අලුත් මකුළු විශේෂ 104ක් ලෝකයට හඳුන්වා ශ්‍රී ලංකාවේ ‘ස්පයිඩර් මෑන්’!

‘ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති මකුළු වර්ග 596ක් ඉන්නවා. එයින් සියයට 90ක් පමණ ශ්‍රී ලංකාවට අවේණිකයි. අපේ රටේ තවමත් සොයා ගෙන නැති වර්ග සංඛ්‍යාව දැනට අප හඳුනාගෙන ඇති වර්ග වලට වඩා තුන්ගුණයක් විතර ඇති. ඒ නිසා මකුළුවන් ගැන පර්යේෂණ කරන අයට ඒ සඳහා විශාල ඉඩකඩක් තියෙනවා.’ මෙහෙම කියන්නේ මහනුවර හන්තානේ පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) සුරේෂ් පී. බෙන්ජමින් මහාචාර්යවරයායි. ඔහු ඒ ආයතනයේ පරිණාමය, පරිසර විද්‍යාව හා ජෛව විවිධත්වය පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියායි. 

සුරේෂ් පී. බෙන්ජමින් මහාචාර්යවරයා


කොළඹ දී උපන් ඔහු උසස් පෙළ තෙක් ඉගෙන ගත්තේ ඉසිපතන විද්‍යාලයෙන්. ඉන්පසු ඔස්ට්‍රියාවට ගිය ඔහු එරට ඉන්ස්බෲක් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති උපාධියත්, එයින් පසු ස්විට්සර්ලන්තයේ බාසල් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබා ගත්තා. පසුව තවදුරටත් ඉගෙන ගන්නට ඇමරිකාවට ගියා. එහි අධ්‍යාපනය සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු යළිත් ශ්‍රී ලංකාවට පැමිණ විද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියක මහාචාර්යවරයකු වශයෙන් ජාතික මූලික අධ්‍යයන ආයතනයට එක්වුණා. 

මහාචාර්ය සුරේෂ් සිය ආචාර්ය උපාධිය සඳහා තෝරා ගත්තේ ඉතාමත් ආකර්ෂණීය මාතෘකාවක්. ඒ මකුළුවන් ඔවුන්ගේ දැල් වියන ආකාරය පිළිබඳවයි. මකුළුවන් ගැන කළ පර්යේෂණ නිසා ඔහුට නව මකුළු වර්ග රැසක් ‍ලොවට හඳුන්වා දීමට හැකි වුණා. ඔහුගේ මුල්ම සොයා ගැනීම ආවේ දෙහිවල අත්තිඩියෙන්. ඒ 2010 වසරේදි. ඔහු මේ වන විට නව මකුළු විශේෂ 104ක් ලෝකයට හඳුන්වා දීලා තියෙනවා. එයින් විශේෂ 82ක් ම සොයා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙන්. 

ඔහු ශ්‍රී ලංකාවට ඒමට පෙර වසර විස්සක් විතර ලොව පුරා රටවල් ගණනාවකට ගොස් මකුළුවන් පිළිබඳව අධ්‍යයනය කරමින් ගත කළා. එසේ වෙනත් රටවල දී කරන ලද පර්යේෂණවලින් ඔහු නව මකුළු වර්ග 22ක් සොයා ගැනීමට සමත් වුණා. ඒ ඉන්දුනීසි‍යාවෙන් හතක්ද, මැලේසියාවෙන් තුනක්ද, ඉන්දියාවෙන් හතරක් ද, මැඩගස්කරයෙන් එකක්ද, බ්‍රසීලයෙන් හතරක්ද, ටැන්සානියාවෙන් දෙකක්ද, ඩොමිනිකන් රාජ්‍යයෙන් එකක්ද වශයෙන්. ඒ අතර ශ්‍රී ලංකාවෙන් තවත් නව මකුළු විශේෂ 50ක් පමණ හඳුන්වා දීමේ අවසන් අදියරේ පවතින බව ඔහු කියනවා. 

මකුළුවන්ට නම් දැමීම ප්‍රශ්නයක් වෙලා. ලෝපතල නවකතාකරුවන්ගේ පමණක් නොව ඊනිඩ් බ්ලයිටන් ලේඛිකාවගේ නවකතාවල එන චරිතවල නම් ද මේ නාමකරණයට යොදා ගත්තා.

‘මම ලෝකේ රටවල් ගණනාවකට ගොස් මකුළුවන් පිළිබඳව අධ්‍යයනය කළා. ඊට පස්සෙ මට හිතුනා ශ්‍රී ලංකාවට ඇවිත් මගේ දැනුමෙන් මේ රටට වැඩක් කරන්න ඕනෑ කියලා. ඒකයි මං ශ්‍රී ලංකාවට ආවේ’ එහෙම කියන මහාචාර්යවරයා මකුළුවන් පිළිබඳ අධ්‍යයනය කරන්න ඉන්න පිරිස අඩුවීම ගැන කනගාටුව පළ කරනවා. ‘ශ්‍රී ලංකාවේ කුරුල්ලන්, උරගයන්, උභය ජීවීන්, සමනලුන් ගැන අධ්‍යයනය කරන්න සැලකිය යුතු පිරිසක් එක්ව සිටියද මකුළුවන් හා කෘමීන් ගැන අධ්‍යයනය කරන්න කැප වුණු පිරිස ඉතාමත් අල්පයි. මෙවැනි පර්යේෂණවලින් ක්ෂණික ප්‍රතිඵල නොලැබීමත්, මේ සතුන්ගේ ගහනය වැඩි වීමත්, අනෙක් සතුන් තරම් ආකර්ෂණීය ලෙස නොදැකීමත් ඊට හේතු වන්න‍ට ඇති’ ඔහු ඒ ගැන කියනවා. 

‘මා එක්ක මකුළුවන් පිළිබඳව පර්යේෂණ කරන කණ්ඩායමට හත් දෙනෙක් විතර ඉන්නවා. ඉන් බාහිරව විනෝදාංශයක් ලෙස මේ කටයුත්තට එක්වුණු කීප දෙනෙකුත් ඉන්නවා. අප දැන් කරන පර්යේෂණ අනුව දැනට හඳුනා ගෙන ඇති මකුළු විශේෂ මෙන් තෙගුණයක් පමණ මෙරටින් සොයා ගැනීමට ඉදිරියේ දී හැකි වේවි.’ යයි කියන මහාචාර්ය බෙන්ජමින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ නව මකුළු විශේෂ ගැන හඳුන්වා දෙමින් කළ පර්යෝෂණ පත්‍රිකා හැරෙන්නට ලියැවුණු පොතපත අඩු බවයි. ඔහු කියන විධියට ඒකත් එක හේතුවක් මේ සතුන් ගැන උනන්දුව අඩු වීමට. ‘ස්පයිඩර් මෑන්’ ගැන උනන්දුව දක්වන අපේ දරුවන්ට මේ මහාචාර්යවරයා ගැන කියා දීමෙන් අනාගතයේ මේ උනන්දුව වැඩි කර ගත හැකි වෙතැයි මා සිතනවා. 

නව සොයා ගැනීම් ගැන පමණක් නොව මහාචාර්යවරයා සහ පිරිස මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාගාරයේ මකුළුවන් ඇති දැඩි කරමින් ඔවුන් යොදා ගෙන ඡායාරූප ඇතුළත් කොට ඔවුන් ගැන පූර්ණ විස්තර සහිතව පර්යේෂණ පත්‍රිකා පිළියෙල කරනවා, ඒවා අධ්‍යයනය කරන අයට පහසු වනු පිණිස. දැනට විශාල ප්‍රමාණයක් මෙසේ නැවත සකසා තියෙනවා. 

‘බොහෝ මකුළුවන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත්තේ උන් ජීවත්වන පරිසරය උන්ට අහිමි වීම නිසයි. මානව ක්‍රියාකාරම් සහ ස්වාභාවික ව්‍යසන නිසාද මේ වාසස්ථාන විනාශ වී යනවා. ආරක්ෂිත පරිසර පද්ධතිවල පවා මේ විනාශ වීම් සිදුවෙනවා.’ මහාචාර්යවරයා පෙන්වා දෙනවා. 

‘මීට වසර සීයකට විතර ඉස්සර ප්‍රංශයේ මකුළුවන් ගැන අධ්‍යයනය කළ අයකු හඳුන්වා දුන් මකුළු විශේෂයක් ශ්‍රී ලංකාවේ ඇත්දැයි මං අවුරුදු කීපයක් තිස්සේ සොයා බැලුවා. මගේ වාසනාවකට දවසක් නකල්ස් වනාන්තරයෙ දියපාරක් ළඟ ඒ මකුළු විශේෂය දැක්කා. එතැන හිටියෙ පුංචි පැටවු ටිකක්. මං ඉන් තුන් දෙනෙක්ව අරන් ආවා අපේ විද්‍යාගාරයට. පරීක්ෂණ සඳහා අපට අවශ්‍ය වන්නේ හොඳින් වැඩුණු සත්තු. ඒ අවස්ථාවේ දී ලොකු සත්තු හමුවුණේ නෑ. ඒ නිසා සති දෙකකින් විතර නැවත ගියා ලොකු මකුළුවන් සොයා ගෙන. ඒ වන විට ඒ හරියම නාය ගිහින් තිබුණා.’ ඔහු මකුළුවන් පිළිබඳ සිය අත්දැකීමක් විස්තර කළා. 

මකුළුවන් විශේෂ ගණනක් ම සොයා ගෙන ඇති මහාචාර්යවරයා දැන් අලුතින් සොයා ගන්නා මකුළු විශේෂවලට නම් දැමීමත් ප්‍රශ්නයක් සේ දකිනවා. ඔහු සිය ආචාර්යවරයා වූ මහාචාර්ය කොන්රඩ් තාලර් නමින් එක් මකුළු විශේෂයක් නම් කළා. මකුළුවන්ගේ පාට, කැපී පෙනෙන ලක්ෂණ හා ඔවුන් සොයා ගත්තු තැන් විතරක් නොවෙයි, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් පවා මකුළුවන් නාමකරණයට යොදා ගත්තා. මයිකල් ඔන්ඩච්චි නම් ලෝක ප්‍රකට නවකතාකරුවාගේ නමිනුත් ඔහු සොයා මකුළුවක් නම් කළා. සිංහරාජයෙන් ඔහු සොයා ගත්තු ලස්සන මකුළුවකුට ඔහු සිය බිරිඳ වූ දුෂානි බෙන්ජමින් කියා නම් කළා. ඊනිඩ් බ්ලයිටන්ගේ නවකතාවල එන චරිතත් මකුළුවන්ට නම් දමන්නට යොදා ගත්තා.

බෙන්ජමින් මහාචාර්යවරයා ක්ෂේත්‍රයේදී

‘අපි පර්යේෂණය සඳහා යොදා ගන්නා මකුළුවන්ගේ එකතුව තියෙන්නේ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ රසායනාගාරයේයි. පරීක්ෂණ අවසන් වුණාට පස්සෙ ඔවුන් අපි ජාතික කෞතුකාගාරයට බාර දෙනවා. මොකද අපි හැමදාම ඉන්නේ නෑනේ. කෞතුකාගාරය හැමදාම තියෙනවා’ මහාචාර්ය ඔහු හා සම්මුඛ සාකච්ඡාවක් කළ අවස්ථාවක දී බීබීසී සිංහල වෙබ් පිටුවට කියා තිබුණා. 

ලෝකය පුරා ම විවිධ මකුළු වර්ග 40,000ක් පමණ ඉන්නවා. බොහොමයක් මකුළු වර්ග සිල්ක් නූල් නිපදවනවා. ඒවායින් තමයි, ඔවුන් ගොදුරු අල්ලා ගැනීමට දැල් වියන්නේ. ඒ ගැන තමයි මහාචාර්ය බෙන්ජමින් ඔහු‍ගේ ආචාර්ය උපාධිය නිබන්ධය ලියා ඇත්තේ. 

අලුත් මකුළු විශේෂ හඳුන්වා දීමට අමතරව, මෙතෙක් හඳුනාගෙන ඇති මකුළු විශේෂ ගැන අඩු තොරතුරු සම්පූර්ණ කර පර්යේෂණ පත්‍රිකා සකස් කිරීමත් ඔහු කරන ලොකු මෙහෙයක් ලෙස අපි දකිනවා. බොහෝ දෙනකුගේ අවධානය යොමු නොවූ මේ මකුළුවන් ගැන මහාචාර්ය සුරේෂ් පී. බෙන්ජමින්ගේ ඇස හා හිත යොමු වීම ශ්‍රී ලංකාවේ මකුළුවන්ගේ වාසනාවක්, පමණක් නොවෙයි අපේත් අපේ අනාගත පරපුරේත් වාසනාවක්. ඔහු මේ කරන මෙහෙය වෙනුවෙන් අපේ කෘතවේදීත්වය පළ කිරීමටත්, සුබපැතුම් පිරිනැමීමටත් මෙය අවස්ථාවක් කර ගනිමු. 

- පර්සි ජයමාන්න


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments