HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අක්ෂි දෝෂ හඳුනාගත හැකි නව නිපැයුමක් කළ 12 හැවිරිදි ඉෂානා

කොවිඩ්-19 වසංගතය හමුවේ සමාජයේ කටයුතු අඩාලව තියෙද්දී මෙවර ඇමරිකාවේ නැගී එන යොවුන් නිර්මාණකරුවන් තේරීමේ තරගය මෙවර පැවැත්වූයේ අන්තර්ජාලය හරහායි. ගණිතය, ව්‍යවහාරික විද්‍යාවන්, තාක්ෂණය හා ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් දක්ෂයන් තේරීම සඳහායි මේ තරගය පැවැත්වුණේ. මේක සංවිධානය කළේ සුපුරුදු පරිදි Society for Science and Public's Broadcom MASTERS මගින්. 
නිව්යෝක් සිටිහි චප්පාකුවාවල සිටි පැමිණි ඉෂානා කුමාර්, ඇගේ නව නිර්මාණය සමග.

එක්සත් ජනපදය පුරා ජනපද 42කින් හා පුවර්ටෝ රිකෝ රාජ්‍යයෙන් ඊට එක් වූ ළමුන්ගේ ව්‍යාපෘති 3,476ක් මෙවර සම්මාන සඳහා සලකා බලනු ලැබුවා. එයින් අවසාන වටයට 30 දෙනෙකු තෝරා ගෙන ඔවුන්ට ඒ සඳහා සභාගිවීමට ආරාධනය කර තිබුණා. ඉෂානා තමයි අවසානයේ මෙහි ප්‍රධාන සම්මානයට හිමිකම් පෑවේ. ඇයට ඒ වෙනුවෙන් ඩොලර් 25,000 හිමිවුණා. ඇගේ තැග්ගත් සමග මෙවර ජයග්‍රාහකයන්වූ සියලුම දරුවන්ට ඩොලර් ලක්ෂයක් වටිනා තෑගි පිරිනමනු ලැබුවා. 

බොහෝ පාසල් දරුවන් ඉදිරිපත් කර තිබුනේ සාමාන්‍යයෙන් පාසල්වල වාර්ෂික ප්‍රදර්ශනවලට ඉදිරිපත් කෙරෙන ළමයින් මවිතයට පත් කෙරෙන සෝඩා යෙදූ ගිනිකඳු වැනි සරල නිර්මාණයි. ඒත් මේ 12 හැවිරිදි ඉෂානා කුමාර් තරගයට ඉදිරිපත් කර තිබුණේ සියලු තරඟකාරීන් අබිබවා යා හැකි අමුතුම තාලේ නිර්මාණයක්. ඒ දෘෂ්ටි මායාවක් යොදා ගෙන අපේ ඇස්වල පෙනීමේ ක්‍රියාවලියේ ඇති දෝෂ තත්වයන් හඳුනා ගත හැකි නවතම උපකරණයක්. 

ඇය සිය නිර්මාණයට පාදක කර ගත්තේ බෙන්හැම්ගේ (Benham's disk) තැටියයි. 
මෙයින් යමෙකුගේ ඇස්වල ආබාධ තත්වයක් ඇතැයි සොයා ගන්නේ, එය කැරකීමේ දී 
මතුවන රතු, නිල් සහ කොළ ආලෝක දෙස බලා සිටිය විටයි,

ඇයට මෙහිදී හිමි වූ ඒ ප්‍රධාන සම්මානය හඳුන්වනු ලැබුවේ සැමුවෙල් පදනමේ සම්මානය (Samueli Foundation Prize) කියායි. ඇගේ පර්යේෂණාත්මක නිර්මාණයටත්, ඒ සඳහා කළ පර්යේෂණයටත්, සමාජයට වැඩදායක දෙයක් නිර්මාණය කිරීමට දැක්වූ දායකත්වයටත්, ඇය සතු වූ චින්තන කුසලතාවටත්, නායකත්ව ගුණාංගයටත් මේ සම්මානය පිරිනමනු ලැබූ බැව් ඒ සඳහා වූ හේතු පාඨයෙහි සඳහන්ව තිබුණා. 

‘මගේ නම අඬගැහුවාම මට විශ්වාස කරන්නත් බැරි වුණා.’ ඇය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළාට පසු කීවා. 

දෘෂ්ටි විතානයේ විඩාවක් (retinal fatigue) ඇත්නම් මේ උපකරණය දෙස බලා ඉඳීමෙන් පසුව සොයා ගන්න පුලුවන්.

ඇය මේ නිර්මාණයට යොමු වූ ආකාර ගැන කීවේ මෙහෙමයි. ‘මගේ සිත හැමවිටම ඇදී ගියේ අපේ මේ සංකීර්ණ මොළයේ ක්‍රියාකාරිත්වය දෘෂ්ටි මායාවන් නිසා අවුල්වන ආකාරය ගැනයි. එහිදී මගේ අවධානය වැඩියෙන් යොමු වුනේ කළු සුදු වෘත්ත දෙකක් කරකැවීමෙන් අපේ සංකීර්ණ මොළය රැවටිය හැකිවීම ගැනයි.’ 

සිය නිර්මාණය පිළිබඳ ‘වීඩියෝ ඉදිරිපත් කිරීම’ කරමින් ඇයි කීවේ, ‘අප එය සැබෑවක් නොවන බව හොඳින්ම දැන සිටියත් අපේ ඇස ඔස්සේ මොළය ඒ තුළින් වර්ණ දැකීම තමයි, මගේ නිර්මාණයට පදනම වූයේ. බෙන්හැම්ගේ තැටිය පිළිබඳ න්‍යාය යොදා ගෙන වර්ණ සංජානනය ඔස්සේ ඇසේ දෘෂ්ටි විතානයේ විඩාව වැනි දෝෂ හඳුනා ගත හැකි බව මා මෙයින් පෙන්වා දෙනවා.’ ඇය තවදුරටත් කීවා. 

සම්මාන උළෙල සංවිධානය කළ විද්‍යා සමාජයේ සභාපති හා ප්‍රධාන විධායිකා මායා අජ්මීරා (Maya Ajmera, President & CEO of the Society for Science & the Public and Publisher of Science News) ඉෂානාට සුබ පැතුවේ මෙහෙමයි. ‘ඉෂානාට මගේ සුබ පැතුම්! ඇය ඇසේ දෘෂ්ටි විතානයේ විඩාව වැනි දෝෂ, වර්ණ සංජානනය තුළින් හඳුනා ගත හැකි නව ක්‍රමයක් හඳුන්වා තියෙනවා.’ 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments