HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වාහන තදබදය ඇති වෙලාවට අහසින් යන්න පුලුවන් කාරයක්!

ඉගිල්ලෙන්න පුලුවන් කාරෙකක් දැන් තනා තියෙනවා. බිම යන අතර වාහන තදබදයකට අහුවුණොත් මිනිත්තු තුනක් ඇතුළත පියාඹන්නට එයට හැකියාව තියෙනවා. නිෂ්පාදකයන් කියන විදියට පැයට සැතැපුම් 124ක වේගයෙන් සැතැපුම් 620ක් දුර එක්වරක් දමන ඉන්ධනවලින් යන්න පුලුවන් කියලයි ඔවුන් කියන්නේ. මිල ගැන සඳහනක් කර නැතත් මෙය ලබන වසරේ වෙළෙඳ පොළට එවන බවයි, නිෂ්පාදකයන් කියනවා. මේ යානය දැනටමත් අත්හදා බැලීම් ගමන් දෙකක් ස්ලෝවැකියාවෙදි සාර්ථකව කරලා තියෙනවා. 

ස්ලෝවැකියානු සමාගමක් නිපදවා ඇති අහසින් යා හැකි කාරය 
පියාසර කරන්නට පෙර එය මහමග නවතා පියාපත් විදාහරින්නට සූදානම්ව.

මේ අපූරු ගුවන් කාරය තැනූ අය කියන්නේ කාරයට මිනිත්තු තුනක් ඇතුළත ගුවන්යානයක් බවට හැරී ඉහළ යාමට පමණක් නොව අඩි 1500ක් ඉහළ අහසේ පියාසර කරන්නත් පුලුවන් බවයි. ක්ලෙයින් විශන් නම් ස්ලෝවැකියානු සමාගමක් තමා මේ අපූරු ගුවන් ක‍ාරය තනා තියෙන්නේ. එය ඔවුන් හඳුන්වා ඇත්තේ ‘එයාකාර්’ (AirCar) කියලයි. 

මේ අපූරු ‘එයාකාර්’යානය මහ මඟ යමින් තිබියදී මොහොතකට නතර වී ගුවන් යානයක් බවට පෙරළී අහසට නැඟ පියාසර කරමින් යන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් කර තියෙනවා. මෙය ඔවුන් නිපදවා ඇති මේ වර්ගයේ පස්වැනි ආකෘතියයි. මේ කාරය විවේකයට විනෝද ගමන් බිමන් යන අයට පූර්ණ ආස්වාදයක් ලබා දෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ ව‍ගේ ම ටැක්සි සේවයටත් මෙය හොඳින් යොදා ගත හැකි වේවි යැයි ඔවුන් විශ්වාස කරනවා. 

මේ ඒ සමාගම තැනූ පස් වැනි මාදිලියයි. මෙය විනෝදයට පදවන්න විතරක් නෙවෙයි, 
කුලී රියක් ලෙසත් යොදා ගත්තෑති.

මෙය සැලසුම් කර ඇත්තේ මහාචාර්ය ස්ටීවන් ක්ලේයින්, ඔහුට අයිති සමාගම වූ KleinVision වෙනුවෙන්. පසුගිය දා ස්ලෝවැකියාවේ පීස්ටැනි ගුවන්තොටුපළේ දී තමයි, මෙය සාර්ථකව අහසට නැඟුවේ. එයට සාමාන්‍ය මගී ගුවන් යානයක් යන තරම් ඉහළකින් පියාසර කිරීමට හැකි වුණා. 

සාමාන්‍යයෙන් කාරයක් කියන්නේ බරින් වැඩි දෙයක්. ගුවන් යානයක් යනු හැම විටම සැහැල්ලු දෙයක්. ඒ දෙකම සම බර කර ගැනීම ඔවුන්ට ලොකු අභියෝගයක් වෙන්න ඇති. මේ සඳහා යොදා ගෙන ඇත්තේ අශ්වබල 140ක් වූ ලීටර් 1.6ක බීඑම්ඩබ්ලිව් එන්ජිමක්. දෙදෙනකුට යන්න පුලුවන්. යානයේ බර රාත්තල් 2425ක්. වැඩිපුර රාත්තල් 440ක් ගෙනියන්නත් පුලුවන්. 

මේ යානයට අහසට නඟින්න අඩි 984ක් දුර ධාවන පථයක් ඕනෑ. අහසේ දී පැයට සැතැපුම් 124ක වේගයකින් පියාසර කරන්නත් පුලුවන්. ‘එයාකාර්’යානයට පියාසර කිරීම සඳහා ‍යොදා ඇත්තේ එක් ප්‍රචාලකයක් පමණයි. එය පසුපස සවිකර තියෙනවා. මහ මග යද්දී අත්තටු අකුලාගෙනයි යන්නේ. එවිට මේ යානය සාමාන්‍ය කාරයක් වගෙයි. මෙය සාමාන්‍ය රථගාලක ගාල් කරන්නත් පුලුවන්. 

අහසට නංවන්න නම් අඩි 984ක දුරක් ඇති ධාවන පථයක් අවශ්‍ය වෙනවා. 
පැයට සැතැපුම් 124ක වේගයෙන් අහසේ පදවන්න පුලුවන්.

බෝයිං යානා පිළිබඳ විශේෂඥයකු වූ ආචාර්ය බ්‍රැන්කෝ සාරාහ් මේ අපූරු යානය ගැන අදහස් දක්වමින් මෙහෙම කියනවා. ‘යානයේ වලිගය හා පියාපත් දිග හැරෙන හා අකුලන විදිය, ඒ කියන්නෙ අහස් යානයක් බවට පෙරළෙන හැටි, ඇත්තෙන්ම සිත්ගන්නාසුලුයි.’ 

‘පදවන්නාට හොඳ ඉඩකඩක් තියෙනවා. යන මගියාත් අපූරු විදියට අසුන් ගන්වා තියෙනවා. කාරකෙක් හැටියට මහ මග යන ආකාරයත් අහස් යානයක් ලෙස පියාසර කරන ආකාරයත් ඉතාමත් අලංකාරයි.’ ඔහු තවදුරටත් කියනවා. 

‘මෙහි දී පියාසර කිරීමට අදාළ පරාමිතීන් සියල්ල මා සම්පූර්ණ කළා විතරක් නොවෙයි, අවශ්‍ය සෑම ගණනය කිරීමක් ම න්‍යායානුකූලවයි කරලා තියෙන්නෙ.’ මෙහි නිර්මාතෘ මහාචාර්යවරයා කියනවා. ‘නීත්‍යානුකූලව අවශ්‍ය පියසැරි අත්හදා බැලීම් සියල්ල නිම කළාට පසු මෙයට වඩා බලගතු එන්ජිමක් සවි කරනවා. ඊට පස්සෙ ඉදිරි හයමාසය ඇතුළත මේක වෙළඳ පොළට එවන්න අපි සැලසුම් කර තියෙන්නෙ’. 

තවමත් මෙයට මිලක් නියම කර නැහැ. ලබන වසරේ දී මේ එයාකාරය 
අහසින් යනු ඔබට සැබැවින්ම දැක ගත්තෑකි.

මෙයට මහමග යන විට හැකිළිය හැකි පියාපත් තියෙනවා. සාමාන්‍ය කාරෙකක් වගේ රථගාලක ගාල් කරන්නත් පුලුවන්.

සියලු පරීක්ෂණවලින් සමත් වී වෙළඳ පොළට එවනකොට ම මෙය මිල දී ගන්න සූදානම් අයෙක් දැනටමත් ඉන්නවා. මේ සඳහා මුදල් යෙදවූ ඇන්ටන් සාජක් මේ යානය ගැන කියන්නේ මෙහෙම දෙයක්. ‘ඔබට මේ එයාකාරයෙන් ගුවන්තොටකටම යන්න අවශ්‍ය වන්නේ නෑ. කාර්යාලයට, සුපිරි වෙළෙඳසැලට ආදී ඕනෑම තැනකට එය බස්සන්න පුලුවන්. එහි රථගාලේ ගාල් කරන්නත් පුලුවන්. එහෙම නැත්නම් මහ මගදී බැහැලා කාරෙකක් වාගේ පදවා ගෙන යන්න පුලුවන්.’ 

- පර්සි ජයමාන්න  

එයාකාරය පියාසර කරන හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.

Post a Comment

0 Comments