - හිමිදිරියේ සිත සපුරා හිනාවෙයන්කෝ’ මේ ගීය ඔහු බිරිඳ ශීලා රම්‍යදාස වෙනුවෙන් කළ එකක්. ඔහුගේ අභාවයෙන් පසු, ‘කිමද නාවේ ඇයි නාවේ’ ගීතය තමා වෙනුවෙන්ම කළ එකක් කියා හැඟුම්බර වුණු ශීලා ‘රත්තරං ක්ලැරා, ඔයා මට කතා කරනතුරු මං ඉන්නේ! දුක්වෙන්න එපා! මං ඔබ වෙත එනවා’ කියා කියූ කතාවක් ‘පරා’ගේ පොතේ එක තැනක එනවා. 

ක්ලැරන්ස් විවිධ පැති ඔස්සේ සමාජ කටයුතුවලටත් සම්බන්ධ වුණා. ඔහු ‘දෑසවන් දෑසේ’ ගීතයෙන් ළමයින්ට සිදුවන අසාධාරණකම් ගැන කතා කළා. ඔහු ‘සීගිරි රූ ළඳුන් පරදයි’ කියා රෑරැජිනියන්ට ගී කීවා. ‘කඳු ශිඛරින් වට සෙංකඩගල පුර’ ගීයෙන් දළදා මාලිගාවේ ඇතුන් ගැන කීවා. ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවන්ටත් ඔහු ගීයක් ගයා තියෙනවා. ඒ පිඟන් සංස්ථාවේ ආරම්භක උළෙලේදියි. 1975 ශ්‍රී ලංකාවේ පැවති නොබැඳි සමුළුව වෙනුවෙන් ඔහු ‘මහා බලවතුන්’ නම් ගීතය නිර්මාණය කළා. 1982 දී ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලද අවස්ථාවේ ඒ වෙනුවෙන්ම ඔහු ‘ටෙස්ට ක්‍රිකට් සුවනියර්’ යනුවෙන් ගීත ඇල්මයක් ද නිකුත් කළා. ඔහු සාර්ක් සම්මේලනය සඳහාත් ගීයක් නිර්මාණය කළා. ඒත් ඔහු කිසිවිටෙකත් දේශපාලනඥයන් පසුපස ගියේ නෑ. නිදහස් මිනිහෙක් ලෙස කොන්ද කෙළින් තියාගෙන වැඩ කළා. ඔහුගේ නිර්මාණයකට පණදෙමින් ඔහු සුමිතුරු මිල්ටන් මල්ලව ආරච්චි ගැයූ ‘තනිවී සිටින්නයි අදහස් කළේ ‘ යන ගීතයේ ‘මගෙ පාළු ලෝකයේ තනිවූ මෙමා - සක්විති රජුන් හමුවේ නැත හිස නමා’ යනුවෙන් ඔහු ඇමුණූ පද වැලට අනුවම ජීවත් වුණා. 

ශ්‍රී ලංකාවේ ගීත පටි ගත කිරීම සඳහා ප්‍රථම වරට මල්ටි ට්‍රැක් පටිගත කිරීමේ ක්‍රමය යොදා ගත්තේ ක්ලැරන්ස් විසින් ඔහු පුරෝගාමීව කටයුතු කළ සිංලංකා ශබ්දාගාරයේදීයි. සිංලංකා ලේබලය යට‍තේ නිකුත් වූ තැටි හා කැසට්වලට යොදා ගනු ලැබුවේ ඒ ක්‍රමයයි. ශ්‍රී ලංකාවේ නිකුත් වූ ප්‍රථම කැසට් පටිය වූ ‘එනිටයිම්-එනිවෙයා’ යන කැසට් පටියට ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුනෙත් ක්ලැරන්ස්. 

සිනමාවට හා රූපවාහිනියට ඔහු දැක් වූ දායකත්වය අති විශිෂ්ටයි. එහිදී ඔහුට වෙනත් රචකයන්ගේ ගීතවලට තනු නිර්මාණය කරන්නට සිදුවුණා. මුලින්ම ඔහුට චිත්‍රපටයක සංගීතය සපයන්නට ඉඩ සලසා දුන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ එච්. ඩී. ප්‍රේමරත්නයි. ඒ ඔහුගේ ‘සිකුරුලියා’ චිත්‍රපටයයි. ක්ලැරන්ස් සංගීත අධ්‍යක්ෂණය ප්‍රථම චිත්‍රපටය ද එයයි. එහි ආ ‘සිකුරු ලියා කොමළ ලියා’ ගීය අග්‍රගණ්‍ය සංගීත නිර්මාණයක් ලෙස අවිවාදයෙන් පිළි ගැනෙනවා. එය ගායනා කළේ අපේ අමරණීය ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරායි. අපේ මහා ගාන්ධර්වයා වූ අමරදේවයන් පමණක් නොව භාරතයේ කීර්තිමත් සංගීතඥයකු වූ නෞෂාඩ් ද එම ගීය පැසසූ බවට වාර්තා වෙනවා. ඒ චිත්‍රපටයේ ආ අනෙක් ගීත අතර ඉන්ද්‍රාණි පෙරේරා ගැයූ ‘වසන්තයේ මල් කැකුළයි’, ජෝතිපාල සමග ඉන්ද්‍රාණි ගැයූ ‘මල්සර හදකට තුරුවෙලා’ යන ගීත ද තවමත් ජනහද තුළ රැව් නැ‍ඟ‍ෙන බැව් කිවයුතු යි. 

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘ජනක සහ මංජු’ චිත්‍රපටයට ක්ලැරන්ස් ගැයූ ‘ලෝකේ ජීවත්වන්නට’ යන ගීතයක්, අපේ මහා ගායිකාව වූ ලතා වල්පොල සමග ක්ලැරන්ස් ගැයූ ‘සුවඳක් දැනේවි’ නම් ගීයත් තවමත් ගුවන් විදුලියෙන් නිතර ඇසෙනවා. 

එච්. ඩී. ප්‍රේමරත්නගේ ‘අපේක්ෂා’ චිත්‍රපටය සඳහා ක්ලැරන්ස් ගැයූ ‘සැණකෙළියේ’ ගීතයට අමතරව ඔහුගේ තනුවලින් රසවත් වූ මිල්ටන් පෙරේරා සමඟ ඇන්ජලීන් ගුණතිලක ගැයූ ‘කලක් ඇවෑමෙන් පෙරුම්පුරා’ ගීතයත්, ඇන්ජලීන් තනිව ගැයූ, ‘ඔකඳ වෙලා - සිත ඔකඳ වෙලා’ ගීතයත්, ජෝතිපාල හා සුජාතා අත්තනායක යුගලය ගැයූ ‘සොඳුරු ලොවට මල් වැහැලා’ ගීතයත් අමතක නොවන නිර්මාණ ලෙස හඳින්විය හැකියි. 

ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය පෙරට ආවේ නෙවිල් ප්‍රනාන්දුගේ ‘ලෙ කැබලෙරෝස්’ වලින් වුවත්, එය පුළුල් ලෙස ජනතාව අතරට ගෙන ගියේ ක්ලැරන්ස් විජේවර්ධනයි. ඔහු ඉන් නොනැවතී සිංහල ගීයට නව මුහුණු වරක් දුන්නා. පෙර’පර දෙදිග සම්ප්‍රදායන් මුසු කොට ඊට නව ආරක සංගීතයක් එක්කළා. ඔහුගේ ගීත නිර්මාණ ඔස්සේ දැවැන්ත ගායක පරපුරක් ද ජයකෙහෙළි නැංවුවා. ඒ අතර ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රාණි පෙරේරා, අනිල් භාරතී, වර්නන් පෙරේරා, සමන් ද සිල්වා, මරියසෙල් ගුණතිලක, මිල්ටන් මල්ලවආරච්චි ඉන් කීප දෙනෙක්. අද රියැලිටි තරගවලට එන නවක ගායක ගායිකාවන් ගයන්නේත් ඔවුන් උපදින්නටත් පෙර ක්ලැරන්ස් නිර්මාණ කළ ඒ ගීත සමුදායයි. 

ක්ලැරන්ස්ගේ ගීයක් ගයනු දැක ගන්න, පහත වීඩියෝව බලන්න!

දසක තුනක් තිස්සේ ඔහු ඉදිරිපත් කළ ගීත නිර්මාණ සෑම මංගල උත්සවයකදීමත් අපට අසන්නට ලැබෙනවා. මේ බලන්න! ‘ රන් දුනුකේ මල සේ - රන් මල සේ සැරසී - පතිකුලයේ කුමරා ඇය කැන්දා යනවා - සුදු සේල ගතේ එතුනා - ගෙල මාල හතක් බැඳුනා - රස විහිළු කතා ඇසුණා - මුව කෝල සිනා පිපුණා’ මේ ගීය තවත් පරම්පරා ගණනක් අපේ මංගල උත්සව සරසනවා නිසැකයි. 

ක්ලැරන්ස් ගැන සිහිපත් කරන හැමවිටම මගේ මතකයට නැ‍ඟ‍ෙන එක්තරා සිදුවීමක් තියෙනවා. එය හැටේ මුල හරියේදි සිදුවූවක්. තැන, රත්නපුර ගඟබඩ සීවලී මහා විද්‍යාලයේ රැස්වීම් ශාලාවයි. එකල සරසවි‍ය පුවත්පතේ සේවය කළ මා, සති අන්තයක රත්නපුරයට ගිය අවස්ථාවක හැන්දෑ යාමයේ සීවලියට ගොඩ වැදුණේ ඒ වේලාවෙහි මපියා එහි කාර්යාලයේ සිටිනා බව දන්නා හෙයින් ඔහු හමු වීමටයි. එහෙත් ඔහු එහි සිටියේ නැහැ. සිටියේ විදුහලේ සංගීත ගුරුවරයා වූ රත්නසේකර මහතායි. දුටු විගස ඔහු මා හඳුනාගෙන කතා බස් කළා. ඔහු සිටියේ ළමුන් පිරිසකට සංගීත පන්තියක් පවත්වමිනි. අපි කතාබස් කරමින් සිටි අතර එවකට මගේ වයසේ තරු‍ණයෙක් ඇතුළට ආවා. ඔහු ගුරුතුමාට හිසින් ආචාර කරමින් ඔහු පසු කර ගොස් සාලාවේ ඈත කෙළවර මුල්ලක තමා අතේ පසුපසට කර ගෙන ගෙනා යමක් සීරුවෙන් තබා ඇවිත් ගුරුතුමාට වැන්දා. ‘හරි එහෙනම් ගිටාරය අරන් පටන් ගන්න.’ ඔහු ඊට යොමු කළ අතර ගුරුතුමා මා වෙත හැරුණා. 

ඔහු ගෙනා පත්තර කඩදාසියක එතූ දෙය මගේ කුහුලට හේතුවුණත් ඒ ගැන ප්‍රශ්න නොකළත් මගේ හිත කියවන්නට තරම් දක්ෂයකු වූ ගුරුතුමා අවශ්‍ය උත්තර සියල්ල කෙළින්ම දුන්නා. ‘එයා ගිටාර් ඉගෙන ගන්න එනවා. මගේ පන්තියෙන් පස්සෙ. මං කාගෙන්වත් උගන්නවට සල්ලි ගන්නේ නෑ. විනෝදෙට කරන්නෙ. අර ගෙනාවෙ ගුරු පඬුරු. මං එපා කිව්වට අහන්නෙ නෑ. මට රෑට ගන්න කියලා ගේනවා. මිනිහා කටේවත් තියන්න නෙ නෑ.’ ගුරුතුමා කීවා. ඔහුගේ කටයුත්තට ඉඩදී යන්න හැරුණු මා පසුපස ආ රත්නසේකර මහතා කීවේ ඒ ගැන මපියාට නොකියන ලෙසයි. ‘මේ ළමයා ක්ලැරන්ස් හරිම දක්ෂ ළමයෙක්. බටුගෙදර ඉඳලා එන්නෙ. අනාගතයෙදි ඔයාලට සරසවිය පත්තරේට මෙයා ගැනත් ලියන්න වේවි’ ඔහු එදා කී හැටි මට අද වාගේ මතකයි. 

එදා රත්නසේකර සර් කී ආකාරයට කෙටි කලකින් ම ගීත ලෝකයේ හිණි පෙත්තටම නැග්ග ක්ලැරන්ස් එදා කටේවත් නොතිවූ මධුවිත පසුව ළං කර ගත්තා. මධුවිත නිසාවෙන් හටගත් රෝග සංකූලතාවලින් හා මධුමේහයෙන් පෙළුණු ඔහු අවසානයේ නොසිතූ මොහොතක සංගීත ලෝකය තුළ මහා හිඩැසක් නිර්මාණය කරමින් අප අතරින් වෙන් වී ගියා. ඔහු ඇති කළ ඒ හිඩැස වසර 24කට පෙර ඔහු කළ නිර්මාණවලින් තමයි තවමත් පිරවෙන්නේ. 

ක්ලැරන්ස්ගේ ගීත තමයි, අන්තර්ජාලයේ වැඩියෙන් ම අසන්න දකින්නට තියෙන්නේ. ඔහු ගීත පදමාලා හා ඔහු ගැන ලියවුණු පුවත්පත් ආදිය ඔහුගේ දියණිය වූ අමිලාත් මව ශීලාත් ආදාරයෙන් ආරක්ෂා කරනවා. ඇය දැන් මවත් සමග ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙනවා. 

- පර්සි ජයමාන්න 

ප.ලි. ඔබට ක්ලැරන්ස්ගේ ගීත යූටියුබ් එකේ ඇති පදම් තියෙනවා. ඒත් ඔහුගේ පද හා ස්වර නිර්මාණ කීපයක් වෙන වෙනම අහන්න කැමති නම් ගී පැදුර ‘බ්ලොග්’ එකට යන්න! මේ විධියටයි එහි සඳහන් වෙන්නේ. 

ඔහුගේ නිර්මාණ සාගරයෙන් ඇබින්දක් ගී පැදුරේ අඩංගුයි. 

 ක්ලැරන්ස් විජේවර්ධන මහතා ලියූ ගීත- 

https://geepadura.blogspot.com/search/label/L%20-%20ක්ලැරන්ස්%20විජේවර්ධන 

ක්ලැරන්ස් විජේවර්ධන මහතා සංගීතවත් කළ ගීත- 

https://geepadura.blogspot.com/search/label/M%20-%20ක්ලැරන්ස්%20විජේවර්ධන 

ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගැයූ ගීත- 

https://geepadura.blogspot.com/search/label/ක්ලැරන්ස්%20විජේවර්ධන

Post a Comment

2 Comments