HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක පාපන්දු පිටියේ ‘රන්තරුව’ මැරඩෝනා 60 දී මියයයි!

බ්‍රසීලයේ පේලේ හැරුණු විට ලොව විශිෂ්ටතම පාපන්දු තරුව ලෙස සැලකෙන ආජෙන්ටිනාවේ දියේගෝ මැරඩෝනා 2020 නොවැම්බර් 25 දා මෙලොවින් සමු ගත්තා. එය මුළු ලොව පුරා පාපන්දු ලෝලීන් කම්පනයට පත් කළ පුවතක් වුණා. මැරඩෝනාගේ අභාවය ගැන සැලවීමත් සමග පාපන්දු ලෝලීන් දසදහස් ගණනින්, ආජෙන්ටිනාවේ බුවෙනෝස් අයර්ස් (Buenos Aires) නගරයටත්, ඉතාලියේ නාපොලි (Naples) නගරයටත්, රැස්වී ශෝකය පළ කළා. ආජෙන්ටිනාවේ ජනාධිපති දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා. යුරෝපය පුරා පසුගිය බදාදා රාත්‍රියේ පැවති චැම්පියන් ලීග් තරග ආරම්භයේ දී මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයකින් සමස්ත යුුරෝපයම මැරඩෝනාට ගරු කළා. රාජ්‍ය නායකයන්, ලෝක ප්‍රකට ක්‍රීඩකයන්, නළු නිළියන්, පමණක් නොව පාප් වහන්සේ පවා ටිවිටර් පණිවිඩ නිකුත් කරමින් ශෝකය පළ කළා.

පාපන්දු ලෝකයේ පුරාවතක් ලෙස හැඳින්වෙන මැරෝඩානා 60 හැවිරිදි වියේ දී

දියේගෝ ආමන්ඩෝ මැරඩෝනා උපන්නේ 1960 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා ආජන්ටිනාවේ බුවෙනෝස් අයර්ස් නගරයේ පැල්පත් ප්‍රදේශයේ නිවාසයකයි. අන්ත දිළිඳු බව නිසා මැරඩෝනාගේ කුඩා කාලය කඳුළින් පිරි එකක් වුණා. ඔහුගේ පියා ඉදි කිරීම් කම්කරුවෙක්. මව රැකියාවක් කළේ නැහැ. ඔහුට අක්කලා හතර දෙනෙක්, මල්ලිලා දෙදෙනෙක් හා නැඟනියක් සිටියා. දිළිඳු බවේ පතුලේම සිටි ඔවුන් යාන්තම් බඩගිනි නිවා ගත්තේ පියා දෑතේ සවියෙන් එදිනෙදා ගෙනා සොච්චම් මුදලෙනුයි. බරපතල පවුලක වැඩිමල් පිරිමි දරුවා වශයෙන් උපන් පුංචි මැරෙඩෝනා කුඩා වියේ සිටම සිහින මවමින් උන්නේ පවුලේ බර කරට ගැනීම ගැනයි. ඔහු අඩු වයසින් ම වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු ලෙස නගරයේ පාපන්දු කණ්ඩායමකට බැඳුණේ ඒ නිසයි. 

මැරඩෝනාගේ අභාවය සැලවූ විගස ආජෙන්ටිනාවේ බුවෙනෝස් අයර්ස් නගරයට ලෝලීන් රැස් වූ ආකාරය.

‘අපේ පවුලේ දරු පිරිස වැඩියි. ඒ නිසා අපේ අම්මාට හැමදාම අපි කෑම කන වෙලාවට බඩේ අමාරුවක් හැදෙනවා. මට අවුරුදු 13ක් වෙන කොට තමයි මට තේරුම් ගියේ, ඒක කෑම අඩුකම නොපෙන්නා, අපට හැකි තරම් කවන්න අම්මා කරපු උපායක් බව. ජීවිතේටම බඩේ කැක්කුමක් නොතිබුණු අපේ අම්මාට අපට කවලා උස්මහත් කරන්න ලොකු ඕනෑකමක් තිබුණා. ඒ නිසයි මා තුළ අම්මා ගැන ලොකු ආදරයක් හා ගෞරවයක් තියෙන්නෙ.’ මැරඩෝනා අම්මා ගැන කියන්නේ එහෙමයි. 

ඔහුගේ තුන් වැනි උපන් දිනය දා නෑදෑයකුගෙන් තෑග්ගට ලැබුණු පාපන්දුව, ඔහුගේ ජීවිතය නොසිතූ නොපැතූ දුරකට ඔහුව ගෙන ගියා. අවසානයේ දී පාපන්දුවෙන් පෑ දස්කම් නිසා ඔහු, ලෝක පූජිත පාපන්දු තරුව ලෙස නම් දරා සිටි බ්‍රසීලයේ පේලේ සමග, ‘සියවසේ පාපන්දු ක්‍රීඩකයා’ ලෙස 2000දී සම සම්මාන ලබන්නට සමත් වුණා. මැරඩෝනා පිටියේ ක්‍රීඩා කළ ‘අංක 10 ජර්සිය’ ලොව වැඩිම අළෙවියක් වාර්තා කළ ටීෂර්ටය වුණා. 

මැරඩෝනා ඔහුගේ මව සහ පියා සමග 1980 දී

1986 පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට හිමිකරදීමේ ගෞරවය හිමිවන්නේ මැරඩෝනාටයි. එහිදී ඔහු පෙන්වූ දස්කම් සදා අමරණීයයි. සිය උපන් රට වන ආජන්ටිනාවේ තිග්‍රේ නුවරදී මැරඩෝනා දිවියෙන් සමුගත්තේ මොළයේ සැත්කමකට භාජනය වීමෙන් පසු හදිසියේ හටගත් හෘදයාබාධයකිනි. දිවියෙන් සමුගනිද්දී දියේගෝ මැරඩෝනා 60 හැවිරිදි වියෙහි පසුවිය. මැරඩෝනාට දරු දැරියෝ පස් දෙනෙකි.  

ලතින් ඇමෙරිකානු රටක් වූ ආජන්ටිනාවේ ජාතික ක්‍රීඩාව පාපන්දු නොවුණත්, ආජන්ටිනා වැසියන් බෙහෙවින් ආදරේ කළේ පාපන්දු ක්‍රීඩාවටයි. එරට ජාතික ක්‍රීඩාව වූ පොටෝ අසුන් පිට යමින් කරන්නක් නිසා එය ධනවතුන්ට සීමා වූ එකක් වුණා. පහළම දුප්පතුන් අතරින් බිහි වූ මැරඩෝනා කුඩා කාලයේ පටන් සුවිශේෂ දස්කම් දැක්වූයේ පාපන්දු ක්‍රීඩාවටයි. මැරඩෝනා 9 හැවිරිදි වියේ දී පැල්පත් ගම්මානයේ ‘ලිට්ල් ඔනියන්’ නම් ළමුන්ගේ ක්‍රීඩා සමාජයකටයි. ඔහුගේ සුපිරි දක්ෂතා නිසා වැඩි කල් නොගොස් එහි නායකත්වය ඔහුට ලැබුණා. ඒ ක්‍රීඩා සමාජයට ගෝල් 140ක් දිනා දුන්නා. ඔහු දක්ෂතා ගැන පුවත්පතක ලිපියක් පළ වුණා. ‘අනාගතයේ ක්‍රීඩා තරුවක් විය හැකි දක්ෂ දරුවෙක්!’ ඒත් ඔහුගේ නම වැරදියටයි සඳහන් වූයේ, ‘කරඩෝනා’ කියලා. ඒ නිසා ඔහුට 12 හැවිරිදි වියේ දීම සෙබොලිටාස් ක්‍රීඩා සමාජයට එක් වීමට අවස්ථාව ලැබුණා. ඒ සඳහා පළමුවරට ගෙවීමකුත් ලැබුණා. ඔහු එහිදීත් ගොල් 136ක් රැස් කළා. එයින් ඔහුට ආජෙන්ටිනා කනිටු පාපන්දු පිලට එක්වීමට වරම් ලැබෙනවා. ඔහුගේ නියම වෘත්තීය ජීවිතය පටන් ගත්තේ එතැනින්. ඒ වන විට ඔහු 15 හැවිරිදියි. 

මැරඩෝනා සිය දකුණු බාහුවේ පච්ච කොටා ගෙන ඇති චේ ගවේරා සිරස පෙන්වන අවස්ථාවක්.

1979 වසරේ පැවති වයස අවුරුදු 20 න් පහළ පාපන්දු ලෝක කුසලානයේ දී හොඳම ක්‍රීඩකයා සම්මානය හිමිකරගැනීමට මැරඩෝනා සමත් වුණා. 1981 දී ඔහු ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක මුදලකට, ආර්ජන්ටිනෝස් ජූනියර්ස් කණ්ඩායම හැර දමා බොකා ජූනියර්ස් කණ්ඩායමට එක් වුණා. බොකා ජූනියර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින්, ආජන්ටිනා ලීග් පාපන්දු කුසලානය දිනා ගැනීමට හැකිවූයේ මැරඩෝනාගේ දස්කම් නිසයි. 

මැරඩෝනා පන්දුව ගෙන ගියේ අමුතුම විධියකටයි. සුවිශේෂ ආකාරයකින් ප්‍රතිවාදියා අතට පන්දුව යා නොදී හෙමින් හෙමින් වෙට්ටු දමමින් පන්දුව ගෙන යාමට ඔහු දැක්වූයේ වෙනත් කිසිම ක්‍රීඩකයකු නොදැක්වූ හැකියාවක්. ඉතා නිවැරදිව පන්දුව පාස් කරන්නත්, ගෝල එල්ල කිරීමට අනිත් අය එක් කර ගැනීමට තරම් දැක්වූ කුසලතාවත්, ඔහු‍ගේ විශිෂ්ට පා හැසිරවීමත් පුවත්පත්වල ක්‍රීඩා විචාරකයන්ගේ පැසසුමට ලක් වුණා. 

මැරඩෝනා 1995 දී රයෝ ඩි ජනීරෝ නගරයේ දී ලෝක ශූර පේලේ හමු වූ මොහොත විවේකීව...

1982 දී පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූ සත්කාරක රට වූ ස්පාඤ්ඤයේයි. මැරඩෝනා සහභාගී වූ ප්‍රථම පාපන්දු ලෝක කුසලානය මෙය වූ අතර, එවකට ආජන්ටිනාවේ සහ ලතින් ඇමෙරිකාවේ පාපන්දු ක්‍රීඩකයන් අතරේ පමණක් ජනප්‍රිය චරිතයක් වූ මැරඩෝනා ලෝකය පුරා පාපන්දු ලෝලීන්ගේ අවධානයට ලක් වූයේ මෙම පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙනුයි. ආජන්ටිනා කණ්ඩායම තරග පහකට ක්‍රීඩා කළ අතර, එහිදී මැරඩෝනා දැක්වූ දස්කම් ක්‍රීඩාලෝලීන් හා විචාරකයන් මවිතයට පත් කිරීමට සමත් වුණා. 

ඉතාලිය සමඟ පැවැති තරගයේදී, ඉතාලි ක්‍රීඩකයන් මැරඩෝනාට 23 වතාවක් නීති විරෝධී බාධා කිරීම් සිදුකළ බවට වාර්තා වෙනවා. පාපන්දු ලෝක කුසලාන එක් තරඟයක දී එක් ක්‍රීඩකයෙකුට එරෙහිව කරන ලද වැඩිම නීති විරෝධී බාධා කිරීම් ගණන මෙය ලෙස සැලකෙනවා. මැරඩෝනා පිටිය පුරා විදුලි වේගයෙන් දිව ගියේ පන්දුව පාදයේ අලවා ගෙන වගෙයි. පිටියට ගිය පසු පාපන්දුව ඔහුගේ ඇඟ‍ෙහිම කොටසක් වුණා. විටෙක පාපන්දු ලෝලයන්ට පෙනුනේ කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ මැරඩෝනා පමණක්ය කියායි. ‘පිටියට ගියාම මට සියල්ල අමතක වෙනවා. ජීවිතයත් අමතක වෙනවා. මට පෙනෙන්නේ පන්දුව විතරයි.’ මැරඩෝනා සිය තරඟ රටාව ගැන කීවේ එහෙමයි. 

<මැරඩෝනා 1984 දී විවාහ වුනත් ලොකු දියණියගේ 
ඉල්ලීම උඩ යළිත් විවාහ උළෙලක් පැවැත් වූ අවස්ථාව

ස්පාඤ්ඤයේ පැවති ලෝක කුසලානයෙන් පසු, මැරඩෝනාගේ සුවිශේෂී දක්ෂතා හඳුනාගත්, ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම ඇමරිකානු ඩොලර් මිලියන 9.81 ක මුදලකට ඔහු එම කණ්ඩායමට බඳවා ගත්තා. මැරඩෝනා වෙනුවෙන්, බොකා ජූනියර්ස් කණ්ඩායමට, ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම දුන් එම මුදල එවකට පාපන්දු කණ්ඩායම් දෙකක් අතරේ ක්‍රීඩකයෙකු හුවමාරු කර ගැනීමට ගෙවන ලද වැඩිම මුදල ලෙස සැලකෙනවා. 1983 දී බාර්සිලෝනා කණ්ඩායමට ජයග්‍රහණ රැසක් අත්පත් කර දීමට මැරඩෝනා සමත් වුණා. මැරඩෝනා වසර දෙකක් ස්පාඤ්ඤ බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, තරග 58 කදී ගෝල 38 ක් වාර්තා කළා. 

