HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපි දෙන්නගෙන් වඩා අසුබ කවුද? නස්රුදින් අසයි.

එක දවසක් රජතුමා උදෙන් ම දඩ කෙළියට යන්නට පිටත් වුණා. එතුමා මාලිගයෙන් එළියට බහින කොට ම ඉස්සෙල්ලම දැක්කේ නස්රුදින් ඒ පැත්ත එනවා. ඉතින් රජතුමාට ඒ දැකලා හොඳටම තරහ ගියා. ‘මේ මොන අවාසනාවක් ද ? හොඳ ගමනක් යන්න හදනකොට පූජකයෙක් නෙ ඉස්සරහට හම්බ වුණේ. ඒ මිනිහාව අල්ලලා කසපාර දීලා එලවලා දමාපල්ලා!’ රජ්ජුරුවන් සෙබළුන්ට කෑ ගහලා කිව්වා. සෙබළු ඈතදිම නස්රුදින් අල්ලා ගෙන ඉවතට ගෙන ගියා. රජතුමා පිරිසත් එක්ක දඩකෙළිය සඳහා පිටත්ව ගියා. 

දඩකෙළිය වෙන කවරදාටත් වඩා එදා සාර්ථක වුණා! රජතුමාට හරිම සතුටුයි. රජතුමා මාලිගයට ආවේ උදම්වෙලා! මාලිගයට ආපු ගමන් ම රජතුමා රාජ පුරුෂයන්ට නියෝග කළා වහාම ගිහින් නස්රුදින් එක්ක ගෙන එන්න කියලා. 

රාජපුරුෂයන් වහාම ගිහින් නස්රුදින් එක්ක ආවා. නස්රුදින් තවත් කස පහර කන්න වෙයි කියලා බයෙන් බයෙන් තමයි, ගියේ. 

නස්රුදින් රාජපුරුෂන් සමග එනු දුටු රජතුමා ඈතදීම නස්රුදින්ට කතා කළා. 

‘මට සමාවෙන්න නස්රුදින් උදේ වෙච්ච දේට. ගමන පිටත් වෙන්න හදනකොටම ඉස්සෙල්ලම ඉස්සරහට හම්බ වුණේ පූජක ඇඳුමෙන් සැරසුණු ඔහෙ හින්දා මං හිතුවා මගේ ගමන අසුබයි කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ. ඔහෙ හමුවුණු එක මට ලොකු වාසනාවක් වුණා. මට කවදාවත් නැති තරම් දඩයම් හම්බ වුණා. මම හරියට සංතෝස වුණා!’ රජතුමා සතුටෙන් ඉපිල යමික් කිව්වා. 

‘සමාවෙන්න රජතුමනි, ඔබතුමා හිතුව උදේ මං ඉස්සරහට හම්බ වුණාම අසුබයි කියලා.’ නස්රුදින් කීවා. ‘ඔබතුමා මගේ මූණ බලලා ගිහින් ලොකු දඩයමක් කළා! මටත් ඔබතුමාව තමයි උදේ මුලින් ම ඉස්සරහට මුණ ගැහුනෙ. ඒ නිසා මට කස පහර කන්නට සිද්ධ වුණා. තරහ අවසර! රජතුමනි! ඇත්තට ම අපි දෙන්නගෙන් වැඩිය අසුබ කවුද?’ 

(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්ගේ අලුත් කතා’ නම් නවතම කෘතියෙන්)

Post a Comment

0 Comments