වසර 16කට පෙර අප මුහුණ දුන් සුනාමියෙන් සිහියට ආ විස්මිත අත්දැකීම්!

මීට වසර 16කට පෙර ශ්‍රී ලංකාවේ අපට සුනාමියක් ආවේ ය. ඒ 2004 දෙසැම්බර් 26 වැනිදාය. එතෙක් අප සුනාමියක් අත්දැක තිබුණේ ප්‍රවාදයක් හා ජාතක කතාවක් ඔස්සේ පමණ ය. ප්‍රවාදය ඓතිහාසික ය. ඒ කැලණිතිස්ස රජ දවස වරදවා වටහා ගැනීමක් නිසා රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක ගිල්වා මරා දැමීම හේතුවෙන් මුහුද ගොඩ ගැලීම ය. එදා ඇති වූ සුනාමියට අවසන් කරන්නට ඒ රජුගේ දියණියවූ විහාර දේවියට මුහුදට බිලි වීමට සිදු විය. ඒ සිදුවීම සිහිපත් කරන චිත්‍රයක් කැලණි විහාරයේ බිතුසිතුවම් අතර තිබේ. 

අනෙක් සිදුවීම අපට අසන්නට ලැබුණේ සමුද්ද වානිජ ජාතකයෙනි. ඒ කතාව එන්නේ එක්තරා දූපතකිනි. ඒ දූපතේ වාසීන් දුශ්චරිතයට බර වීම නිසා දෙවියන් කෝප වී මුහුද ගොඩ ගැලීමට සලස්වා තිබේ. එහිදී පළමු උදම් රළ කළ අනතුර බාර ගෙන සුචරිතවාදී වැසියන් ආරක්ෂක ස්ථානවලට ගිය අතර එය පිළි නොගත් දුශ්චරිත වාසීන් තමන් කරමින් සිටි වැඩවල නිරතව සිටි අතර පෙර උදම් රළට වඩා උසින් ආ දෙවැනි උදම් රළ ඒ මිනිසුන් සියලු දෙනාම ගිල ගත්තේ ය. 

තිනෙත්ගේ මාපියන් වූ නිලන්ති හා නලින් දසනායක යුවල, ඔවුන්ගේ පුතු සමඟ...
ඔහුට විශිෂ්ටතම ආනන්දීය සිසුවාට හිමි සම්මානය ලද මොහොතේ.

මෙවර අපට ලැබුණු සැබෑ සුනාමි අත්දැකීම අපේ මුළු සමාජයම සසල කරවීමට සමත් විය. දූපතක් වූ අපේ රටේ මුහුදුබඩ පෙදෙස් වැඩි හරියකට එහි බලපෑම ඉතා දරුණු ලෙස එල්ල විය. 40,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි විය. ඒ අතර වෙරළාසන්න පහත් බිම්වල ජනතාව පමණක් නොව නත්තලට පසු එළඹුණු බොක්සිං දිනයේ සති අන්ත නිවාඩුව අල්ලා ගෙන විනෝදය පිණිස දකුණේ වෙරළබඩට ගිය පිරිස්ද වූහ. එදා ඔවුන් ඉරණම සොයා ගිය දිනය විය. ඉන් බොහෝ දෙනෙක් මෙලොව හැර ගියහ. ඉතිරි වූ අය ඒ බියකරු අත්දැකීම අපට දිවි ගලවා ගත්හ. 

සුනාමියේ අත්දැකීම් මත කෙරුණු නිර්මාණ රැසක් ද බිහි විය. නවකතා, යොවුන් නවකතා, කවි, ගීත ගණනාවක් අපට රස විඳින්නට ලැබුණේ ය. ආචාර්ය සෝමරත්න දිසානායක අතින් ‘සුනාමි’ නමින් චිත්‍රපටයක් නිර්මාණය කෙරිණ. එය දරු සෙනෙහස පිළිබඳ අනුවේදනීය කතාවක් විය. එවැනි තවත් කතාවත් අශෝක හඳගමගේ සිනමා සිත්තමක් ලෙස ආවේ ය. 

ඒ අතරින් සුවිශේෂ නිර්මාණයක් වූ ටෙලි මාලා නාටකයක් ද අශෝක හඳගම අතින් බිහි විය. එය නම් කර තිබුණේ ‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන...’ යනුවෙනි. කුඩා ටෙලි මාලා නාටකයක් වූ එයින් කියැවුණේ 2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමියත් සමග නැගෙනහිර වෙරළබඩ පිහිටි ගම්මාන කීපයක විසූ විවිධ ආගම් ඇදහූ වැසියන් පිරිසකට හා ඒ වෙරළට විනෝද සවාරියක් සඳහා ගිය තරුණ වෛද්‍යවරයකු ඇතුළු පිරිසකට මුහුණ දීමට සිදු වූ අත්දැකීමකි. ඉතා අපූරු නිර්මාණයක් වූ එය 2006 වසරේ හොඳම රූපවාහිනි මාලා නාටකයට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ගත්තේය. වර්තමානයේ අප මුහුණ දී සිටින ජනවාර්ගික අර්බූදයත් ආගමික මතිමතාන්තරවල ඇති විෂමතාත් විග්‍රහ කරමින් ජන විඥානය තුළ සංහිඳියාව ඇති වන ආකාරයේ පණිවිඩයක් ‍ගෙනාවේ ය. එපමණක් නොව එය ටෙලි හා සිනමාවේදය හදරන අයට ගුරුහරුකම් සපයන ප්‍රශස්ත නිර්මාණයක් ද විය. 

එදා උදේ සුනාමිය කළ හදිය ගැන වාර්තා කරන්නට ගිය ජාතික රූපවාහිනි කණ්ඩායම ගෙනා රූපමය වාර්තාව නරඹමින් සිටි මගේ මිතුරෙක් එදා රාත්‍රි හතේ පුවත්වලින් පෙන්වූ, සුනාමියෙන් දිවි ගලවා ගෙන පන්සල්වල රැඳී සිටි පිරිස් අතර තම කුඩා මුණුබුරා වැනි කෙනකු සිටිනු දැක එවේලේ ම මට කතා කොට එය සැක හැර දැන ගැනීමට උදවු ඉල්ලී ය. 

‘අද මේ දැන් රූපවාහිනියෙන් පෙන්නුවා සුනාමියට අහුවෙලා ගැලවුණු ළමයි වගයක්. ඒ අය අතර මගේ මුණුබුරා වගේ කෙනෙක් හිටියා. මගේ දුවයි, බෑණයි, පුතයි කෝච්චියේ නුවර යනවා කියලයි ගෙදරින් ගියේ ඒ නිසයි, මට මේක සැක හැර දැන ගන්න ඕනෑ’ මිතුරා කීවේ ය. 

මම එවේලේ ම රූපවාහිනියේ මා දන්නා හඳුනන අයකුට කතා කොට ඔහුට උදව් කරන ලෙස ඉල්ලා සිටියෙමි. එවේලේ ම රූපවාහිනියට ගොස් මගේ මිතුරා හමු වීමට ඔහුව යැව්වෙමි. 

පසුව මට දැන ගන්නට ලැබුණු අන්දමට නුවර යන්න ගිය ඔවුන් හදිසියේ තීරණය වෙනස් කොට ගාලු ගිය බවත් සුනාමිය එන අවස්ථාවේ ඔවුන් ගිය දුම්රිය තිබු‍ණේ පෙරෑලි‍ය හරියේ ය. මුහුදු රළ පහර ඉතා වේගයෙන් ගොඩට ගලා එනු දැක දුම්රිය පෙට්ටි ඇතුළේ සිටි අය කලබල වී තිබේ. ඒ කලබලය අස්සේ ඒ දුම්රිය පෙට්ටියේ ගිය විශ්‍රාමලත් දුම්රිය රියැදුරෙක් දුම්රිය පෙට්ටියේ වහලයේ වූ කවුළුවක් විවෘත කර මේ කුඩා දරුවා එහි වහලය මතට නංවා තිබේ. දුම්රිය මැදිරි තුළ සිටි සියලුම දෙනා ජීවික්ෂයට පත් වූ අතර මේ දරුවාගේ පමණක් දිවි ගැලවී තිබේ. දෙමාපියන් අහිමි වූ දරුවා පසුවදාම එහි ගිය සීයා විසින් හඳුනාගෙන කොළඹ ගෙනා අතර පසුගිය වසරේ උසස් පෙළ විභාගයෙන් ඉහළින් ම සමත් වූ බව ඔහුගෙන් දැන ගන්නට ලැබුණි. 

ඒ වගේම සුනාමියට අසුවී දිවි ගලවා ගත් දරුවකුගේ පුවතක් බීබීසී මුල් පිටුව වෙබ් අඩවියේ පළ විය. ඔහු තිනෙත් ජයසූරියයි. අද ජයවර්ධනපුර සරසවියේ උපාධි අපේක්ෂකයකු වන තිනෙත්ගේ සුනාමියට හසුවන අවස්ථාවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමුවන ශ්‍රේණියේ ඉගෙන ගත් දරුවෙකි. තිනෙත් දෙමාපියන් සමග 25 වැනිදා හම්බන්තොටට ගියේ ලුණු ලේවායන් බලන්නටයි. පසුවදා උදේ ඒ සඳහා යන්නට හිතාගෙන ඔවුහූ එහි හෝටලයක නැවතුනාහ. තිනෙත්ගේ මව නිලන්ති ඒ කතාට බීබීසියට කීවේ මෙසේය. 

"අපි හෝටලයේ තුන්වන තට්ටුවේ හිටියේ. අපි පඩිපෙළ බහින්න කලින් දුවයි, පුතයි අනිත් දරුවෝ ටිකයි ඇහුවා ‘අපි පඩිපෙළ බහින්නද’ කියලා. නැතිවුණු අක්කලා දෙන්නත් එක්ක තමයි, දරුවෝ පහළට බැස්සේ" ඇය සිය සැමියා සමග ඇය හෝටලයේ පහළ මාලයේ පිහිටි පිළිගැනීමේ කවුන්ටරය දෙසට එන විට සුනාමි රළ පහරට දරුවන් ඇතුළු සියලු දෙනා ගසාගෙන ගොස් තිබුණි. 

"කොහොමහරි දරුවෝ දෙන්නා හොයාගන්න කියලා හිතාගෙන අපි හැමතැනම ඇවිද්දා. අපි හම්බන්තොට රෝහලේ ඉඳගෙන ඉන්න කොට පුදුම විදිහට මළ සිරුරු ගෙනාවා. ඒවා ගේන ගේන සැරයට අපි දෙන්නා කරන වැඩේ ගිහිල්ලා ළමයින්ගෙ මූණු බලනවා. එදා රෑ වෙනකම් දරුවෝ දෙන්නගෙන් කාවත් හමුවුණේ නෑ," 

2017/2018 කාලේ දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා 
ලෙස කටයුතු කළ ඔහු, 2018 වසරේ දී විශිෂ්ටතම ආනන්දීය සිසුවාට 
හිමි සම්මානය ද හිමි කර ගත්තේය

ලුණුගම්වෙහෙර රෝහලට ද ළමුන් ගෙනවිත් ඇති බවට ලද ආරංචියකට අනුව ඔවුන් පසුවදා එම රෝහලට ගියහ. එහිදී දියණියගේ සිරුර හමුවී තිබේ. දියණියගේ සිරුර එහිම තැන්පත් කොට ඔවුන් කළේ දිගට ම එහි නැවතී පොඩි පුතාව සෙවීම ය. 

"අපි ආපහු හම්බන්තොට රෝහලට ගියා. එතන ඉස්සරහ හිටපු පොලිසිය රාලහාමි කෙනෙක් කිව්වා ඔන්න අදත් ළමයෙක් ගෙනාවා, ගිහින් බලන්න කියලා. අනේ අපි යනකොට පුතා ඉන්නවා. මොන ඇඳුමවත් නැතුව. අපිට ඇති වුණේ පුදුම සතුටක්. දරුවො දෙන්නම නෑ කියලා හිතාගෙන ඉන්න කොට එක්කෙනෙක් හරි හමුවුණානේ," යනුවෙන් තිනෙත්ගේ මව බීබීසියට පවසා ඇත. 

තිනෙත් සුනාමියට ගසාගෙන යන විට ඔහු අවුරුදු හයක කුඩා දරුවෙකි. සුනාමි රළ පහරට ගසාගෙන ගිය ඔහු නතර වී තිබුණේ හම්බන්තොට මහ ලුණු ලේවාය තුළ යි. ඔහු කියූ කතාව මෙසේ ය. 

