HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 100කට පමණ පෙර පැවති අපූරු සම්මුඛ පරීක්ෂණයක්!

ශ්‍රී ලං‍කාවේ සිටි ලේඛකයන් අතර විවිධ හැකියා ඇති අය අතරින් කැපී පෙනෙන අයෙකු ලෙස හේමපාල මුනිදාසයන් හැඳින්විය හැකියි. එතුමා පත්‍රකලාවේදියකු ලෙස වඩාත් ඉහළින් සිටි අතර, එතුමා පුවත්පත් ඔස්සේ පාඨකයන්ගේ පහන් සංවේගය උදෙසා ප්‍රකට පුද්ගලයන්ගේ ජීවිතවල, අප්‍රකට කතා පළ කිරීම, එකල ඉතා ජනප්‍රිය අංගයක් විය. ඒ කතා එකතුකොට පසුව ‘රසාවදානය’ කියා පොතක් ද එතුමාගේ නමින් පළ විය. මේ සමග පළ වන්නේ ධර්මපාල තුමන් ගැන එහි පළ වූ රසකතා අතරින් එකකි. 

 
ධර්මපාල තුමාගේ රසාවදානය ලියූ හේමපාල මුනිදාස මහතා

ධර්මපාල තුමන් සිංහල බෞද්ධයා පත්‍රයට කාර්ය මණ්ඩලය තෝරා ගත් හැටි! 

ඉතාම බාරදූර ඉතාම බරපතල ඉතාම උත්තරීතර කටයුතුවලට පවා අනගාරික ධර්මපාල තුමා පුද්ගලයන් තෝරා ගත්තේ රුවන්වැලි මහසෑය සෑදීම සඳහා දුටුගැමුණු රජතුමන් උලුවඩුවන් තෝරා ගත් සම්ප්‍රදාය අනුවය. ලංකාවට පැමිණීම තහනම් කොට යුද්ධ නීතිය ආරම්භවුණු සමයේ කරන ලද නියෝගය හය අවුරුද්දකට පසු ඉවත්වී අනගාරික ධර්මපාල තුමන් කල්කටාවේ සිට නවසිය විසි එකේ දී ලංකාවට පැමිණි කෙණෙහිම උත්සාහ කෙළේ නවසිය පහලොවේදී නතර කරන ලද ‘සිංහල බෞද්ධයා’ පත්‍රය යළිත් පටන් ගැනීම සඳහා ය. එහෙත් යුද්ධ නීතිය පිළිබඳ ගින්න එතෙක් නිවී නොතිබුණු නිසා මේ සඳහා තර්තෘ මණ්ඩලයක් හා කාර්ය මණ්ඩලයක් තෝරා ගැනීම දුෂ්කර කටයුත්තක් වුණේය. මෙපවත් දුටු ධර්මපාල තුමා සන්ථාගාර ශාලාවේදී මහා සභා රැස්වීමක් පැවැත් වූයේය. අහල පහළ කම්හල් වලිනිදු නගරයෙනුදු මෙහි රැස්ව සිටියේ අති විශාල ජනකායකි. 

සිංහල බෞද්ධ ප්‍රබෝධය ඇති කළ ජාතික උන්නතියට අතීතයේ මහ මෙහෙයක් කළ 
‘සිංහල බෞද්ධයා පත්‍රය’ මෙහෙයවූ අනගාරික ධර්මපාල තුමා

‘මම සිංහල බෞද්ධයා පත්‍රය නැවතත් ප්‍රසිද්ධ කරන්න යනවා. නව සිය පහලොවේදී පර සුද්දන් විසින් නතර කරන ලද ‍ බෞද්ධයා පත්‍රය අ‍ායෙත් පටන් ගන්න යනවා’ යයි ධර්මපාල තුමන් සභාවට සැලකොට ‘ඒකේ කටයුතු සඳහා ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්, දිවි පුදන්නට බය නැති තරුණයන් හතර පස් දෙනෙක් මට ඕනෑ’ යයි කියමින් සබාගැබ දෙස බැලුවේය. 

‘රට, ජාතිය, ආගම වෙනුවෙන් දිවි පුදන්නට කැමති කරුණයන් ඇත්නම් වරෙල්ලා මෙහෙට’ යයි ශ්‍රීමතාණෝ යළිත් නිල කළහ. 

ලාබ සරමකින් හා බැනියමකින් සැරසුණු හොඳ කඩවැස්මක් හා පුෂ්ටිමත් දේහයක් ඇති මනහර තුනුසපුවකින් හොබනා තරුණයෙක් සබාගැබෙන් නැගිට්ටේය. 

‘මම රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පුදන්නට කැමති ය’යි ඔහු උච්ච ස්වරයෙන් කීවේය. 

‘මෙහෙවරෙන්! මෙහෙවරෙන්! ‘ යයි ධර්මපාල තුමා ඔහු වේදිකාව කරා කැ‍‍‍‍ඳ‍ෙව්වේය. තරුණයා බියෙන් බියෙන් එහි කිට්ටු කළේය. 

‘නම?’ යයි ඉන්පසු ධර්මපාල තුමා ප්‍රශ්න කෙළේ ය. 

‘හරමානිස්!’ 

‘වල් අලියා! ගොන් තඩියා! සංකර නම් ගන්න එපා! සංකර සිරිත් ගන්න එපා!’ යයි මේ නම ඇසීමෙන් කෝපයට පත් වූ ධර්මපාල තුමා පවසා ‘අ

ද හිටන් උඹේ නම සෝමසේන. තේරුණාද? වල් අලියා? සෝමසේන උඹ තමයි පත්‍රය අච්චුගස්සා ප්‍රසිද්ධ කරන්නා’ යයි කියමින් ඔහු වේදිකාවේ පිටිපස්සට කෙළේය. 

‘මමත් කැමතියි රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිතය පූජා කරන්න’ තවත් තරුණයෙක් සබාගැබෙන් නැගිට කීවේ ය. 

‘වරෙන්! වරෙන්! මෙහෙ වරෙන්!’ ඔහු ද කැඳවන ලද්දේ ය. 

‘වල් අලියා! ඒකත් නමක්ද? ගොන්තඩියා! ඒක පාවිච්චි කරන්න ලැජ්ජා නැද්ද?’යි ධර්මපාල තුමා ගුගුරා ‘අද හිටන් උඹේ නම සුගතදාස උභයවික්‍රම. තේරුණාද? ගොන්තඩියා? නම සුගතදාස උභයවික්‍රම. උඹ තමයි පත්‍රයේ කර්තෘ’ යයි නිලකොට ඔහු ද වේදිකාවේ පිටිපසට කෙළේ ය. 

‘සිංහල බෞද්ධයා පත්‍රය’ පත්‍රයෙහි දෙවන යුගය සඳහා අවශ්‍ය කර්තෘ මණ්ඩලයත්, කළමනාකාර මණ්ඩලයත්, විනාඩි කීපයක් ඇතුළත මේ රැස්වීමේ දී පත් කර ගන්නා ලදහ. මෙය විකාර විහිලුවක් මෙන් ඇසූ දුටුවනට කල්පනාවුණු නමුදු එතැන් පටන් කලක්ම පත්‍රය ගෙන යන ලද්දේ මේ කර්තෘ කාරක මණ්ඩලය මගින් ය. -

- (හේමපාල මුනිදාසයන්ගේ ‘රසාවදානය’ කෘතියෙනි)

Post a Comment

2 Comments

  1. අනගාරික දර්මපාල ලාංකිකයෙක් නෙවේ නේද ?
    දැන් වගේ ලංකාවේ මිනිසුන්ට ජාතිය රට බේරගන්න උවමනාවක් ඊ කලේ තිබිල නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනගාරික ධර්මපාල තුමා ලංකාවෙ කොළඹ ඉපදිලා ඉන්දියාවෙදි භික්ෂුවක් විධියට අපවත්වුණා. එතුමා ඒ කාලේ අපේ නිදහස් සටන මෙහෙයවපු එක වීරයෙක්. එතුමා රට ජාතිය විතරක් නෙවෙයි ආගම වෙනුවෙනුත් සටන් කරපු කෙනෙක්.සුද්දො අපේ රට අල්ලාගෙන ඉන්න කාලේ වසර හයකට ලංකාවට එන්න තහනම් කරල තිබිලා ඒක ඉවර වී ආපු වෙලාවෙ තමයි මං කී සිද්ධිය වුණේ

      Delete