පියදාස සිරිසේන
‘සිංහලයිනි! නැගිටිව්! බුද්ධගයාව බේරා ගනිව්’ යන ආදි කාහල නාද නගමින් දීප චාරිකාවේ යෙදී සිටින සමයෙක දේශනාවක් සඳහා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ඉඳුරුවේ පිරිමි පාසැලට ගියේය. රැස්ව සිටි සහශ්‍ර සංඛ්‍යාත නරනාරි ගණයා හට දේශනය පවත්වන්නට සැරසෙනවාත් සමගම වේදිකාව ඉදිරියට පැමිණියේ සොළොස් හැවිරිදි පමණ වයසැති ශිෂ්‍ය මානවකයෙකි. ඔහු කැනන්නූර් රෙද්දකුත් සුදු බැනියමකුත් ඇඳ සිටියේ ය. කොණ්ඩය බැඳ සිටියේ ය. නළල පුළුල් ය. නෙත් දීප්තිමත් ය. පැහැය රන්වන් ය.
‘මේ මොකද මේ?’ යි ළමයා දෙස බැලූ අනගාරිකයෝ විමසූහ.
‘කවි පෙළක් කියවන්න’ යයි මුල්ගුරු තෙමේ වහා හුනස්නෙන් නැගිට පිළිතුරු දුන්නේ ය.
‘හා හා ඔය කවි සින්දු සිලෝ ඕනැ නැහැ’
‘තමුන්නාන්සෙට ආශිර්වාද කරලා ඒ ළමයම හැදුව කවි පෙළක්’ යයි මුල්ගුරු තෙමේ යළිත් කීවේ ය.
‘හූම්!’
පේදිරික් සිල්වා පියදාස සිරිසේන වූ හැටි!
උච්ච උච්චාරණයෙන් හා ස්වර සංවරයෙන් යුක්තව ළමයා කවිපෙළ කීවේ ය. කියද්දීත් අවසානයේදීත් අනගාරිකයන් ගේ උවනත පහළ වී පැවතුණේ ප්‍රසාදයකි. ආනන්දයකි.
‘හ්ම්! බොහොම හොඳයි. බොහොම මිහිරියි’ ධර්මපාල තුමා පවසා ‘වයස කීයදැ?’ යි ළමයාගෙන් විමසුවේ ය.
‘අවුරුදු දහ දහතර යි!’
‘නම?’
'පේදිරික් සිල්වා’
‘ඔන්න වල් අලියා! කව්ද ඔය නම් දැම්ම ගොන් තඩියා?’ යයි අනගාරිකයෝ කෝපයෙන් ප්‍රශ්න කොට ‘උඹේ- උඹේ- උඹේ නම අද හිටන් පේදිරික් සිල්වා නෙවෙයි. පියදාස සිරිසේන! යයි නිගමනය කළේ ය.
මෙය වූ කලී ගතවුණු අර්ධ ශත වර්ෂය මුළුල්ලේ ම ස්වකීය අනනුකරණීය ප්‍රවෘත්ති පත්‍රකාවෙනුදු ග්‍රන්ථයන්ගෙනුදු, සභා වේදිකාවන්ගෙනුදු අස්වාභාවික වාග් චාතූර්යෙනුදු ලංකාවටත්, සිංහල ජාතියටත් සම්බුද්ධ ශාසනයටත්, සිංහල සාහිත්‍යයටත් අනුපමෙය අසදෘශ සේවයක් සිදු කළ පියදාස සිරිසේන මහතා පළමු කොට ම එ නමින් බව්තීස්ම වූ අවස්ථාව ය.
(හේමපාල මුනිදාසයන්ගේ ‘රසාවදානය’ ග්‍රන්ථයෙනි.)
සිංහල නවකතාවේ පියා ලෙස සැලකෙන පියදාස සිරිසේන නම් මහා නවකතාකරුවා උපන්නේ එදා ය. එදා පටන් කවි, කෙටිකතා, නවකතා, රහස් පරීක්ෂක කතා ආදී පුරෝගාමී කෘති රාශියක් ලියා පළ කළේ ඒ නමිනි. පුවත්පත් කතුවරයෙකු, ජාතිවාත්සල්‍යයෙන් හෙබි යුග පුරුෂයකු ලෙස 20 සියවස ආරම්භයේ දී ඔහු විවිධ අයුරින් කළ මෙහෙය සිදු කළේ සියදාස සිරිසේන නමිනි.
- පර්සි ජයමාන්න
0 Comments