"මාව සුනාමියට අහුවෙලා ගස් අස්සෙන්, වාහන අස්සෙන් ගහගෙන ඇවිල්ලා නතර වුණේ ලේවායේ. ඊට පස්සේ කොටයක් අල්ලාගෙන මම දවස් එකහමාරක් ලේවායේ හිටියා. මිනී ගොඩගන්න ආපු කට්ටියක් තමයි, මාව බේරා ගෙන එයාර් ෆෝස් එකේ අංකල් කෙනෙකුට භාර දීලා හම්බන්තොට රෝහලට ඇතුළත් කළේ" 

තිනෙත් පවසන ආකාරයට ලේවායට ගසා ගෙන පැමිණි පසු කොටයක් මත නැග දින එකහමාරක් සිටින විට ජල මට්ටම ඔහුගේ නාසයට ආසන්න වී තිබේ. වතුරේ ගසාගෙන ගිය කොටුවක් අල්ලාගෙන ඔහු වරින්වර ජල මට්ටම මැන බලා ඇත. 

"ඒ දවස්වල අපේ ගෙදර ටීවී තිබුණේ නෑ. අපි රේඩියෝ ඇහුවා පොත් පත්තර කියෙව්වා. ඒ දවස්වල අපිට අම්මා කියා දෙමින් හිටපු කතාව තමයි රුබින්සන් කෘසෝ. ඉතිං මට හිතුනෙ මාවත් රුබින්සන් කෘසෝ වගේ වෙනත් දූපතකට ගහගෙන යයි කියලා," යනුවෙන් තිනෙත් සුනාමි අත්දැකීම විස්තර කළේය. 

සුදු පැහැති කුරුල්ලන් පැමිණ හම්බන්තොට මහලේවායේ පාවෙමින් තිබූ මළ සිරුරු ආහාරයට ගත් බවත් ඔහුගේ මතකයේ ඇත. ඒ වන විට තිනෙත් ජයසූරිය කොළඹ ආනන්ද විදුහලේ පළමු වන ශ්‍රේණියේ සිසුවෙකි. 

"එදා කොටේ උඩ පාවී පාවී ඉන්න කොට මට මතක් වුණා ලබන අවුරුද්දේ එකේ පංතියට ඇතුළත් වෙන නංගිලා මල්ලිලා පිළිගන්න කතාව පවත්වන්න තියෙන්නේ මට නේද කියලා. ඒ නිසා කොහොමහරි මැරෙන්නේ නැතුව ජීවිතේ බේරගන්න ඕනා කියන එකත් මට නිතර මතකයට ආවා," යනුවෙන් තිනෙත් පැවසුවේය. මෙවැනි අත්දැකීම් අතිමහත් රාශියකි. 

එදා අනේක විපත් කළ ද සුනාමිය නිසා අපට ලැබුණු වාසි රැසක් ද තිබේ. එයින් ඇති වූ ලොකු ම වාසිය අපේ රටේ විවිධ ආපදාවලට දී ජනතාවට පිහිටවීම සඳහා නව ආපදාකරණ මධ්‍යස්ථානයක් හා අමාත්‍යාංශයක් වෙනමම ලැබීමය. මේ පසුගිය වසර 16 තුළ ඇති වූ නායයාම්, ජල ගැලීම් වැනි විවිධ ආපදා අවස්ථාවල දී කඩිනමින් හා වඩාත් ඵලදායී අයුරින් ජනතා සේවයක් ඉටුකිරීමට එයින් ඉඩ සැලසුණේ ය. එපමණක් නොව අනාගත සුනාමි ආපදා පිළිබඳ පූර්ව දැනුම් දීම සඳහා විශේෂ කුලුනු 77ක් පිහිටුවා ඇත. ඒ වගේ සුනාමි තත්වයක් ඇකි වුවහොත් ඊට මුහුණ දීම සඳහා දිස්ත්‍රික්ක 25හේම ජනතාවට පූර්ණ පෙරපුහුණුව ලබා දී තිබේ. 

- පර්සි ජයමාන්න


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments