HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දිවියෙන් සමුගත් හොලිවුඩ් යුග පුරුෂයාගේ විස්මිත කතාව

ඔහු උපන්නේ සුන්දර ස්කොට්ලන්තයේ එඩින්බර්ග්හී ෆවුන්ටන් බ්‍රිජ් ගම්මානයේ ය. ඒ 1930 වසරේ අගෝස්තු 25 වැනිදා ය. ඔහු නමින් තෝමස් ෂෝන් කොනරි නම් විය. ඔහුගේ පවුල ඉතා දිළිඳු එකක් විය. ඔහුට නිදා ගන්නට ඇඳක් තිබුණේ ද නැත. ඔහු නිදා ගත්තේ මව්පියන්ගේ ඇඳුම් රාක්කයේ යට තට්ටුවේය. පාසල් යාම ද ඔහුට අසීරු එකක් විය. ඒ නිසා පුංචි සන්දියේ ම පාසලට ආයුබෝවන් කියා රැකියාවකට ගියේ ය. එවකට ඔහු නව හැවිරිදි විය. මුල් ම රැකියාව වූයේ නිවෙස්වලට කිරි බෙදීමයි. උදේ පාන්දරින් ම අවදිව කිරි බෙදන්නට නිවසෙන් නිවසට ගියේය. පයින් යන්නට බැරි තැන්වලට බයිසිකලෙන් ගියේය. බයිසිකලයෙන් යා නොහැකි තැන්වලට අසු පිටින් ගියේය. ඒ රැකියාව උදයෙන් ම නිම කළ ඔහු ඊළඟට නිවෙස් ඉදිකරන්නකු ළඟ ගඩොල් බැන්දේ ය. මස් කඩකාරයකුට අත් උදවු දුන්නේ ය.
සර් ෂෝන් කොනරි

යාන්තම් අවුරුදු දහසයේ දී ඔහු රාජකීය නාවික හමුදාවේ සේවයට ගියේය. ඒත් ඔහුට එහි තෙවසරකට වඩා සේවය කරන්නට හැකි වූයේ නැත. ආමාශයේ රෝගී තත්වයක් නිසා වෛද්‍ය හේතූන් මත ඔහු සේවයෙන් ඉවත් වීමට සිදු විය. 

ඔහු සිය නිජබිම වූ ස්කොට්ලන්තයටත්, මව්පිය දෙදෙනාටත්, අසීමිතව ආදරය කළේ ය. ඒ නිසා ම කුඩා කාලයේ දී ම එක අතක 'Mum and Dad' කියාත් අනෙක් අතේ 'Scotland Forever' කියාත් පච්ච කොටා ගෙන තිබුණේය. 

කායවර්ධනය ගැන කුඩා කල සිට ම කැමැත්තක් දැක්වූ ඇඟ හදා ගැනීමේ අදහසින් සිය බයිසිකලය දෑතින් ඉහළට ඔසවා ගෙන අසල පිහිටි කන්ද නැග්ගේ ය. ඉන්පසු බයිසිකලය ඔසවා ගෙන ම කන්ද ආපසු පහළට බැස්සේය. ජීවත් වීමට නොයෙක් රැකියා කළ ඔහු ජීවිතාරක්ෂක භටයකු ලෙසත්, එඩින්බර්ග් චිත්‍ර කලා විදුහලේ චිත්‍රශිල්පීන්ගේආදර්ශ නිරූපකයකු ලෙසත් සේවය කළේ ය. 1950 දී විශ්ව පුරුෂයා තේරීමේ තරඟයට තොම් කොනරි යන නමින් ඉදිරිපත් වී උසම පුරුෂයන් අතරින් තුන්වැනි තැනට පත් විය. ඒ වන විට ඔහුගේ උස අඩි 6යි අඟල් 2ක් විය. 

සර් ෂෝන් කොනරි ඔහුගේ 89 වන උපන්දිනයේ දී ඔහුගේ පුත් ජේසන් කොනරි හා 
ඔහුගේ සහකාරිය ෆියෝනා අප්ටන් සමග ගත් සේයා රුවකි.

ඒ කාලයේ ම සංගීත කණ්ඩායමට බැ‍‍ඳෙන්නට මිතුරෙකු ඔහුට යෝජනා කළේය. ඊට සූදානමක් ලෙස ඔහු නැටුම් හා ගායනා පුහුණු පාඨමාලාවකට එක් විය. ඉන්පසු තෝරා ගැනීමේ පරීක්ෂණයකට එක් වූ ඔහුට South Pacific සංගීත කණ්ඩායමේ සමූහ ගායන වෘන්දයට එක් වීමට අවස්ථාව සැලසුණේය. ඒ යන ගමනේ දී ඔහුට පාපන්දු ක්‍රීඩකයකු ලෙස මැන්චෙස්ටර් යුනයිටඩ් හා එක් වීමට ඇරයුමක් ද ලැබුණේය. 

ඔහු සංගීත කණ්ඩායමට එක් වීම නිසා රංගනයට දායක වීමට ද සිතුවේ ය. පාපන්දු ක්‍රීඩාවත් ඔහුගේ සිත් ගත්තෙන් ඔහු ඒ වෘත්තීන් දෙක අතර දෙගිඩියාවට පත් විය. නළු රොබට් හෙන්ඩර්සන් ඔහු ඒ දෙගිඩියාවෙන් මුදවා රංගනයට යොමු කළේ ය. එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ ප්‍රථම ටෙලිවිශන චරිත නිරූපණය කරලියට ඒමයි. ඒ Requiem for a Heavyweight ටෙලිවිශන නාට්‍යයෙනි. ඒ රඟපෑමට පැසසුම් ගලා ආවෙන් ඔහුට සිනමාවේ අඩු පිරිවැය නිෂ්පාදන ගණනාවකට ම එක් වීමට හැකි විය. ඔහු මුල්වරට ප්‍රධාන චරිතයක් රඟපෑවේ 1957 දී ‘නෝ රෝඩ් බෑක්’ නම් බ්‍රිතාන්‍ය චිත්‍රපටයේය. ඔහු 1955 සිට 1962 වන තෙක් බී ගණයේ චිත්‍රපට නළුවකු විය. 

ප්‍රථම වරට ජේම්ස් බොන්ඩ් චරිතය රඟපෑ අවස්ථාවේ ‘ඩොක්ටර් නෝ’ චිත්‍රපටයේ.

ඔහු ටෙරන්ස් යන්ග් නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා හමු වූයේ මේ කාලයේ දීය. ඔහුගේ ඉල්ලීම මත ඔහු ප්‍රථම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වූ ‘ඩොක්ටර් නෝ’ සඳහා පරීක්ෂණයකට ගියේය. ඒ චිත්‍රපටයේ නිෂ්පාදක හැරී සෝල්ට්ස්මන් ඔහුගේ පෞරුෂය ගැන ද, එසේ ම ඔහු වචන උච්චාරණයේ දී ඊට ගැළපෙන ආකාරයට කය චලනය කරන අයුරු ගැන ද, පැහැදුණේ ය. තිර පරීක්ෂණයක් නැතිව ඔහු ඒ චරිතය සඳහා තෝරා ගනු ලැබීය. තිරගත වූ සැණෙන් ඉමහත් ජනප්‍රසාදයට පත් වූ ‘ඩොක්ටර් නෝ’ චිත්‍රපටය එක රැ‍‍යකින් ම ෂෝන් කොනරි ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ම ඔසවා තැබුවේ ය. තමන්ගේ පෞද්ගලිකත්වය අගය කළ, බරසාර පුද්ගලයකු වූ ෂෝන් කොනරි එසැණ ප්‍රසිද්ධියට නොකැමති විය. එහෙත් ඔහු‍ගේ ගමනෙහි ආපසු හැරීමක් නොවීය. 

ෂෝන් කොනරි 1962 -1971 වසරවල ජේම්ස් බොන්ඩ් චරිතය රඟපාද්දී 
භාවිත කළ ඇස්ටන් මාටින් මෝටර් රථය සමග.

1962 සිට 1967 වන තෙක් ඔහු ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පහකට (Dr. No, From Russia with Love, Goldfinger, Thunderball සහ You Only Live Twice) රංගනයෙන් දායක විය. නිරන්තරව සිදු කෙරෙන ප්‍රචාරයත්, තමාට පුද්ගලික ජීවිතයක් නැති වන තරමට ලැබුණු ප්‍රසිද්ධියත් ෂෝන්ට හිරිහැරයක් විය. ඒ නිසා ඒ වන විට වසරකට එකක් බැගින් කළ චිත්‍රපට නිෂ්පාදනය වසර එකහමාරකට එකක් බැගින් කිරීමට ඔහු නිෂ්පාදක ඇල්බට් බ්‍රොකෝලිට යෝජනා කළේ ය. එහෙත් එයින් පලක් නොවීය. සිනමා ලෝලියෝ බොන්ඩ් උන්මාදයෙන් පසු වූහ. ඒ නිසා ඒ නිෂ්පාදනය ඔවුන්ට රන් ආකරයක් බඳු විය. චිත්‍රපට පහක් තැනූ පසු ෂෝන් කොනරි ජේම්ස් බොන්ඩ් චරිතය රඟපෑමෙන් ඉවත් විය. ඊළඟ ජේම්ස් බොන්ඩ් වූයේ දක්ෂ නළුවකු හා ලේඛකයකු වූ ඩේවිඩ් නිවන් ය. ඒ චිත්‍රපටය කැසිනෝ රෝයල් විය. එය ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් පස් දෙනකු යොදා කළ දැවැන්ත නිෂ්පාදනයක් වුවද ෂෝන් කොනරි නොමැති වීම බරපතල අඩුවක් ලෙස කැපී පෙනුනේය. 

ඒ නිසා ඊළඟට ෂෝන් කොනරිට යළිත් ජේම්ස් බොන්ඩ් වීමට සිදු විය. 1971 දී ඔහු රඟපෑම බාර ගත්තේ බොලර් මිලියන 1.25ක් ආදායමෙන් ප්‍රතිශතයක් ලැබෙන පරිදිය. ඒ කාලේ හැටියට එය දැවැන්ත මුදලක් විය. එහි රඟපෑමෙන් පසු ඔහු ලද ඒ මුළු මුදලම ස්කොට්ලන්තයේ තරුණයන්ට අධ්‍යාපනාධාර දීම සඳහා ඔහු විසින් පිහිටුවන ලද විශේෂිත ආයතනයට පරිත්‍යාග කළේ ය. ඒ සමගම යළි ඒ චරිතය රඟ නොපාන බව කියා සිටියේ ය. එහෙත් ඔහුට 1983 දී තවත් බොන්ඩ් චිත්‍රපටයක රඟපෑමට සිදු විය. ඒ Never Say Never Again නම් විය. 

වයස 16 දී නාවික හමුදාවේ සේවය කරද්දී ඒ නිල ඇඳුමින් සැරසී සිටියදී (වමේ) 
1945 තරුණ ෂෝන් කෙනරි (දකුණේ)

මුලින් ම ජේම්ස් බොන්ඩ් චරිතය රඟපාන්නට ෂෝන් කොනරිව තෝරා ගැනීම ගැන ජේම්ස් බොන්ඩ් පොත් පෙළේ නිර්මාතෘ ඉයන් ෆ්ලෙමිං තුළ පැහැදීමක් තිබුණේ නැත. ඒ නිසා මුල දී ඊට විරෝධය පෑ ඉයන් පසුව ඔහු ගැන පැහැදුණු තරම කොතරම් ද කීවොත් ඒ චරිතය ස්කොට්ලන්ත සම්භවයක් ඇති එකක් යැයි පසු නවකතාවල සඳහන් කිරීමට පවා පෙලඹුණේය. ඒ ෂෝන් කොනරිගේ ස්කොට්ලන්ත උපතට ගැළපෙන පරිදි ය. ඒ පමණක් නොව, ඔහු ජේම්ස් බොන්ඩ් පොත්වල කවරවලටත් ඔහුගේ චිත්‍රපට රූප කාය යොදා ගත්තේ ය. 

ෂෝන් කොනරි හැරුණු විට ජේම්ස් බොන්ඩ් චරිතය තවත් නළුවන් හය දෙනෙක් වරින් වර රඟපෑහ. ඩේවිඩ් නිවන්, ජෝර්ජ් ලැසන්බි, රොජර් මුවර්, තිමති ඩෝල්ටන්, පියර්ස් බ්‍රොස්නන් හා ඩැනියල් ක්‍රේග් ඒ හයදෙනායි. ඒ සියලු දෙනාම අබිබවා ෂෝන් කොනරි ඉදිරියෙන් සිටින බව මෑතදී රේඩියෝ ටයිම්ස් කළ ජනමත විචාරණයකට අනුව ෂෝ කොනරි පරමාදර්ශී ජේම්ස් බොන්ඩ් ලෙස තේරී ඔහු සම්මානයට පාත්‍ර වීමෙන් ම පෙනෙයි. ඔහු මේ තත්වයට පත් වූයේ වැඩිම වාර ගණනක් ජේම්ස් බොන්ඩ් චරිතය රඟ පෑ රෝජර් මුවර් ද පරදවමිනි. 

සර් ෂෝන් කොනරි 
1945 දී කිරි බෙදන්නකු ලෙස 15 හැවිරිදි වියේ දී

බොන්ඩ් චිත්‍රපටවලින් ඉවත් වූ ෂෝන් පසුුව ඉතා හොඳින් තෝරා ගෙන විශේෂ චරිත ගණනාවක් ඇතුළත් චිත්‍රපට රැසක රඟපෑවේ ය. ඒ අතරින් ඔහුට ඔස්කාර් සම්මානය හිමි කර දුන් ‘අන්ටචබල්ස්”’ (1987) කැපී පෙනෙන්නකි. පසු කලෙක ඔහු රඟපෑ චිත්‍රපට අතර, ‍ ‘ද නේම් ඔෆ් ද රෝස්’(1986), ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ලාස්ට් කෲසේඩ්’(1989), ‘හන්ට් ෆෝ රෙඩ් ඔක්ටෝබර්’(1990), ‘රයිසින් සන්’ (1993), ‘ජස්ට් කෝස්’ (1995), ‘ෆස්ට් නයිට්’ (1995), ‘ද රොක්’ (1996), ‘ඩ්‍රැගන් හාට්’ (1996), ‘එන්ට්‍රප්මන්ට් (1999), ‘ෆයින්ඩින් ෆොරෙස්ටර්’ (2000) ආදිය ඉන් කීපයකි. 

2011 දී සිනමාවෙන් සමුගත් සර් ෂෝන් කොනරි 2020 නොවැම්බර් 30 දා ජීවිතයෙන් ද සමු ගත්තේ ය. ඒ ඔහුගේ උපන් බිම වූ ස්කොට්ලන්තයේ සිට කිලෝ මීටර් 6.686ක් දුරින් පිහිටි බහමාස් දූපතේ පිහිටි ඔහුගේ ම නිවසේ දී ය. 90 වසර පසුකරමින් සිටි අවසාන කාලයේ රෝගී තත්වයෙන් වරින් වර පීඩා වින්දේය. ඔහුගේ වැඩිමහලු පුත් ජේසන් පැවසුවේ පියා නින්දේදීම අවසන් හුස්ම හෙළුෑ බවයි. අවසන් කටයුතු චාම් ලෙස සිදු කරන අතර මේ වසංගත තත්වය පහවූ පසු අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි. 

1932 දී ඔහුගේ මව හා පියා සමග දෙහැවිරිදි වියේදී.

සර් ෂෝන්ගේ වියෝව ගැන දැනගත් වහාම, බොන්ඩ් චිත්‍රපට මාලාවේ නිෂ්පාදක යුගලය වන මයිකල් ජී. විල්සන් හා බාබරා බ්‍රොකෝලි යන දෙදෙනා ශෝකය පළ කරන පණිවිඩයක් නිකුත් කළහ. ‘සර් කොනරිගේ වියෝව ගැන අසන්නට ලැබී අපි මහත් සේ ශෝකයට පත් වීමු. අපේ මුල් ම ජේම්ස් බොන්ඩ් ලෙස ඔහු අප හැමගේ හදවත් තුළ සදාකල්හිම තැන්පත්ව තිබේ. ඔහුගේ සිනමා ආගමනය සිදු වූයේ නොමැකෙන ලෙස අපේ මතකයේ රැඳී ඇති ඔහු තමන්ව හඳුන්වා ගත් වදන් පෙළ 'The name's Bond... James Bond' (නම ‍බොන්ඩ්...ජේම්ස් බොන්ඩ්)’ නිසා ය. ඔහු ඒ මගින් ජනකාන්ත චරිතයක් ලෝක සිනමාවට එක් කළේ අමරණීය ලෙස ඉතිහාසයට එක් වෙමිනි. ඒ චිත්‍රපට මාලාව සාර්ථක කර ගැනීමට ඔහුගෙන් ලද දායකත්වය නිසැකවම හේතු විය. ඔහුට අපි සදා ණයගැති වෙමු.’ එහි සඳහන් විය. 

වසර 5 දී ඔහු සුනඛ සුරතලා සමග

වසර ‍2000දී බ්‍රිතාන්‍ය මහරැජින ඔහුට නයිට් පදවියකින් උපහාර දැක්වුවා ය. ඊට බොහෝ කලට පෙර ඔහුට හිමිවිය යුතු ඒ සම්මානය පමා වූයේ ඔහු උපන්දේශය වූ ස්කොට්ලන්තයේ නිදහස උදෙසා ඔහු කළ කතා නිසාය. ලෝක සිනමාවේ දශක පනහක රංගන දිවිය තුළ කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ප්‍රසාදය දිනූ ඔහුට ඇමරිකන් සිනමා ඇකඩමි සම්මානය හෙවත් ඔස්කාර් සම්මානය හිමි වූයේ එක් වරක් පමණය. ඒ වර ඔහු තරග කළේ මෝගන් ෆ්‍රීමන් හා ඩෙන්සිල් වොෂින්ටන් සමගයි. බ්‍රිතාන්‍ය සිනමා හා ටෙලිවිශන කලා පිළිබඳ ඇකඩමි සම්මානය හෙවත් බැෆ්ටා සම්මාන දෙකක් ද ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන තුනක්ද ඔහුට හිමි විය. එසේම පාම් ස්ප්‍රිංස් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ‍යාවජීව සම්මානයක් ද ඔහුට හිමි විය. 

ඔහුගේ අභාවය ප්‍රකාශයට පත් වූ වහාම ඔහු ගැන ගුණ ගායනා අන්තර්ජාලය ඔස්සේ ගලා එන්නට විය. ට්වීටර්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස් බුක්, මැසෙන්ජර් ආදි හැම එකකින් ම ඒ පණිවිඩ ගලා ආවේ ය. ඒ අය අතර ලෝක ප්‍රකට ගායක එල්ටන් ජෝන්, යෝක්හී ආදිපාදවරිය සාරා ෆර්ගියුසන්, චිත්‍රපට අධ්‍යක්ෂ එඩ්ගා රයිට්, ස්ටාට්‍රෙක් නළු විලියම් ෂැට්නර්, නව ජේම්ස් බොන්ඩ් ඩැනියල් ක්‍රේග් ඇතුළු දහසක් දෙනා වූහ. 

2001 දී ග්‍රීසියේ ඇතන්ස් නගරයේ ඇතිනායිස් කලාගාරයේ පැවති 
ඔහුගේ බිරිඳ වූ මිචලීන් රොකීබෲන්ගේ සිතුවම් දැක්ම 
විවෘත කළ අවස්ථාවට සහභාගි වෙමින්

ස්ක‍ොට්ලන්තයේ හිටපු ප්‍රධාන ඇමති ඇලෙක් සැමන්ඩ් ද සිය ශෝකය පළ කිරීමට එක් විය. ඔහුගේ අනුප්‍රාප්තිකා නිකොලා ස්ටූජන් කීවේ, ‘අපේ ස්කොට්ලන්ත භූමියට ආදරය කරන දරුවන් අතරින් විශිෂ්ටතමයා වූ, සර් ෂෝන්ගේ අභාවය ගැන අපේ සමස්ත ජාතියම ශෝකයට පත්ව සිටිනවා. ඔහු විශ්ව පුරුෂයෙක්, ජාතියේ අභිමානයක් ලෙස සැලකිය හැකි ස්කොට් ජාතිකයෙක්, ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව 1999 දී ආරම්භ වූ අවස්ථාවේ ඔහු ඊට සහභගි වී අපේ ජාතියට ගෞරවයක් ලබා දුන්නා.’කියා ය. 

සර් ෂෝන් කොනරි දිලිඳු දරුවකු ලෙස ඉපිද, නව හැවිරිදි වියේ දී පාසල හැරගොස්, නිසි අධ්‍යාපනයක් නොලැබ, ඉමහත් කැපවීමෙන් යුතුව, සමාජය තුළින් ලද අත්දැකීම් මත ස්වෝත්සාහයෙන් ම, ඉගෙන ගනිමින්, ලෝකය ජය ගෙන මිනිසකුට යා හැකි ඉහළ ම තැනකට පත් වෙමින්, කීර්තියත්, ධනයත්, දැනුමත් ලබා ගෙන ඔහු ආ ගමනට සමාන ගමනක් ආ තවත් අයෙක් ලොව නැති තරම් ය. ඔහු මියයන විට ඔහුගේ වත්කම ඩොලර් මිලියන 350ක් ලෙස දක්වා ඇත. 

හද සසල කරවන ඒ ප්‍රකාශ සමග ඔවුහූ තමන් වෙත සුරැකිව තබා ගෙන තිබූ ෂෝන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප ද අන්තර්ජාලයට මුදා හැරියහ. ෂෝන්ගේ ඉතා දුර්ලභ ඡායාරූප රාශියක් ඒ අනුව එළි දැක්වුණු අතර එවැනි දෙයක් අන්තර්ජාලය ඔස්සේ සිදු වූ පළමු වතාව මෙයයි. ඒ ඡායාරූප අතරින් තෝරා ගත් කීපයක් ඔබේ පහන් සංවේගය උදෙසා මේ සමග පළ කරන්නෙමු. 

- පර්සි ජයමාන්න 

1988 දී ‘අන්ටචබල්’චිත්‍රපටයට ඔහු ඔස්කාර් සම්මානයෙන් පුද ලද මොහොත

‘අන්ටචබල්’චිත්‍රපටය සඳහාම ඔහු ලද බැෆ්ටා සම්මානය

ෂෝන් කෙනරිට හොඳම සහය නළුවාට පිරි නැමෙන ඔස්කාර් සම්මානය හිමි වූ 1987 දී ඔහු රඟපෑ ‘අන්ටචර්බල්ස්’ චිත්‍රපටයේ ජවනිකාවක කෙවින් කොස්ට්නර් සමග.

ඇල්ෆ්‍රඩ් හිච්කොක් අධ්‍යක්ෂණය කළ ‘මානී’ (1964) චිත්‍රපටයේ මානී එඩ්ගා ලෙස රඟපෑ ටිපි හෙඩ්‍ර්න් සමග ෂෝන් කොනරි රඟපෑ ජවනිකාවක්.

Post a Comment

0 Comments