HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සෙරෙන්ඩිපිටි යන වදන ශ්‍රී ලංකාවේ කීර්තිය ලොව පුරා ගෙන ගිය හැටි!

සෙරෙන්ඩිපිටි යන වදන ශ්‍රී ලංකාවේ කීර්තිය ලොව පුරා ගෙන ගිය හැටි! සෙරෙන්ඩිපිටි (serendipity) කියා ඉංග්‍රීසි වදනක් තියෙනවා. එය දැන් ලොව භාෂා බොහොමයක දක්නට ලැබෙන්නක්. ශබ්දකෝෂ බොහොමයක එහි අරුත දක්වා ඇත්තේ ‘අහඹු ලෙස හමුවන වාසනාවන්ත සොයා ගැනීම’, ‘වාසනාලාභය’, ‘ආකස්මික වාසනාව’ කියායි. ඒ වදන බිඳී ඇවිත් තියෙන්නේ ශ්‍රී ලංකාවට අතීතයේ භාවිත කළ ‘සෙරෙන්ඩිබ්’ යන නම ඇසුරෙන්. ඒ කාලයේ ලොව පුරා ගිය අරාබි වෙළෙඳුන් තමයි, එකල අප භාවිත කළ‘සිංහලදීප’ යන වදනින් සෙරෙන්ඩිබ් කියන වචනය හදා ගෙන ඇත්තේ. ‘එක් දහස් එක් රැය’ නම් අරාබි නිසොල්ලාසයේ එන සින්බෑඩ් නැවියා සිය එක් චාරිකාවකදී යන්නේ ‘සෙරෙන්ඩිබ්’ නම් විස්මිත දූපතටයි. එහි එන විස්තර අනුව ඒ එදා ඔවුන් ‘ලංකාව’ හැඳින්වූ නමයි.
සෙරෙන්ඩිබ් දූපතෙන් ගිය එතෙර කුමාරයින් තුන්දෙනා

සෙරෙන්ඩිපිටි යන ඉංග්‍රීසි වදන මුලින් ම තනා ගෙන භාවිතයට ගෙන ඇත්තේ 1754 දී හෝරස් වල්පෝල් (Horace Walpole) නම් ඉංග්‍රීසි ලේඛකයායි. ඔහු ඒ නම තැනීමට මූලාශ්‍රය ලෙස ගෙන ඇත්තේ ‘සෙරන්ඩිබ්හී කුමාරවරුන් තිදෙනා’ (The Three Princes of Serendip) නම් වූ පර්සියානු සුරංගනා කතාවක ඉංග්‍රීසි අනුවර්තනයෙනුයි. ඒ කතාවට අනුව එහි එන කුමාරවරුන් තිදෙනාට හැමවිටම හැමදේම ලැබුණේ ඔවුන් අනපේක්ෂිත අයුරිනුයි. 

සෙරෙන්ඩිබ් දූපතෙන් ගිය කුමාරයින් තුන්දෙනාගේ කතාව 

එකමත් එක කාලයක ඈත පෙරදිග රටක් තිබුණා සෙරෙන්ඩිපෝ (Serendippo) කියා. ඒ රටේ බලවත් රජ කෙනෙක් සිටියා, ගියාෆර් නමින්. ඔහුට ආදරණීය පුත් කුමාරවරුන් තුන් දෙනෙක් සිටියා. ඉතා හොඳ පියෙකු හැටියට ඔවුන්ගේ අධ්‍යාපනය ගැන බොහෝ සේ කල්පනා කළ රජතුමා ඔවුන්ට හොඳ ම ගුරුවරුන් ගෙන්වා ඉගැන්නුවා. රජතුමා සිතා සිටියේ ඉගැන්වීමෙන් පසු ඔවුන්ට රාජ්‍ය උරුමය, බලය හා වගකීම් පැවරීමටයි. 

කුමාරවරුන්ට විද්‍යාවන් හා කලාශිල්ප සියල්ල හොඳින් ඉගැන්වූ ගුරුවරුන් ඒ ගැන සෑහීමට පත් වූ පසු ඒ බව ඔවුන් රජතුමාට දන්වා සිටියා. පුත් කුමාරවරුන් ගැන ගුරුවරුන් කී දෙයින් සෑහීමකට පත් නොවූ රජතුමා පුත් කුමාරවරුන් පරීක්ෂා කර බලන්න සිතුවා. එහෙම හිතලා කුමාරවරුන් එක් එක් කෙනා වෙනම තමා ඉදිරියට කැ‍‍ඳ‍ෙව්වා. තමා රජකම පුත් කුමාරවරුන්ට පවරා දීමට අදහස් කර ඇති බව කිව්වා. රජ කුමාරවරුන් තුන්දෙනාම පිය රජතුමාගේ දැනුම හා රාජ්‍ය පාලනයේ විශිෂ්ඨත්වය අගය කළ අතර රජකම බාර ගැනීම ඉතා කරුණාවෙන් ප්‍රතික්ෂේප කළා. 

රජතුමා ඒ ගැන යටි සිතෙන් සතුටු වුනා. එත් රජකම බාර ගැනීමට අකමැති වීම නිසා ඔවුන් ආරක්ෂාව හා වරප්‍රසාද යටතේ ලබාගත් අධ්‍යාපනය නිසා අභියෝග භාර ගැනීමට තවමත් සූදානම් නැතැයි සිතූ රජතුමා සිහසුන බාර ගැනීමට අකමැති වීම හේතුවක් සෙ දක්වා බොරු තරහක් පෙන්වා කථා කොට ඔවුන්ව රටින් පිටුවහල් කළා. 

අධිරාජයා කුමාරවරුන්ගෙන් ඇහුවා, ඔවුන් ඔටුවා දුටුවේ 
නැති නම් ඒ තරම් නිවැරදි විස්තරයක් කීවේ කෙසේ ද කියා.

එතෙර ගොස් වැඩි දිනක් යාමට මත්තෙන් කුමාරවරුන් මාවතක් දිගේ යද්දී තමන් ලත් දැනුමෙන් අමුතු නිරීක්ෂණයක් කළා. ඒ, එක් ඇසක් අන්ධ, කටේ දතක් වැටුණු, කොර ගහන ඔටුවෙකු, දෑලේ එක් පසෙක පැණි මල්ලක් හා අනෙක් පස බටර් මල්ලක් ඇතිව, ගැබිණි කාන්තාවක් පිට උඩ තබා ගෙන කුමාරවරුන්ට පෙරාතුව ඒ මග ගොස් ඇති බවයි. මෙච්චර විස්තර කීවත් ඔවුන් ඒ කණ ඔටුවා දුටුවේ නෑ. 

ඒ යන අතර මගදී කුමාරවරුන්ට නැතිවූ ඔටුවෙකු සොයා යන වෙළෙන්දෙකු හමු වෙනවා. වෙළෙන්දා ඔවුන්ගෙන් අතරමඟ දී ඔටුවෙකු දුටුවා දැයි ප්‍රශ්න කරනවා. එවිට ඔවුන් තිදෙනා තමන් ඔටුවෙකු නුදුටු බවත් එ්ත් ඔටුවෙකු කලින් ඒ මග ගොස් ඇති බවත් තමන් කළ නිරීක්ෂණ අනුව ඔටුවාගේ විස්තර කියනවා. නුදුටු බව කියා ඔටුවාගේ විස්තර නිවැරදිව කියූ නිසා ඔටුවා ඔවුන් විසින් සඟවා ගෙන ඇතැයි චෝදනා කරමින් වෙළෙන්දා, කුමාරවරුන් තුන්දෙනා අල්ලා ගෙන එරට රජු වූ බෙරාමෝ අධිරාජයා වෙත ගොස් ඔවුන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටියා. 

අධිරාජයා කුමාරවරුන්ගෙන් ඇහුවා, ඔවුන් ඔටුවා දුටුවේ නැති නම් ඒ තරම් නිවැරදි විස්තරයක් කීවේ කෙසේ ද කියා. කුමාරවරුන් කීවා ඔවුන් පාරේ එන අතරමග තමන් දුටු පුංචි පුංචි කරුණු එකින්එක ගළපා ගෙන ඒ විස්තරය කළ බව. 

කුමාරවරුන් කීවේ ඔටුවා පාරේ තණ කොළ කා ඇත්තේ කොළ පැහැයෙන් අඩු, වියළී ගිය පැත්තෙන්. අනික් පැත්තේ ඇති වඩා කොළ පැහැති තණ කොළ ඌ දැක නැහැ. ඒ නිසයි අප කීවේ උගේ එක් ඇසක් අන්ධයි කියා. ඒ වගේම ඌ තණ කොළ කද්දී කටේ එක් පැත්තකින් කඩා ගත් තණ කොළ ටික ටික ඉවතට වැටී තිබෙනු දුටුවා. ඒ නිසා උගේ කටේ දතක් නැති බව අප තේරුම් ගත්තා. ඌ ගිය මග අඩි පාරවල් පැහැදිලිව තිබුණේ පාද තුනක විතරයි. එක කකුලක් අද්ද අද්දා ගිය නිසා ඌ කකුලක් කොර ඔටුවෙක් කියා නිගමනය කළා. කුමාරවරුන් පැහැදිලි කළා. 

‘ඌ බටර් හා පැණි දැමූ මලු දෙකක් දෑලේ ගෙන ගියා කීවේ කොහොමද?’ අධිරාජයා ඇහුවා. 

‘ඔටුවාගේ දෑලේ බටර් හා පැණි දැමූ සම් මලු දෙකක් එල්ලා තිබුණු බව අප කීවේ ඌ ගිය මගේ එක් පැත්තකින් බටර් කාන්දු වීම නිසා කූඹින් එක් රැස් වී සිටිය අතර, අනෙක් පැත්තේ පැණි බිංදු වෑස්සීම නිසා ඒවාට මැස්සන් වසා සිටිනු දුටුව නිසයි’ 

මෙහිදී එක් කුමාරයෙක් කතා කරමින් මෙහෙම කීවා. ‘ඔටුවාගේ පිට උඩ කාන්තාවක් ගිය බව කීවේ ඔටුවා ගිය මග එක තැනකදී ඌ දණ ගසා ඇති අතර එහි උගේ අඩි සලකුණු සමග කුඩා මිනිස් පා සලකුණක් මා දුටුවා. ඒ අසල මූත්‍ර කළ බවට සලකුණු තිබුණු අතර ඒ මූත්‍රවල ආඝ්‍රාණයෙන් ඒ කාන්තාවක් බවත්, මට වැටහුණා.’ 

‘මං හිතන්නේ ඒ කාන්තාව ගැබ් ගෙන ඇති බවයි.’ තවත් කුමාරයෙක් කීවා. ‘මා එහෙම කියන්නේ ඇය මූත්‍ර කළ තැන ඈ වාරුව ගෙන සිට ඇත්තේ දෑත් බිම තබා බැවින් ඇය ගැබිණියක් බව තහවුරු වෙනවා.’ යයි ඔහු තවදුරටත් කීවා. 

අධිරාජයා මේ ගැන විමතියට පත්වෙමින් සිටි අතර පිටතට ගිය සංචාරක වෙ‍ෙළන්දා ඔටුවාත් කාන්තාවත් කාන්තාරයේ අතරමං ව සිට හමු වූ බව අධිරාජයාට සැලකර සිටියා. අධිරාජයා කුමාරයන්ගේ බුද්ධි මහිමය ගැන පැහැදී ඔවුන්ගේ වගතුග අසා වස්තු සම්පත් දී තමන්ගේ රාජ සභාවේ උපදේශක තනතුරු පිරි නැමුවා. 

ඒ සෙරන්ඩිබ් කුමාරවරුන්ගේ වික්‍රමයන් එතැනින් නැවතු‍ණේ නැහැ. ඔවුන්ගේ විචක්ෂණ බුද්ධිය පෙන්වන කතා රැසක් ඉතාලි බසට නැඟුණු පොතේ තියෙනවා. ඒ පොත අවසාන වන්නේ ඔවුන් පියාගේ අභාවය සැලවීමත් සමග සෙරන්ඩිබ් දිවයිනට යාමෙනුයි. 

කුමාරවරුන් තුන්දෙනාගේ කතාවේ ඉතිහාසය 

සෙරෙන්ඩිබ් දූපතෙන් ගිය එතෙර කුමාරයින් තුන්දෙනාගේ කතාවේ ඉතිහාසය වසර 1600ක් තරම් ඈතට විහිදී යනවා. සැසනිඩ් අධිරාජ්‍ය සමයේ පස් වැනි බාහ්රම්(420-440) නම් වූ පර්සියානු අධිරාජයාගේ කාලයේ වූ සිදුවීමක් හැටියටයි, මෙහි ආරම්භය සටහන් කෙරෙන්නේ. මේ කතාත් එක් දහස් එක් රැය හෙවත් අරාබි නිසොල්ලාසයේ එන කතාවලට සමානයි. මේ ඔටුවාගේ කතාව හැරුණු විට එහි අනෙක් කතා ඉංග්‍රීසියට පර්වර්තනය වී නැහැ. ඒත් මේ කතා පසුු කලෙකදී බොහෝ රටවල නිර්මාණවලට පුළුල් ලෙස අනුප්‍රාණය සපයා තියෙනවා. 

