HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වන වලසුන් එළවා මිනිසුන් බේරා ගන්න රොබෝ වෘකයෙක්!

ගම් වදින වන සතුන්ගෙන් නිවැසියන් බේරා ගැනීමට ජපානය රොබෝ තාක්ෂණය යොදා ගෙන තියෙනවා. ඒ සඳහා පිළියමක් හැටියට ‘රොබෝ වෘකයෙක්’ නිපදවා තියෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ ජපානයට අයත් උතුරු දූපතක් වූ හොක්කයිඩෝ දූපතේ තකිකාවා නගරයට කඩා වදින වන වලසුන් එළවන්න තමයි, පළමු වරට මේ ‘රො‍බෝ වෘකයන්’ යොදා ගෙන ඇත්තේ. මේ වෘකයන් නම් කර ඇත්තේ ‘වෘක රකුසන්’ (Monster Wolf) කියායි. 
 මේ රොබෝ වෘක රකුසකු කුඹුරුයායක රැකවලට යොදවා ඇති අයුරු. 
මේ වර්ගයේ රෝබෝවන් දැන් රටපුරා ගොවිපොළවලට යොදවා තියෙනවා.

අඩි 4ක් දිග අඩි 3ක් උස මේ රොබෝ වෘකයා ගොරවා විළිස්සන විට ඕනෑම වන මෘගයෙක් බිය වී දුවනවා. උගේ දෑස් රත් පැහැයෙන් දිලෙනවා. මේ වෘකයන් දෙදෙනකු ඔවුන් විසින් යොදා ගෙන තියෙනවා. නගරයේ අධිකාරීන් කීවේ මේ රොබෝ වෘකයන් යෙදව්වාට පසු වන වලසුන් මිනිසුන්ට හිරිහැර කළ බවට කිසිම සිදු වීමක් වාර්තා නොවූ බවයි. 

 පහත වීඩියෝවෙන් වෘක රෝබෝ රකුසන් ක්‍රියාත්මක වන හැටි නරඹන්න. 

ජපානයේ ජාතික රූපවාහිනිය වූ එන්එච්කේ ආයතනය වාර්තා කළා පසුගියදා ගම් වලට නඩා වැදුණු වන වලසුන්ගේ පහරදීම් දුසිමකට වැඩිය සිදුවූ බව හා ඉන් මාරක අවස්ථා දෙකක් තිබූ බව. ඒවා නිසා තමයි රජයේ අවධානය මේ සඳහා යොමු වුණේ. 

හොක්කයිඩෝ දූපතේ තකිකාවා නගරයට වන වලසුන් ආක්‍රමණය කරන බවට 
ලැබුණු වාර්තා නිසයි මේ නව රොබෝවරුන් යොදවනු ලැබුවේ.

ළඟඳී එළඹෙන ශීත කාලයේ දී ශිශිර නිද්‍රාවට (hibernation) යාමට පෙර ආහාර හැකි තරම් ගැනීමටයි ඔවුනට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ වසරේ වනාන්තරවල ගෙඩි හා ඇට ද්‍රව්‍ය හිඟවීම නිසා ඔවුන් පහසුවෙන් ආහාර සොයා ගැනීමට මෙසේ ගම්මානවලට හා නාගරික ප්‍රදේශවල නිවාසවලට කඩා වදිනවා. නොවැම්බර් මාසයෙන් පසු ඔවුන් ශිශිර නිද්‍රාවට වැටෙනවා. එයින් පසු ඔවුන් යළිත් වරක් අවදිවන්නේ ශීතකාලය අවසන් වූ පසුයි. 

මේ රොබෝ වෘකයන් තැනීම බාරව ක්‍රියා කළේ ජපානයේ හොක්කයිඩෝ විශ්ව විද්‍යාලයත් තෝකියෝ කෘෂිකාර්මික විශ්ව විද්‍යාලයත් ඒ ප්‍රදේශයේම නිර්මාණකරුවකු වූ සෙයිකීත් එකතුවෙලයි. 2016 වසරේ දී ගොවිපොළවල ආක්‍රමණශීලී සතුන් එළවා දමන්න මෙහි මුල් නිර්මාණ දෙකක් යොදා ගත්තා. ඒක සාර්ථක වුණ නිසා තමයි, මෙවර මේ අලුත් ‘වෘක රකුසන්’ තනනු ලැබුවේ. 

ගම් වදින වන වලසුන් බිය කර පලවා හරින්නට යොදා ඇති 
මේ රොබෝවන් ක්‍රියාත්මක වන්නේ සූර්ය බලයෙන්.

මේ විදියේ නව රොබෝ වෘකයන් 70ක් විතර දැන් තැන තැන සේවයට යොදවා ගෙන තියෙනවා. ඒ දූපතේ ගොවිපොළවල ඇති කරන සතුන් හා එහි වෙසෙන මිනිසුන් දැන් හොඳින් ම ආරක්ෂා වී ඇති බවයි, ඔවුන් කියන්නේ. ඔවුන් විවිධ චලනයන් කරමින්, විවිධ බියකරු ශබ්ද නගමින් සතුරන් පලවා හරින විට හරිම අපූරුයි. 

- පර්සි ජයමාන්න 

පහත වීඩියෝවෙන් රෝබෝ වෘකයාට බියෙන් සැබෑ වෘකයකු පලා යන හැටි නරඹන්න.

Post a Comment

0 Comments