HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලොව ලොකුම ධනවතා වූ ජෙෆ් බෙසෝස් මවිත කළ යසන්ත

අද මේ මොහොතේ ලෝකයේ ඉන්නා ලොකුම ධනවතා වන ජෙෆ් බෙසෝස් ඇමරිකාවේ වොෂින්ටන්හි ‘ද ඉකොනොමිස්ට් ක්ලබ්’ ආයතනයේ පැවති සාකච්ඡා‍වකදි අමුතු තාලේ හෙළිදරවුවක් කළා. ඊට අපේ අවධානය යොමු වුණේ ඔහු තමා එතෙක් ආ ගමන් මග ගැන කියමින් තමාට ගණිත ගැටලු විසඳා ගැනීමට උදවු කළ ශ්‍රී ලාංකිකයකු පිළිබඳව කෘතඥතා පූර්වකව කළ විශේෂ සඳහන නිසයි. 
ලෝකයේ ලොකුම ධන කුවේරයා ජෙෆ් බෙසෝස් සහ යසන්ත

අන්තර්ජාලය හරහා ව්‍යාපාරික කටයුතු කරන ලෝක ප්‍රකට ඇමසෝන් සමාගමේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් බෙසෝස් 2020 වසරේ ලොකුම ධනවතා ලෙසයි, ෆෝබ්ස් නම් ජාත්‍යන්තර ඇමරිකන් ව්‍යාපාරික සඟරාව 2020 අ‍‍‍‍ප්‍රේල් කලාපයෙහි ඒ පිළිබඳ විශේෂාංගයක් පළ කරමින් සඳහන් කර ඇත්තේ.. ඒ අනුව ජෙෆ් බොසෝස්ගේ ආදායම ඩොලර් බිලියන 194ක් ලෙස දක්වා තියෙනවා. ඔහුගේ දවසක ආදායම ඩොලර් මිලියන 321ක්. 

ජෙෆ් බෙසෝස් ඒ සාකච්ඡාවේ දී මෙසේ අදහස් දක්වා තියෙනවා. ‘අපට විසඳගන්න ගණිත ගැටලුවක් තිබුණා. පැයක් විතර මාත් මගේ යාළුවෙකුත් එක විසඳගන්න උත්සාහ කළා. ඒත් බැරි වුණා. ඊට පස්සෙ අප තීරණය කළා යසන්තව හම්බවෙන්න යන්න. එයා අපේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ එවකට හිටිය දක්ෂතම ශිෂ්‍යයා. එයා ශ්‍රී ලාංකිකයෙක්. එයා හරිම නිහතමානී කෙනෙක්. අපේ ගණිත ගැටලුව අපි එයාට පෙන්නුවා. එයා ටික වෙලාවක් ඒක දිහා බලාගෙන ඉඳලා පිටු තුනක් පිරෙන්න ඒකෙ විසඳුම ලියලා අපට පැහැදිලි කරල දුන්නා. මට ඒ වෙලාවෙ පුදුම හිතුන. මං ඇහුවා, යසන්ත ඔයා මේ දැන්ම හිතලද ඕක හැදුවෙ කියලා. අපිට අදහන්න බැරි වුණා ඒක විසඳපු වේගය ගැන. එයා අවුරුදු තුනකට කලින් මේ වගේ ගණනක් මං හදල තිබුණා. ඒක ගැන හිතල තමයි මේක ඒ විදියට හැදුවෙ කියලා. මම එදා තමයි තීරණය කළේ මට ඒ විෂය ගැළපෙන්නේ නෑ කියලා.’ 

ආචාර්ය යසන්ත රාජකරුණානායක 2016 දී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී

ජෙෆ් බෙසෝස් මවිත කළ මේ ශ්‍රී ලාංකිකයා ගැන හෙළිදරවු වුණු පසු බීබීසී සිංහල සේවය ඒ යසන්ත හොයා ගෙන ගියා. ඔවුන් පළ කළ විස්තරය ඇසුරෙන් තමයි, අපි මේ විශේෂාංගය සකස් කළේ. 

ඔහු නමින් යසන්ත රාජකරුණානායක. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියාහී ජීවත් වන ඔහු මීඩියා ටෙක් ආයතනයේ තාක්ෂණවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා ලෙසයි, කටයුතු කරන්නේ. එරට විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු ලෙසද සේවය කර ඇති ඔහු 2016 වසරේ ශ්‍රී ලංකාවට ආවා. ඒ ආවේ ශ්‍රී ලංකාවේ හිමිකම් බලපත්‍ර දෙපාර්තමේන්තුව සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගිවීමටයි. 

‘මගේ මුල් පාසල බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයයි. ඒක පෞද්ගලික පාසලක් නිසා පාසල් ගාස්තු ගෙවා ගැනීම, පාසල් ගුරුවරියක වුනත් මගේ මවට අසීරුවුණා. ඒ නිසා මට කීවා කෙසේ හෝ ශිෂ්‍යත්වය සමත් වී රජයේ පාසලකට යන්න උත්සාහ කරන්න කියා. ඒ නිසා මා ශිෂ්‍යත්වය හොඳින් සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයට යන්නට අවස්ථාව සලසා ගත්තා.’ යසන්ත අතීතය මෙනෙහි කළා. 

යසන්ත අම්මා සහ තාත්තා සමග

‘ඒ කාල‍ෙ අපි හිටියේ රත්මලානේ කඳවල පාරෙ නිවසකයි. රාජකීය විද්‍යාලයේදි වෛද්‍යවරයකු වීම සඳහා ජීව විද්‍යාව මා තෝරා නොගත්තේ ලේ දකින්නට ඇති අකමැත්ත නිසයි. කුඩා කාලේ මට ඇදුම තිබුණ නිසා දූවිලි එක්ක ඉන්න වෙන නිසා සිවිල් ඉන්ජිනේරුවකු වෙන්න එපා කියා මගේ පියා කීවා. ඒ නිසා ගණිත විෂයන්වලින් උසස් පෙළ හොඳින් සමත් වී කටුබැද්ද විශ්ව විද්‍යාලයට යන්න වරම් ලැබුවත් මට අවශ්‍ය වුණේ කෙසේ හෝ ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නටයි. එහෙත් එතෙර අධ්‍යාපනය ලබන්න වියදම් කරන්න තරම් මගේ දෙමාපියන්ට ශක්තියක් තිබුණේ නැහැ. ඒත් කෙසේ හෝ උත්සාහ කර එහි ශිෂ්‍යත්වයක් දිනා ගන්න මට හැකි වුණා. 

‘එහෙමයි මං ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයට ආවේ. ඒ වන විට තාත්තා ගණකාධිකාරිවරයකු විධියට මැදපෙරදිග රැකියාවකට ගොස් සිටිය නිසා මට කීවා ඇමරිකාවට යන්න කියල. ඇල්බට් අයින්ස්ටයින් වැනි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු උගන්වපු විශ්ව විද්‍යාලයකට යන්න ලැබීම ගැන මං හුඟාක් සතුටු වුණා.’ යසන්ත කියනවා. 

යසන්ත ඇමරිකාවට යන විට දක්ෂ ලෙස ඉංග්‍රීසි හසුරුවන්න හැකියාවක් තිබුණේ නෑ. ඒ වගේ ම ක්‍රීඩාවට දස්කම්පෑවෙත් නැහැ. අතිරේක ක්‍රියාකාරකම්වලට සහභාගි වුනෙත් නෑ. ඒ නිසා ඔහුට එතරම් මිතුරන් හිටියෙත් නෑ. ඒ අඩුව පිරිමහන්නට ඔහු කදිම උපායක් සොයා ගත්තා. ඒ විෂය දැනුම අඩු ශිෂ්‍යයන්ට නොවැටහුණු පාඩම් කියා දීමයි. ඒ අනුව ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ගෞරවයක් දිනා ගත්තා. කල්යත්ම ඔහු ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස නමක් දිනා ගත්තා. ජෙෆ් බෙසෝස් ඔහු සොයා ආවේ මේ පසුබිම තුළයි. 

‘ජෙෆ් මගේ ළඟට අරන් ආපු ගණිත ගැටලුවට සමාන එකක් ඊට කලින් මං විසඳලා තිබුණා. ඒ මතකය මට උදවු වුණා ඔහුගේ ගැටලුව ඉක්මනින් ම විසඳලා දෙන්න.’ කී යසන්ත වසර 34කට ඉස්සර සිදුවුණු ඒ සිදුවීම ආවර්ජනය කරමින් සඳහන් කළා. 

යසන්ත, බිරිඳ සහ දරුවන් දෙදෙනා

‘මං ඇත්තෙන් ම පුදුම වුණා, ජෙෆ් බෙසෝස් වගේ කෙනෙක් අවුරුදු 34කට ඉස්සර වෙච්ච දෙයක් මතක් කර මට ගෞරවය දක්වපු කතාවක් ඉන්ටර්නෙට් ඔස්සේ දැන ගන්න ලැබුණාම. එයා හරිම නිහතමානී ‍ඒ වගේ ම හොඳ මතකයක් තියෙන කෙනෙක්. විශ්ව විද්‍යාලයෙන් පස්සේ මට එයා හමුවුණේ නැහැ. ඒ වගේ පුංචි සිදුවීමක් මතක තියාගෙන ඉඳල මට කරපු ප්‍රශංසාව ගැන මගේ සතුට පළ කරල ඔහුට මම ඊ මේල් එකක් යැව්වා. ජෙෆ් එය කියවා ඔහුගේ සතුට පළ කරමින් මට පිළිතුරක් එව්වා.’ 

යසන්ත තමන්ගේ වෘත්තීය කටයුතු ගැන සඳහන් කරමින් මෙහෙම කියනවා. ‘1993 ඉන්ටර්නෙට් ඇවිත් ලෝක පෙරළියකට මග පාදන කොට මට හිතුනා. ඒකෙ කොටස්කරුවෙක් වෙන්න. ඒ නිසා මගේ දැනුමත් එක්ක කේබල් මොඩම් හදන සමාගමකට සම්බන්ධ වුණා. 1994 දි ලෝකයේ පළමුවැනි කේබල් මොඩම් ටෙස්ට් එක කළේ අපියි.’ කියන යසන්තගේ නමට මේ වන විට පරිගණක ඉංජිනේරු සහ දුරකතන සන්නිවේදන ඉංජිනේරු අංශවල නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත්‍ර 94ක් තියෙනවා. 

ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියාහී ජීවත්වන යසන්ත විවාහ වී සිටින්නේ ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් සමගයි. ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්. පියාගේ අඩි පාරේ යමින් පුතා රොබෝටික තාක්ෂණයට යොමු වී තියෙනවා. දුව පරිගණක ඉංජිනේරුවරියක්.

Post a Comment

0 Comments