යුදෙව් ආගමික හා නීති ග්‍රන්ථය වූ ටැල්මුඩ්හිද මේ ඔටුවාගේ කතාව ටිකක් වෙනස් ආකාරයට සඳහන් වෙනවා. මහ මග මූත්‍ර කිරීම යුදෙව්වන් පිළිකුල් කරන නිසා එය ඉවත්කොට කතාව එහි ඇතුළත් කර තියෙනවා. එහි කුමාරවරුන් වෙනුවට ඉන්නේ වහලුන් දෙදෙනෙක්. ඔවුන් ඉදිරියෙන් ගිය ඔටුවා ගැන ඔවුන් කී විස්මිත නිගමන පැහැදීමට පත් ඒ වහලුන්ගේ ස්වාමියා වහලුන්ට සමාව දුන් බව ඒ කතාවේ සඳහන් වෙනවා. 

ඉන්පසුව මේ කතාවේ ආභාසය 1747 දී ප්‍රංශ ජාතික වෝල්ටෙයාර්ගේ ‘සැඩිග්’ (Zadig) නවකතාවේ තුන්වැනි පරිච්ඡේදයෙහි එනවා. එහි ඔටුවා වෙනුවට අශ්වයකු හා සුනඛයකු යොදා ගෙන තියෙනවා. එහි සැඩිග් නම් චරිතය ඔහු නුදුටු ඒ සතුන් දෙදෙනා ගැන බුද්ධියෙන් හිතා කර නිගමන දැක්වෙනවා. ‘මා දුටුවා වැල්ලේ අඩි සලකුණු වගයක්. කුඩා පිය සලකුණු නිසා මා ඒ බලුපැටියකුගේ යැයි නිගමනය කළා. ඒ සමගම තිබුණා බරට තැබූ පිය සටහන් වගයක්. ඒවා සමග වැල්ලේ ඇදී ගිය ලකුණුවලින් මා තීරණය කළා ඒ පැටියා සමග ගිය බැල්ලියගේ පියයුරු බිම ඇදී ගිය සලකුණු විය යුතු යැයි කියා. ඇය ළඟදී පැටවු ගහපු බැල්ලක් බවට මා නිගමනය කළා.’ යනුවෙන් එහි කතා නායකයා වූ සැඩිග් කියනවා. 

1834දී මේ සැඩිග්ගේ මේ තර්කානුකුල න්‍යායන් පොසිල අධ්‍යයන විද්‍යාව සඳහාද යොදා ගත හැකි යැයි ඒ විද්‍යාවේ පියා ලෙස සැලකෙන ප්‍රංශ ජාතික කුවියේ සඳහන් කර තියෙනවා. අද පොසිල ලෙසින් හමුවන පිය සටහනකින් ඒ පියවරෙහි හිමිකරුවාගේ පාදයේ ප්‍රමාණයත්, උසත් පමණක් නොව ඒ රූපකායත් මැවීමටත් වසර ලක්ෂ ගණනකට එපිට සිටියත් ඒ ගැන තොරතුරු මතු කර ගැනීමට පොසිල අධ්‍යයන විද්‍යාව අද දියුණු වී තියෙනවා. ඒ වගේ ම එය ඩාවින්ගේ පරිණාමවාදය ඔස්සේ කරුණු දැක්වීම්වලටත් යොදා ගන්නවා. 

ඊළඟට රහස් පරීක්ෂක කතාවේ පුරෝගාමීයා ලෙස සැලකෙන එඩ්ගා ඇලන් පෝ ලේඛකයා සැඩිග් චරිතය ඇසුරෙන් 1841 දී රහස් පරීක්ෂක චරිතයක් නිර්මාණය කළා. සී. ඔගස්ටේ ඩුපින් නම් ඒ චරිතය ආවේ ඔහුගේ ‘ද ‍මර්ඩ්ර්ස් ඉන් ද රූ මෝග්’ නම් එ් කොටිකතාවෙන්. ඒ චරිතය තමන්ට දකින්නට ලැබෙන සුළු හෝඩුවාවලින් රහස් හෙළිදරවු කර ගන්නවා. වර්තමානයේ ඉතා ජනප්‍රිය රහස් පරීක්ෂක කතා ශානරය ආරම්භ වූයේ එහෙමයි. එඩ්ගා ඇලන් පෝගේ ආභාසය ලබා ගෙන තමා සර් ආතර් කොනන් ඩොයිල් ඔහුගේ ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කළේ. ඒවගේ ම ලොව පුරා එවැනි රහස්පරීක්ෂක චරිත නිර්මාණය කරනු ලැබුවේ. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments