HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද අප අතර බහුලව භාවිත වන විස්මිත සෙරෙන්ඩිපිටි නිපැයුම්

සෙරෙන්ඩිපිටි යන ඉංග්‍රීසි වදන සෙරෙන්ඩිප්(සිංහලද්වීප) යන වදනෙන් හැදුණු හැටි පසුගිය ලිපියෙන් කීවා. මෙවර කියන්නට යන්නේ ඒ වදන යොදාගෙන හඳුන්වන නව නිපැයුම් කීපයක් ගැනයි. මෙසේ හැඳින්වෙන්නේ සිතා මතා නොකළ, ඉබේ පහළ වූ නිර්මාණයි. තවත් විදියකින් කීවොත් වෙනත් දෙයක් අලුතින් කිරීමට හෝ නිපදවීමට යද්දී ඒ අරමුණු කර ගත් දෙය නොව වෙනත් සාර්ථක දෙයක් අනපේක්ෂිතව බිහිවුවහොත් ඒ නිර්මාණ හැඳින්වෙන්නේ සෙරෙන්ඩිපිටි නිමැවුම් ලෙසයි. ‘ද ඔක්ෆර්ඩ් කොම්පෑනියන් ටු ඇමරිකන් ෆුඩ් ඇන් ඩ්‍රින්ක්’ සඟරාවේ සංස්කාරක ඇන්ඩෲ ස්මිත් නම් කියන්නේ අපි එදිනෙදා භාවිත කරන නිෂ්පාදන බොහොමයක් සෙරෙන්ඩිපිටි නිර්මාණ ලෙස හඳුන්වන්න පුලුවන් කියලයි. ඒ වගේ ම ඔහුගේ අදහසේ හැටියට අතීතයේ සතුන් හා සම්බන්ධ වූ නිෂ්පාදන ආදියත් මේ ගණයෙහිලා සැලකිය හැකියි.
සෙරෙන්ඩිපිටි නිමැවුම්

නිදසුනක් වශයෙන් චීස් ගත්තොත් එය මිනිසා කිරි ගන්නා සතුන් ඇති කරන්නට පටන් ගත් කාලයේ කළ සොයා ගැනීමක්. මළ ඔටුවකුගේ ආමාශයක් තුළ කිරි ගබඩා කොට එය ජීවත්වන ඔටුවකුගේ සැදලයෙහි එල්ලා තබා ගෙන පසුව පාවිච්චියට ගැනීමට යාමේ දී ඒ ආමාශයෙහි වූ රෙනින් සංයෝග මුසු වී නිසා ඒ කිරි චීස් බවට පත් වී තිබුණා. චීස් ලොවට ආවේ එහෙමයි. 

එදිනෙදා ජීවිතයේ භාවිත වන සෙරෙන්ඩිපිටි නිපැයුම් කීපයක් මෙසේයි. 

‘පෝස්ට් ඉට් නෝට්’ (Post-It Note) නම් ලොව පුරා ජනප්‍රිය, පනිවුඩ හා සටහන් තැබීමට, යොදා ගන්නා ඇලවුම් තුන්ඩුවත් එවැනි කිර්මාණයක්. එය මුලින් ම භාවිතයට ආවේ 3M විද්‍යාඥ ස්පෙන්සර් සිල්වර් ශක්තිමත් මැලියම් වර්ගයක් තනන්න ගිහින් වැරදීමක් වෙලා දුර්වල (උදාසීන) මැලියම් වර්ගයක් හැදුණා. අවශ්‍ය තත්වයට නැති නිසා ඔහු එය ඉවත දැම්මා. ඔහුගේ සගයෙක් ඒ මැලියම් කොළ කැබලිවල ගා, පල්ලියේ ගායනා පොතේ ගීතිකා ඇති තැන් සලකුණු කරන්න යොදා ගත්තා. ඒක දැකපු සිල්වර්ට හිතුනා, ඒ ක්‍රමයට තාවකාලිකව ඇලවිය හැකි කඩදාසි තැනිය හැකිය කියා. එහෙම තමයි 3M ආයතනය නිපදවන ‘පෝස්ට් ඉට් නෝට්’ ක්‍රමය ඇති වුණේ. 

මෝටර් රථවලට සවි කරන ආරක්ෂක වාමල්ලත් අහුඹුවෙන් නිපදවනු ලැබූවක්. ළමයින්ගේ දිවි රැක දීමට හේතුවන මේ ආරක්ෂක වාමල්ල ක්‍රියාත්මක කරන සංවේදක ඒ සඳහා නිර්මාණ කළ දෙයක් නොවෙයි. ඒවා තනා ඇත්තේ ‘මිට් මීඩියා ලැබ්’ (MIT Media Lab) ආයතනය විසින් තනා ඇත්තේ ‘පෙන් ඇන්ඩ් ටෙලර්’ මැජික් සංදර්ශනය සඳහා පිළියෙල කළ විශේෂ පුටුවක් නිසා අහම්බෙන් නිපදවූ නිර්මාණයක්ග අදඑය බොහෝ සේ ප්‍රයෝජනවත් දෙයක් වී තියෙනවා. 

දෙවැනි ලෝක යුද සමයේ ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාව රබර් වෙනුවට යොදා ගත හැකි නිර්මාණයක් සඳහා පර්යේෂණ කළා. ස්වාභාවික රබර් ඒ කාලේ මිල අධික දුර්ලභ දෙයක් වූ නිසා මේ කෘත්‍රිම රබර් විශේෂය තැනුවේ හමුදාවේ බූට් සපත්තු අහස්යානා ටයර් ආදිය තනන්නයි. ඒවා ඇදෙනසුලු වගේම ඉපිල්ලෙන ගතියෙන් ද යුක්ත වුණා. ඒත් රබර් වෙනුවට ආදේශකයක් ලෙස යොදා ගැනීමට සුදුසු මට්ටමක තිබුණේ නැති නිසා පසෙකට දමනු ලැබුවා. ඒක තමා ‘සිලි පටි’ (Silly Putty) නම් පොටි වර්ගය. ඒවා අද තීන්ත, කුණු පැල්ලම් ඉවත් කිරීමට, පමණක් නොව එහි සුවිශේෂ ගුණාංග නිසා චෛද්‍ය සහ විද්‍යාත්මක යෙදවුම්වලටත් භාවිත කෙරෙනවා. 

මයික්‍රොවේව්(microwave) උදුනත් අහඹු නිර්මාණයක්. රේතියන් තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයකු වූ පර්සි ස්පෙන්සර් ඊට පදනම් වූ නව තාක්ෂණය හිමිකම් ආයතනයේ ලියා පදිංචි කළේ රේඩාර්වලට ප්‍රයෝජනයට ගත හැකි කිරණ විශේෂයක් ලෙසයි. ඒත් ඒ කිරණ නිසා ඔහුගේ සාක්කුවේ ‍තිබූ චොකලට් එක දිය වූ නිසා මේ නව නිර්මාණය බිහි වීමට හේතු වුණා. අද මයික්‍රොවේව් උදුන කරන සේවය ලොව පුරා සිටින හැමදෙනකුම දන්නවා. 

වෙල්ක්‍රෝ (Velcro) සවිකුරු පටිය ගැන නොදන්නා කෙනෙක් නැහැ. මෙයත් ඉන්ජිනේරුවකු ඔහුගේ බලු සුරතලාගේ ඇඟ‍ෙහි ඇලුණු කොක්ල්බර් ශාකයේ කටුවගයක් පරීක්ෂා කිරීමෙන් පසුව තමයි, ඔහුට මේ කොකු හා මඳු සහිත සවිකුරු පටිය නිෂ්පාදනය කරන්නට අදහස ආවේ. ඔහු එහි නිර්මාණ සංකල්පය වෙල්ක්‍රෝ නමින් ලියාපදිංචි කළේ 1958දියි. ඔහු නමින් ජෝර්ජ් ඩි මිස්ට්‍රාල් (George de Mestral) තමයි. 

පොප්සිකල් (Popsicle

පොප්සිකල් (Popsicle) යන්න අද නොදන්නා කෙනෙක් නෑ. වසර 115කට පෙර 1905 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝවේ සිටි 11 හැවිරිදි දරුවෙක් තමා සෙල්ලමට සෑදූ ජලය හා සෝඩා මිශ්‍රණය ඇතුළත් කෝප්පය වැරදීමකින් නිවෙසින් පිටත තිබියදී රාත්‍රි නින්දට ගිය අතර පසුදා උදේ බලන විට කෝපය ඇතුළේ දිය කිරීමට යොදා ගත් කෝටුවත් සමග ඒ මිශ්‍රණය මිදී තිබෙනු දුටුවා. කෝටු කෑල්ලෙන් අල්ලා ඉවතට ගත් මිදුණු අයිස් කුට්ටියෙන් තමා පොප්සිකල් එකට මඟ පෑදුණේ. ඔහු තමා ෆ්‍රෑන්ක් එපර්සන්. 

ඒ වගේ තවත් එකක් තමා අපේ විස්මිත ප්‍රතිජීවකය වූ පෙනිසිලින් (penicillin). ඒ ඖෂධය සර් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් පර්යේෂණයකට භාවිත කළ පෙට්රි දීසියක් සේවකයන් විසින් ශුද්ධ පවිත්‍ර නොකර සති අන්ත නිවාඩුවකට ගොස් තිබීම නිසා ඒ දීසිය තුළ වැඩී තිබුණු දිලීරයක් නිසයි, ෆ‍්ලෙමින්ට ඒ නව නිපැයුම කිරීමට මඟ පෑදුණේ. 

අද අපි රස කර බොන කෝපිත් අහඹු නිර්මාණයක්. ඉතියෝපියාවේ එ‍ෙඬ්රුන් එළුවන් කැළෑවල කෑම කැවීමට ගෙන ගොස් සිටියදී ඔවුන් සොයා ගත් අහඹු දෙයක්. කෑළෑව තුළට යන එළුවන් බඩ පුරවාගෙන ආපසු එද්දී මත් වූ ස්වරූපයෙන් වැනි වැනී ආ නිසා ඒ ගැන විපරම් කළ එ‍ෙඬ්රුන්ට දැක ගත හැකි වුණා, රතු පැහැති පොකුරු සහිත කුඩා ගෙඩි විශේෂයක්. ඒවා තමයි අප අද දන්නේ කෝපි කියා. 

මේ වගේ ඒවා විශාල ගණනක් නිදසුන් වශයෙන් ගෙනෙන්න පුලුවන්. ඉදිරියේ දී ඒ ගැනත් ඉඩ ඇති පරිදි වරින් වර කතා කරමු. 

 - පර්සි ජයමන්න

Post a Comment

0 Comments