1984 වසරේ දී ඉතාලියේ නාපෝලි කණ්ඩායමට මැරඩෝනා එක් වූයේ ඩොලර් මිලියන 10.5කටයි. මැරඩෝනාගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේ මෙයයි. නාපෝලි ක්‍රීඩකයකු ලෙස, බැඳී මැරඩෝනා පළමු වරට නාපෝලි ක්‍රීඩාංගනය වෙත පැමිණි අවස්ථාවේ, 75,000 කට අධික ක්‍රීඩාලෝලීන් පිරිසක් ඔහු පිළිගැනීමට ක්‍රීඩාංගනයට රැස්ව ප්‍රීතිඝෝෂා පවත්වමින් ඔල්වරසන් දෙන්නට වුණා. නාපෝලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිද්දී, ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයා ලෙස මැරඩෝනා 1986 ලෝක කුසලානයටත් සහභාගී වුණා. 1986 ලෝක පාපන්දු ලෝක කුසලානය පැවැත්වූයේ මෙක්සිකෝවේදියි. මැරඩෝනා පිළිබඳව පාපන්දු ලෝලීන්ට නොමැකෙන මතක ඉතිරි කළ ලෝක කුසලානය මෙයයි. ඒ, තරගාවලිය පුරාම සිය අණසක පැතිරවීමට මැරඩෝනා සමත් වූ නිසයි. 

1986 ලෝක කුසලාන තරගාවලියේ දී මැරඩෝනාගේ අතේ ගෑවෙමින් ගිය ගෝලය

උරුගුවේ කණ්ඩායම පරාජය කළ ආර්ජෙන්ටිනා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයට තේරුණා. අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වූයේ ආජන්ටිනාව සහ එංගලන්තය අතරයි. 1986 වසරේ ජූනි මස 22 වැනි දා මෙක්සිකෝ සිටි නගරයේ ඇස්ටෙකා ක්‍රීඩාංගනයේ පැවති ආර්ජෙන්ටිනාව සහ එංගලන්තය අතර එම අර්ධ අවසාන තරගය මැරඩෝනාව පාපන්දු ක්‍රීඩකයකු ලෙස අමරණීය තත්වයට ඔසවා තැබුවා. මේ වන විට ආර්ජෙන්ටිනාව සහ මහා බ්‍රිතාන්‍යය අතර ෆෝක්ලන්ඩ් දූපත් වෙනුවෙන් පැවති යුද්ධය නිසා සිදු වූ හානිය හේතුවෙන් දෙරට අතර විරසකයක් හට ගෙන තිබුණා. ඒ නිසා ආර්ජෙන්ටිනාව සහ එංගලන්ත කණ්ඩායම පාපන්දු පිටියේ මුහුණට මුහුණ හමුවීම යුද ගැටුමකට නොදෙවැනි වුණා. තරගයේ ප්‍රථම භාගයේ දී කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි වුණා. 

මැරඩෝනා මොළයේ ලේ ගැලීමක් නිසා පසුගියදා සැත්කමක් කිරීමට රෝහල් ගත කළ අවස්ථාව.වයස 60 පිරුණු මැරඩෝනා ඔහු මොළේ සැත්කමින් පසු ගත් මේ ඔහුගේ අවසාන ඡායාරූපයයි

තරගයේ දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 6 කින් මැරඩෝනා ගෝලයක් වාර්තා කළා. මෙම ගෝලය සුවිශේෂී එකක්. මැරඩෝනා එම ගෝලය වාර්තා කළ වේගය නිසා ඔහුගේ අත පාපන්දුවේ වැදුණු බව සහය විනිසුරු දුටුවේ නැහැ. ඔහු සංඥා නොකළ නිසා ප්‍රධාන විනිසුරුවරයා එය ගෝලයක් ලෙස නම් කළා. තම අත වැදුණු බව දැනුනත් මැරඩෝනා ඒ බව කීවේ නැහැ. පසුව ඔහු එය ‘දෙවියන්ගේ අතින් ලබා දුන් ගෝලයක්’ ලෙස හැඳින්වුවා. ඒ ගෝලය සම්බන්ධයෙන් එංගලන්ත කණ්ඩායම විරෝධය පළ කළත්, විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කළා. කෙසේ නමුත් එම ගෝලය වාර්තා කළ පසු, මැරඩෝනා තරගයේ 55 වැනි මිනිත්තුවේදී, පිටියේ එක් කෙළවරක සිට, එංගලන්ත ක්‍රීඩකයින් අබිබවමින් පන්දුව සමඟ දිවවිත් යළිත් වරක් ගෝලයක් ලබා ගත්තා. එය පාපන්දු ඉතිහාසයේ පමණක් නොව, මැරඩෝනාගේ ක්‍රීඩා දිවියේත් අනුස්මරණීය මතක සටහනක් වුණා. විශිෂ්ට ගෝලයක් ලෙස සැලකෙන මෙය හැඳින්වෙන්නේ ‘සියවසේ ගෝලය’ කියායි. ඒ තරගය ජයගත් ආජන්ටිනාව, අවසන් පූර්ව වටයට පිවිසුණේ එංගලන්තය තරගාවලියෙන් ඉවත්කරමිනුයි එය එක් අතකින් යුද පරාජයෙන් දුකට පත් ආජන්ටියානුවන්ට මිහිරි පළිගැනීමක් වුණා. 

අවසන් පූර්ව වටයේ තරගයේ මැරඩෝනා ද්විත්ව ගෝල ලබා ගැනීමත් සමඟ බෙල්ජියම සමඟ තරගය ජයග්‍රහණය කිරීමට ආජන්ටිනාව සමත් වුණා. 1986 ජූනි 29 වැනිදා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ බටහිර ජර්මනිය සහ ආජන්ටිනාවයි. අවසන් මහා තරඟය 3-2 ක් ලෙස ජය ගත් ආජන්ටිනා කණ්ඩායම 1986 පාපන්දු ලෝක ශූරයින් වුණා. තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන රන් පන්දුව හිමිකරගැනීමට මැරඩෝනා සමත්වුණා. අවුරුදු 20 න් පහළ පාපන්දු ලෝක කුසලානයක දී සහ පාපන්දු ලෝක කුසලානයක දී තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලද ප්‍රථම ක්‍රීඩකයා වූයේ ද දියේගෝ මැරඩෝනායි. 

පාවුලු පාප්වහන්සේ මැරඩෝනා වැළඳගත් අවස්ථාව 2014 වතිකානුවේදී

1986 සහ 87 වසරවලදී, නාපෝලි කණ්ඩායම වෙනුවෙන් සිය සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කළ මැරඩෝනා ඉතාලියේ ලීග් ශූරතාව නාපෝලි කණ්ඩායමට හිමිකරදීමට සමත් වුණා. 1988 සහ 89 යුරෝපා පාපන්දු සම්මේලනයේ කුසලානයත්, 1990 වසරේ දී ඉතාලි සුපර් කප් ශූරතාවත්, නාපෝලි කණ්ඩායමට හිමිකරදීමට මැරඩෝනා මූලිකත්වය ගත්තා. 1990 වසරේ ඉතාලියේ පැවති පාපන්දු ලෝක කුසලානයේ දී ද මැරඩෝනා ආර්ජෙන්ටිනා කණ්ඩායම අවසාන මහා තරඟය දක්වා මෙහෙයව්වා. කෙසේ නමුත්, වළලුකරෙහි ඇතිවුණු ආබාධ තත්ත්වය හේතුවෙන් සුපුරුදු ක්‍රීඩා විලාසය පෙන්නුම් කිරීමට මැරඩෝනාට හැකි වුණේ නෑ. 16 දෙනාගේ වටයේදී, බ්‍රසීලයට එරෙහිව ගෝලයක් රැස් කිරීමටත්, අවසන් පූර්ව වටයේ දී ඉතාලියට එරෙහිව අතිරේක කාලයෙන් පසු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමටත් මැරඩෝනා සමත් වුණා. 1990 ජූලි 8 වැනිදා බටහිර ජර්මනියට එරෙහිව පැවති අවසාන මහා තරගයෙන් ආජන්ටිනාව පරාජය වුණා. 

1990 ලෝක කුසලානයෙන් පසු මැරඩෝනාට යළි සුපුරුදු හපන්කම් දැක්වීමට නොහැකි වුණා. ඔහුට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. එසේ ම නොයෙක් පෞද්ගලික ප්‍රශ්නවලදට මුහුණ පෑමට සිදුවුණා. 1992 දී, මැරඩෝනා නාපෝලි කණ්ඩායමෙන් ඉවත් වී, ස්පාන් සෙවීයා කණ්ඩායම හා එකතු වුණා. මැරඩෝනා නාපෝලි කණ්ඩායම වෙනුවෙන් කළ මෙහෙවර අදටත් ඉතාලියේ නාපෝලි වැසියන්ට අමතක වී නැහැ. මැරඩෝනාගේ වියෝව දැනගත් විට ඔවුන් මහත් කම්පනයට පත් වූයේ ඒ නිසායි. මැරඩෝනාගේ ප්‍රතිමා, පෝස්ටර්, ඇඳුම්, තොප්පි ආදිය තවමත් නාපෝලි නගරයේ ප්‍රදර්ශනය කෙරෙනවා. නාපෝලි කණ්ඩායම වෙනුවෙන් තරග 188 කට සහභාගී වෙමින්, ගෝල 81 ක් වාර්තා කිරීමට මැරඩෝනා සමත්වුණා. නාපෝලි කණ්ඩායම වෙනුවෙන් දෙවැනි වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා මැරඩෝනායි. 

මැරඩෝනා 1986 ලෝක කුසලාන සමග

1993 දී ආර්ජෙන්ටිනාවේ නෙවෙල්ස් ඕල්ඩ් බෝයිස් පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා මැරඩෝනා ගිවිසුම් අත්සන් කළා. 1995 දී මැරඩෝනා යළි බොකා ජූනියර්ස් කණ්ඩායමට එක් වුණා. බොකා ජූනියර්ස් කණ්ඩායමට ජයග්‍රහණ කීපයක් අත්පත් කර දීමට ඔහු සමත් වුණා. ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරද්දීම, 1994 සහ 1995 වසරවල කණ්ඩායම් දෙකක පුහුණුකරු ලෙසින් ද මැරඩෝනා කටයුතු කළා. 1994 පාපන්දු ලෝක කුසලානයේ දී මැරඩෝනා තහනම් උත්තේජක චෝදනා ලැබුවා. ආර්ජෙන්ටිනා කණ්ඩායම වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළේ තරග දෙකකට පමණයි. නොයෙක් හැල හැප්පීම් මැද දියේගෝ මැරඩෝනාගේ පාපන්දු ක්‍රීඩා දිවිය 1997 දී අවසන් කළා. පාපන්දු ලෝකයේ අසමසම පාපන්දු තරුව මෙසේ 1997 දී ක්‍රීඩාවෙන් සමුගත්තා. 

සුපිරි ක්‍රීඩකයකු ලෙස පාපන්දු ලෝලීන්ගේ ආදරයටත් ගෞරවයටත් පත් දියේගෝ මැරඩෝනා 2008 දී යළි පාපන්දු ක්‍රීඩාවට අවතීර්ණ වුණා. ඒ, ආජන්ටිනා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙසයි. 2010 පාපන්දු ලෝක කුසලානයේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා ආජන්ටිනා කණ්ඩායම පැමිණියා. කෙසේ නමුත් ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී ජර්මනිය හමුවේ පරාජය වුණා. 2011 දී එක්සත් අරාබි එම්රේට්ස් රාජ්‍යයේ අල්-වස්ල් පාපන්දු ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස ද මැරඩෝනා කටයුතු කළා. ඉන්පසු 2019 තෙක් අරාබි එම්රේට්ස් රාජ්‍යයේ අල්-ෆූජයිරා ක්‍රීඩා සමාජයේ පුහුණුකරුලෙස කටයුතු කළා. විසි වසරකට වැඩි කාලයක් පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ දක්ෂතා වෙනුවෙන් 2000 දී අන්තර්ජාතික පාපන්දු සංගමය, ‘සියවසෙහි පාපන්දු ක්‍රීඩකයා’ ලෙසින් බ්‍රසීලයේ පේලේ හා මැරඩෝනා සම සමව නම් කරමින්, ඔවුන් ඇගැයීමට ලක් කළා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments