HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අදට යෙදෙන ඉල් පසළොස්වක පොහෝ දිනය වැදගත් වන්නේ මක් නිසාද?

අදට යෙදෙන ඉල් පසළොස්වක පොහෝ දිනය, බුද්ධ සාසනයටත් බෞද්ධයන්ටත් ඉතා වැදගත් අතීත සිදුවීම් කීපයක් සිහිපත් කරවන දිනයක්. එය බෞද්ධ ඉතිහාසයෙහි දක්වා ඇත්තේ මෙසේය. මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලැබීම, ගෞතම බුදු න්වහන්සේ විසින් පළමුවරට ධර්ම දූත මෙහෙවර පිණිස භික්ෂූන් වහන්සේලා පිටත් කර හැරීම, සැරියුත් මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ආදී වශයෙනි. එසේ ම කඨින චීවර පූජාවේ අවසන් දිනය ලෙසත්, ලක්දිව ප්‍රථම ස්තූපය වූ ථූපාරාමය පිහිටුවීමත්, ඉල් පසළොස්වක පොහෝ දිනයෙහි වැදගත්කම දක්වා තියෙනවා.

මාතෘදිව්‍යරාජයා ඇතුළු සකල දිව්‍යවාසීන්ට අභිධර්මය දේශනා කොට ආපසු වැඩම කළ අවස්ථාව.

ආර්ය මෛත්‍රී හිමියන් මෙතේ බුදුවීමට විවරණ ලැබීම. 

මෙතේ බෝසතුන් උපන්නේ, සැවැත් නුවරට නුදුරු සංකස්ස නුවර මහාසාල කුලයක සිරිවඩ්ඪන මහා සිටුවරයාගේ පුත්‍රයා ලෙසයි. සියලු සිප්සතර උගත් මෙතේ බෝසතුන්ට මවුපිය අභාවයෙන් මහා ධනස්කන්ධයක් හිමි වූ අතර සිය පිරිවර සමග ඒ සියලු සැපසම්පත් සිටිය දී, ගෞතම බුදුන් වහන්සේ උන්වහන්සේගේ මෑණියන්වූ මහාමායා දේවීන් මෙලො‍වින් නික්ම, තව්තිසා දෙව්ලොවෙහි වැඩ සිටිද්දී ඒ මාතෘදිව්‍යරාජයා ඇතුළු සකල දිව්‍යවාසීන්ට අභිධර්මය දේශනා කොට ආපසු වැඩම කළේ සංකස්ස නුවරටයි. 

එහි දී උන්වහන්සේ පිළිගැනීමට පිරිවර සමග වැඩම කර සිටි සැරියුත් මහ රහතන් වහන්‍සේ, බුදුන් වහන්සේගේ දේවාවරෝහණ පූජාව පිළිබඳ ප්‍රශ්ණෝත්තර සාකච්ඡාවක් පැවැත්තුවා. ඊට සවන් දීමට මෙතේ බෝසතුන් පිරිවර සමග පැමිණ සිටියා. ඉන් පැහැදුණු මෙතේ බෝසතුන් සිය පිරිවර දහසක් සමග බුදුන් වහන්සේ වෙත ආර්ය මෛත්‍රිය නමින් පැවිදි වුණා. 

ආර්ය මෛත්‍රී හිමියන්ට මෙතේ බුදුවීමට විවරණ ලබා දීම

ඉන් පසු එළඹි වස් කාලය අවසානයේදී ආර්ය මෛත්‍රිය හිමියන් සිය දායකයන් විසින් පිරිනමන ලද උසස් තත්වයේ වස්ත්‍ර යුගලක් ගෙන ඉන් එකක් බුදුන් වහන්සේ වැඩ සිටි ගඳ කිළියෙහි වියනක් කොට පූජා කළා. අනෙක තීරු කොට ඉරා මහ වියන් වට කළ ආවරණයක් කොට පූජා කළා. මේ පූජාවෙන් පසු ගෞතම බුදුන් වහන්සේ, ආර්ය මෛත්‍රිය හිමියන් අමතා, ‘ස්ථවිරයිනි, නුඹ මේ මහා භද්‍රකල්පය ‍ තුළ මෛත්‍රී නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි’ යැයි බුදුවීමට විවරණ දුන් බව සඳහන් වෙනවා. 

එදා බුදුන් වහන්සේ පරිවාර සංඝයා අමතා දේශන කොට වදාරා ඇත්තේ ආර්ය මෛත්‍රීය හිමියන් අනාගත දඹදිව බරණැස කේතුමතී නුවර පහළ වන සංඛ නම් සක්විති රජුගේ පුරෝහිත බමුණාගේ පුත් අසිත ලෙස ඉපිද නිසි කල්හී ගිහිගෙයින් නික්ම පැවිදිව නා රුකක් මුලදී මෙතේ බුදුන් ලෙස බුද්ධත්වයට පත්වන බවයි. 

ප්‍රථම ධර්ම දූත මෙහෙවරට රහත් භික්ෂූන් හැට නමක් පිටත් කර හැරීම

ප්‍රථම ධර්ම දූත මෙහෙවරෙහි භික්ෂූන් යෙදවීම 

ඉල් පොහෝ දින සිදු වූ ඊළඟ වැදගත් කරුණ වන්නේ බුදුන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දූත මෙහෙය උදෙසා භික්ෂූන් යෙදවීමයි. බුදුන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයන් වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඇතුළු පස් වග මහණුන් ප්‍රමුඛ රහතන් වහන්සේලා සැට නමක් මේ ධර්ම දූත මෙහෙවරට එක් කර ගනු ලැබුවා. එය සිදු වූයේ බුදුන් වහන්සේ ඉසිපතනේ මිගදායෙහි වස් පවාරණය කළ අවසන් දිනයේදි, ඉල් පසළොස්වක පොහොයදාකයි. 

එදා ප්‍රථම ධර්ම දූත මෙහෙවර සඳහා නික්ම ගිය රහතන් වහන්සේලා සැට නම අමතා බුදුන් වහන්සේ වදාරා තියෙනවා. ‘මහණෙනි, බොහෝ ජනයාට හිත සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුනට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනකු ‍එකම මගක නොයන්න. මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, සියල්ලෙන් සපිරි, පිරිසිදු බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන්න! ලෝකයේ අල්ප කෙලෙස් ඇති සත්වයෝ වෙති. ඔවුහූ දහම් නොඇසීමෙන් පිරිහෙති. ඔවුහූ දහම් අවබෝධය කරන්නෝ වෙති. මහණෙනි, මමත් උරුවෙල් දනව්වේ සේනානි නියම්ගමට දහම් දෙසනු පිණිස යන්නෙමි.’ යැයි කියා උන් වහන්සේ ද තනිවම ඒ සඳහා පිටත් වුණා. 

ජටිල සහෝදරයන් තිදෙන ප්‍රමුඛ දහසක් දෙනා භික්ෂුත්වය ලැබූ හැටි 

බුදුන් වහන්සේ වැඩිය උරුවෙල් දනව්වෙහි සොහොයුරන් වූ ජටිල තවුසන් තිදෙනෙක් නේරංජනා ගංතෙර ආරම තනා ගෙන තවුස් දම් රකිමින් සිටියා. උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප නම් වූ ඒ තිදෙනාගේ ආරාමවල, උරුවෙල කාශ්‍යප සමග පන්සීයක්ද, නදී කාශ්‍යප සමග තුන්සීයක්ද, ගයා කාශ්‍යප සමග දෙසීයක් ද වශයෙන් දහසක් අනුගාමිකයන් ඔවුන් වෙත සිටියා. 

බුදුන් වහන්සේ මුලින් ම උරුවෙල කාශ්‍යප සිටි ආරාමය වෙත වැඩම කළා. ඔහු ඇතුළු පිරිසට දහම් දෙසුවා. එතෙක් මිථ්‍යා දහමක ගැලී සිටි ඒ පිරිස බුදු බණ අසා සසුන් ගත වුණේ ජටාමඬුලු සියල්ල නේරජනා ගඟට දමමින්. සිය වැඩිමහලු සහෝදරයා ඇතුළු පිරිස කසාවත් හැඳ සිටිනු දැක, නදී කාශ්‍යප ද තුන්සීයක් පිරිවර සමග බුදුරදුන් සොයා විත් බණ අසා ජටාමඬුලු ගඟට දමා කසාවත් හැඳ සසුන් ගත වුණා. ඒ අයුරින් ම තෙවන සොහොයුරා වූ ගයා කාශ්‍යප ද දෙසීයක් වූ පිරිස සමග සසුන් ගත වුණා. එසේ තුන්බෑ ජටිලයන් දහසක් දෙනා සසුන් ගත වූ ජටිල දමනය සිදු වූයේ ඉල් පසළොස්වක පෝදාකයි. 

සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම 

බුදුරදුන්ගේ අගසව් වූ සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ ඉල් මහ පොහොය දවසකයි. එකල්හී බුදුන් වහන්සේ වැඩ සිටියේ දෙව්රම් වෙහෙරෙහිය. දිනක් සැරියුත් මහ තෙරුන් බුදුන් වහන්සේ වෙත වැඩම කොට, ‘භාග්‍යවතුන් වහන්ස, බුදුරජාණන් වහන්සේ පළමුව පිරිනිවන් පාන්නේද නැතිනම් අග්‍රශ්‍රාවකයන් පිරිනිවන් පාන්නේදැ’යි විමසා තියෙනවා. එහි බුදුන් වහන්සේ වදාරා ඇත්තේ අග්‍රශ්‍රාවකයන් පිරිනිවීම කලින් සිදුවන බවයි. 

ඉන්පසු සැරියුත් තෙරුන් බුදුරදුන් අමතා, ‘භාග්‍යවතුන් වහන්ස, මම දැන් ජරාජීර්ණ වෙමි. මම අන්තිම ගමන යන්න සූදානම්ව පැමිණියෙමි. මේ මාගේ අන්තිම වැඳීමයි.’කියා බුදුන්ගේ පාද නමස්කාර කළා. 

එවිට බුදුරජාණන් වහන්සේ, සැරියුත් හිමියන් පිරිනිවන් පාන්නේ කොතන්හිදැයි විචාර තියෙනවා. ඊට පිළිතුරු වශයෙන් සැරියුත් හිමියන් කියා ඇත්තේ තමන් මගධ ජනපදයේ නාලකගම තමන් උපන් නිවසෙහි කාමරයක පිරිනිවන් පාන්නට අදහස් කර සිටින බව කියා තියෙනවා. බුදුන් වහන්සේ ඊට අනුමැතිය දුන් පසු සැරියුත් තෙරුන් නාලකගමට වැඩම කොට එහි නුගරුකක් මුල වැඩ සිටියා. එහිදී උන් වහන්සේ හමුවන්නට ගිහිකල බෑණනුවකු වූ උපරේවත නම් බ්‍රාහ්මණයකු ආවා. සැරියුත් තෙරුන් ඔහු අත මව වූ සාරි බැමිණියට පනිවිඩයක් යැවුවා. සාරි බැමිණිය එහි පැමිණ පුතු දැක සෙනෙහසින් උන් වහන්සේගේ ඉල්ලීම මත නිවසේ කාමරයක් පිළියෙල කොට එහි වැඩම කෙරෙව්වා. එහි වැඩ හිඳිමින් බුදු ගුණ දක්වමින් කළ දේශනය අසා ඇය මිසදිටු බවින් මිදී සෝවාන් ඵලයට පැමිණියා. 

එවිට තෙරුන් වහන්සේ ‘මම හදා වඩා ගැනීමේදී ඇති වූ ණය ගැති භාව‍යෙන් මිදුණෙමැ’යි සතුටට පත්ව ඒ මොහ‍ොතේ පිරිනිවන් පෑවා. එය සිදු වූයේ ඉල් මහ පෝය දිනකයි. 

කඨින චීවර පූජා කිරීමේ අවසාන දිනය ඉල් මහ පොහොයයි.

කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනය 

පෙර වස් වසන භික්ෂූන් වහන්සේ වස්තුන් මස නිමවූ පසු වප් පොහොය දින වස් පවාරණය කළ යුතුයි. පසු වස් විසූ භික්ෂූන් වහන්සේ ඉල් පොහොය දින වස් පවාරණය කළ යුතුයි. කඨින චීවරය ලබා ගත හැක්කේ පෙර වස් විසූ භික්ෂූන් වහන්සේට පමණයි. 

ලක්දිව ප්‍රථම ස්තූපය වූ ථූපාරාමය පිහිටුවීමට තීරණය කිරීම 

ඉල් පසළොස්වක පෝදාක මෙරට සිදු වූ වැදගත්ම සිදුවීම ලක්දිව ප්‍රථම ස්තූපය වූ ථූපාරාමය පිහිටුවීමට තීරණය කිරීමයි. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට ස්තූපයක් නිර්මාණය කරන්නට දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මහ රහතන් වහන්සේ ඉල්ලා සිටියේ ඉල් පසළොස්වක පෝය දාකයි. ඒ අනුව සුමන සාමණේරයන් බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ ද අශෝක රජතුමා විසින් දෙන ලද පාත්‍රයක් පුරා ධාතුන්ද ලක්දිවට ගෙන ආ අතර එයින් දකුණු අකුධාතුන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා විසින් ථූපාරාම දා ගැබෙහි තැන්පත් කරන ලද බව සඳහන් වෙනවා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments