HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කට සෝදා හැර කොවිඩි -19 පරදවන නව ක්‍රමයක්!

එක්සත් රාජධානියේ ඖෂධ නිෂ්පාදන සමාගමක් කෝවිඩ්-19ට එරෙහිව ආරක්ෂක පියවරක් ලෙස භාවිත කළ හැකි මුඛ ශෝධන දියරයක් නිපදවා තියෙනවා. ‘ඩෙන්ටිල්’ යනුවෙන් හඳුන්වා ඇති මේ දියරයෙන් තත්පර 30කින් මුව තුළ ඇති වයිරස් විනාශ කළ හැකි යැයි කාඩිෆ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කියනවා. 

‘ඩෙන්ටිල්’ යනුවෙන් හඳුන්වා ඇති මේ නව මුඛ ශෝධන දියරය.

ඒ පර්යේෂකයන් කියන විධියට මේ මුඛ ද්‍රාවණයට යොදා ඇත්තේ සෙටිපිරිඩිනියම් ක්ලෝරයිඩ් (cetypyridinium chloride) නම් රසායනිකයෙන් සියයට 0.07ක ප්‍රමාණයක් විතරයි. එම මාත්‍රාව මුඛයේ කෙළවල වයිරස වැඩීමේදී වැඩි වර්ධනයක් ඇති කරන ප්‍රදේශයේ වයිරස සාන්ද්‍රණය බොහෝ සේ අඩු කිරීමට ප්‍රමාණවත් වෙනවා. 

ලබන සතියේ සිට එය සති 12ක ශායනික පරීක්ෂණයකට ලක් කෙරෙනවා. ඒ පරීක්ෂණය මෙහෙයවන්නේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් තෝමස් විසිනුයි. ‘මෙම මුඛ ශෝධක ද්‍රාවණය රසායනික පරීක්ෂණවල දී වයිරසය විනාශ කරන්නට ඉතා සාර්ථකව සමත් වූ අතර, ශායනික පරීක්ෂණවලින් අපි අපේක්ෂා කෙරෙන්නේ එය සැබැවින්ම මුඛයේ දී ක්‍රියා කරන ආකාරය සොයා බැලීමයි.’

මේ පරීක්ෂණය සඳහා ඔවුන් කාඩිෆ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ නේවාසික රෝගීන් යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙයින් රෝගයේ සංක්‍රාමික තත්වයන් විමසා බැලීමක් සිදු කෙරෙන්නේ නැහැ. මුඛ සේදීමේදී වරක් පාවිච්චි කළ පසු කොපමණ වයිරස අඩුවීමක් සිදු වෙනවා ද මෙහි රසායනික ගුණය කොපමණ වේලාවක් මුඛය තුළ රැඳී පවතිනවා ද කියා විමසා බැලීමක් තමයි අප සිදු කරන්නේ.’ මහාචාර්යවරයා කියනවා. 

මේ දියරයෙන් තත්පර 30කින් මුව තුළ ඇති වයිරස් විනාශ කළ හැකියි.

කාඩිෆ් විශ්ව විද්‍යාලයේ වයිරස වේදය පිළිබඳ මහාචාර්යවරයකු වූ ද, මෙම අධ්‍යයනයේ ප්‍රධානියා වූද ආචාර්ය රිචඩ් ස්ටැන්ටන් කියන්නේ, ‘කොරෝනා වයිරස වෙනත් වයිරස හෝ බැක්ටීරියා මෙන් නොව ඒවායේ ඇති ආරක්ෂක පටලයක් නිසා සාමාන්‍ය මුඛ ශෝධන ද්‍රවයකින් විනාශ කිරීම අපහසු නිසා පවත්නා තත්වයන් යටතේ මේ විශේෂ දියරයෙන් එය කෙතෙක් දුරට ප්‍රබලව කළ හැකි වේදැයි විමසා බැලෙන බවයි’ 

‘මිනිසාගේ උගුර තුළ මේ වයිරසය අඛණ්ඩව වර්ධනය කෙරෙන නිසා මේ දියරයෙන් කට සේදූ පසු එය බලපෑමක් සිදුවුවහොත් එය කොපමණ වේලාවක් රඳා පවතීද යන්නත් සොයා බැලෙනවා. එසේම වයිරසයේ සංක්‍රමණයට කොයි ආකාරයේ බලපෑමක් සිදු කරාවිදැයි කියාත් සොයා බලනවා. නිදසුනක් වශයෙන් දන්ත පරීක්ෂාවේදී, මුඛය හා උගුර පරීක්ෂාවේ දී වෛද්‍යවරුන්ට ඇති වන අවදානම මේ මුඛ ශෝධකය මගින් වළක්වා ගත හැකිද යන්න විමසීම මේ අධ්‍යයනයෙන් අපේක්ෂා කෙරෙනවා.’ 

සාමාන්‍ය දත් හා මුව ශෝධන දියරයන්ට ඇතුළත් වන ක්ලෝරෙක්සිඩයින්, සෙටිපිරිඩිනියම් ක්ලෝරයිඩ්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හා පොවිඩෝන්-අයඩීන් වැනි රසායනිකයන් හැම එකක් ම ආසාදනයන් වළක්වා ලීමට උපකාරී වන නිසා විශේෂ දියරයත් එසේම ප්‍රයෝජනවත් වෙතැයි දන්ත වෛද්‍යවරුන් බලාපොරොත්තු වෙනවා. 

මේ මගින් වයිරසය තුරන් කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ. මෙයින් සිදු වන ප්‍රධානම මෙහෙය වන්නේ රෝග වාහකයන්ගේ මුව තුළ වයිරස සාන්ද්‍රණය අඩු කොට තවත් අයට රෝගය පැතිරීමට ඇති ඉඩ කඩ අඩු කිරීමයි. එසේ ම රෝගීන් පරීක්ෂාවේ දී වෛද්‍යවරුන් ළඟට යාමට පෙර මෙම මුඛ ශෝධක දියරය ලබා දීමෙන් ඔවුන්ට බියක් සැකක් නැතිව රෝග පරීක්ෂාවට ඉඩ ලැබෙනවා. මෙය 2021 වසරේ මුලදී පමණ භාවිතය සඳහා ජනතාව අතරට පත්කිරීමට නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා. 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments