තමන්ගේ නොවන කතාවලින් ලෝකය දිනූ සොහොයුරන් දෙදෙ‍නා!

 මේ කියවන මාසයයි. කියවීමට දරුවන් හුරුකරවන මාසයයි. පොත්පත් කෙරෙහි ජනතාවගේ අවධානය වැඩිපුර යොමු කරවන්න විශේෂයෙන් වෙන් කළ මාසයයි. ඒ වෙනුවෙන් අප අද කතා කරන්නේ, ලොව පුරා ළමා පරපුරේ ආදරය දිනාගත් ජර්මන් ජාතික සහෝදරයන් දෙදෙනෙක් ගැනයි. ඒ තමා ග්‍රිම් සහෝදරයෝ. ඔවුන්ගේ ‘ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කතා’ නොකියවූ දරුවෙක් ලොව කොහේවත් නැතුව ඇති. ඒ එක කතාවත්වත් ඔවුන් ලිව්වේ නැහැ. ඒවා ජනකතා වශයෙන් යුරෝපයේ ප්‍රචලිතව පැවතුන, ගෘහ සේවිකාවන් අතර භාවිත වූ ඒවායි. ඒත් අද ඔවුන්ගේ නමින් ඒවා ලෝක පූජිතවෙලා තියෙනවා. කියවීම අතින් මෙය දෙවැනි වන්නේ බයිබලයට විතරයි කියලයි පර්යේෂකයන් කියන්නේ.

ජේකබ් හා විල්හෙල්ම් ග්‍රිම් දෙදෙනාගේ මේ චිත්‍රය 
ඔවුන්ගේ බාල මල්ලී වන එමිල් විසින් අඳින ලද්දක්.

බලන්න! මේ කතා අතරින් කීයක් ඔබ කියවා තියෙනවාද? ‘හිමකුමාරිය හා අඟුටුමිට්ටන් හත්දෙනා’ (Snow White and the Seven Dwarfs), ‘නිදි කුමාරි’ (Sleeping beauty), රතු තොප්පිකාර පුංචි දැරිය (Little Red Riding Hood), හැම්ලින්හි නළාකාරයා (The Pied Piper of Hamelin), ගෙඹි කුමාරයා (The Frog Prince), හැන්සල් ඇන්ඩ් ග්‍රෙටල් (Hansel and Gretel), සින්ඩරෙල්ලා (Cinderella), පුංචි ඌරු පැටවු තුන්දෙනා (Three Little Pigs), රම්පෙල්ස්ටිල්ස්කින් (Rumpelstiltskin), රත්තරන් කන්දේ රජතුමා (The King of the Golden Mountain), මාරයාගේ පණිවිඩකාරයා (Death's Messenger), බ්‍රෙමන් නගරයේ සංගීතකාරයෝ (The Town Musicians of Bremen) වැනි කතා 211ක් ඔවුන්ගේ නමට තියෙනවා. ඔවුන් මේවා රසවත් ලෙස අපට නැවත කියා දුන්න නිසා තමයි, අප මේවා අද දන්නේ. මේවා ලෝකයේ භාෂා 160කට වැඩි ගණනකට පරිවර්තනය වී තියෙනවා. 

කවුද මේ ග්‍රිම් සහෝදරයන් කියන්නේ? ඒ තමා ජේකබ් ලුඩිවිග් කාල් ග්‍රිම් (1785-1863) සහ විල්හෙල්ම් කාල් ග්‍රිම් (1786-1859) යන සොහොයුරන් දෙදෙනා. ඔවුන් දෙදෙනාගේ වයස් පරතරය අවුරුද්දක් විතරයි. ජේකබ් උපන්නේ 1785 ජනවාරි 4 වැනිදා. විල්හෙල්ම් උපන්නේ 1786 පෙබරවාරි 24 වැනිදා. ඔවුන්ගේ පියා විනිසුරුවරයෙක්. ‍1796 දී ඔහු නිව්මෝනියාවෙන් මියගිය නිසා පවුලේ වැඩිමලා වූ ජේකබ්ට මවගේත් බාල සහෝදරයන්ගේත් බර කරට ගන්නට සිදුවුණා. 

විල්හෙල්ම් ග්‍රිම් හා ජේකබ් ග්‍රිම් සොහොයුරන් 1847 දී

ආසන්න වයස්වල පසුවූ ජේකබ් මා විල්හෙල්ම්, උපන්දා සිට ම ජීවත් වුණේ පුදුමාකාර බැඳීමකින්. මුළු ළමා කාලය ම ගෙවුවේ එකටමයි. පාඩම් කළෙත්, පාසල් ගියෙත්, විශ්විද්‍යාලයට ගියෙත් එකටයි. මුහුකුරා ගිය පසුවත් ඔවුන් ගමන් බිමන් ගියේත් වැඩ කළේත් එකටම යි. පර්යේෂණ කටයුතු කළේත් එකටමයි. අවසානයේදී ඔවුන් සැතැපුණේත් සුසාන භූමියේ එකම තැනකයි. 

1798 දී ඔවුන් දෙදෙනා පවුලෙන් වෙන්වී කෑසල්වල ෆ්‍රෙඩ්රිච්ජිම්නේසියම්වලට ඇතුළත් වුණා. ඒ විදුහලට කල්තියා මුදල් ගෙවා සූදානම් කළේ ඔවුන් නැන්දා කෙනෙක්. එතැන අධ්‍යාපනයෙන් පස්සේ ඔවුන් මාබර්ග් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. අනිත් පොහොසත් ළමුන්ට වගේ ඔවුන්ට මුදල් නොතිබුණු නිසා අතිරේක කිසිම දෙයකට සහභාගි වෙන්න පුලුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා අධ්‍යාපනයට ම මුළු කාලය යෙදවූ ඔවුන් දෙදෙනා එතැනින් උපාධිය ගත්තේ පළමුවන තැනට පත්වෙමින්. 

එහිදී ඔවුන් ගැන පැහැදුණු ඔවුන්ගේ නීති මහාචාර්යවරයා වූ ෆ්‍රෙඩ්රිච් වොන් සැවිජිනි ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන් ඉතිහාසය හා භාෂා විද්‍යාව කෙරෙහි උනන්දු කෙරෙව්වා. ඒ වගේ ම මධ්‍යකාලීන ජර්මානු සාහිත්‍යයටත් යොමු කෙරෙව්වා. ඒ මහාචාර්යවරයා විවාහව සිටියේ ෆ්‍රාන්ස් ක්ලෙමන්ස් බ්‍රෙන්ටානෝ නම් ප්‍රකට කවියාගේ සොහොයුරිය සමගයි. ඒ නිසා සැවිජිනි නිතර එහි ගියා. සැවිජිනි සමග ඒ නිවසට එක් රොක් වූ රසකාමීන් හා බුද්ධිමතුන් අතර මේ ග්‍රිම් සොහොයුරන් ද සිටියා. ඒ යුගයේ රොමැන්තික කවියකු වූ බ්‍රෙන්ටානෝ තමයි, ජර්මන් ජනකවි රැස්කර පර්යේෂණ ග්‍රන්ථයක් කරන්න ඔවුන්ව පෙලඹවූයේ. 

‘ස්ලීපිං බියුටි’ කතාවට වෝල්ටර් ක්‍රේන් විසින් ඇඳි චිත්‍රයක්.

ඒ අනුව ග්‍රිම් සෙ‍ාහොයුරන් මුලින් එක්රැස් කිරීම ආරම්භ කළේ ජනකවියි. එසේ එකතු කරන ලද ජන කවි වලින් පොතක් සැකසුවා. ඔවුන් ඒ ජනකවි හා ජන ගී එකතු කරද්දී සුප්‍රසිද්ධ චිත්‍රශිල්පියකු විසින් ඔහුට ජනකතා දෙකක් එවනු ලැබුවා. ජනකතා කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වූයේ එයින් පසුවයි. ඒ ජනකතා තමයි, පසුව සුරංගනා කතා වූයේ. මේ කතා සම්පූර්ණයෙන් ඔවුන්ගේ නිර්මාණ නෙමෙයි. ඒත් මේ සුරංගනා කථා කිවයුතු අපූරු ශෛලිය ඔවුන් විසින් ම නිර්මාණය කර ගත්තක්. ඔවුන් එක්රැස් කරගත් මේ කතාන්තර ඔවුන් උපදින්නටත් බොහෝ කලකට පෙර සිට යුරෝපයේ රටවල පරම්පරාවෙන් පරම්පරාවට කටවහරෙන් පැවත ආ කතාන්තරයි. නිතරම මේ කතා අසන්නට ලැබුණේ, ඒ රටවල වංශවතුන්ගේ මන්දිරවල සේවය කළ ගෘහ සේවිකාවන් අතරිනුයි. මේ කතා ඔවුන් කීවේ එදිනෙදා වැඩ කටයුතු අතර තමන් විවේක ලද අවස්ථාවල කාන්සිය මග හරවා ගැනීමටයි. 

‘පයිඩ් පයිපර්’ කතාවට කේට් ග්‍රීන්එවේගේ චිත්‍රයක්.

මේ දෙදෙනා මුලින් ම සුරංගනා කථා එකතු කර ගත්තේ අසල් වැසියන් හා හිතවතුන් ගෙනුයි. එක් මහලු කාන්තාවක් ඔවුන් කතාන්තර අසූ ගණනක් ම කියා දුන් බව ඔවුන්ගේ සුරංගනා කථා පිළිබඳව පර්යේෂණ කළ අය විසින් හෙළිදරවු කර ගෙන තියෙනවා. තවත් කථා සොයා ඔවුන් කරත්තවලින් ගැමි ප්‍රදේශවල සංචාරය කළා. ගම්මුන් ඔවුන්ට තමන් අතර ප්‍රකටව තිබූ කතන්දර කියා දුන්නා. 

‘හැන්සල් ඇන්ඩ් ග්‍රෙටල්’ කතාන්තරය, පසුව විල්හෙල්ම් ග්‍රිම් හා විවාහ වූ ඩෝචන් වයිල්ඩ් නම් කතා කියන්නිය විසින් වාර්තා කර ගෙන ආ එකක්. 

මේ ග්‍රිම්ගේ සුරංගනා කතා මුලින් ම සකස් කළේ ළමයින් සඳහා නොවෙයි. මේ කතාන්තරවල ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය, ව්‍යභිචාරය ආදී ළමා මනසට නුසුදුසු යැයි සැලකෙන දේ ඇතුළත් වුණා. ඒ මදිවාට ඒවායේ ළමයින්ට සුදුසු රූප සටහන් හා චිත්‍ර ඇතුළත් වුණේ නැහැ, මොකද ඒවා වැඩිහිටියන් එල්ල කර ගෙන ලියා තිබූ නිසා. මේ කතා ඇතුළත් වූ ‘නර්සරි ඇන්ඩ් හවුස්හෝල්ඩ් ටේල්ස්’ මුල් මුද්‍රණවල කැපී පෙනෙන තරම් නරක, නපුරු දේ ඇතුළත් වුණා. නිදසුනක් වශයෙන් රැපන්සල් ඇයට හමු වූ කුමාරයාගෙන් රහසේම ගැබ්බර වීම දක්වන්න පුලුවන්. සින්ඩරෙල්ලා කතාවේ සහෝදරියන් ඔවුන්‍ට ලැබුණු සෙරප්පුවලට ගැළපෙන්න, ඔවුන්ගේ මහපටැඟි හා විළුඹ කපා ගන්නවා. මේ වගේ තවත් ළමුනට නුසුදුසු යයි සැලකිය හැකි දේ ඒ කතාන්තරවලට ඇතුළත්ව තිබුණා. ඒවා ළමයින් අතර ජනප්‍රිය වෙද්දී ඔවුන් විසින් ක්‍රමාණුකූලව වෙනස් කරනු ලැබුවා. 

‘ලිට්ල් රෙඩ් රයිඩිං හුඩ්’ කතාව වෙනුවෙන් ඇඳි ආතර් රැකම්ගේ චිත්‍රයක්.

1830 දී අර්නස්ට් ඔගස්ටස් රජු ගොටින්ජන් විශ්ව විද්‍යාල නගරයේ සියලු ම මහාචාර්යවරුන්ගෙන් තමන්ට පක්ෂපාතීවන බවට දිවුරුමක් ඉල්ලා සිටියා. ජේකබ් හා විල්හෙල්ම් එහි ආචාර්ය මණ්ඩලයේ සිටියා. ඒ දෙදෙනාත් තවත් මහාචාර්යවරුන් පස්දෙනකුත් සමග ඒකට එකඟ වුණේ නැහැ. ඒ නිසා ඔවුන් හත්දෙනා ම රාජද්‍රෝහී චෝදනාව මත ඒ නගරයෙන් පිටුවහල් කෙරුණා. ඒ කාලයේ ඔවුන් මේ සුරංගනා කතා එක්රැස් කිරීමේ යෙ‍දීමෙනුයි හිටියේ. රැකියා අහිමිවීම නිසා ඔවුන්ට ජීවත්වීමට පවා මුදල් නැතිවුණා. ජීවත්වීමට මුදල් මිතුරන්ගෙන් ණයට ඉල්ලා ගැනීමට සිදු වුණා. 

ග්‍රිම් සොහොයුරන්ගේ කතා එකතුව ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. ජේකබ් ජීවත් වුූයේ විල්හෙල්ම් හා ඔහුගේ බිරිඳ සමඟයි. විල්හෙල්ම් 1859 දී මිය යන විට ‘ග්‍රිම්ගේ සුරංගනා කථා’ කෘතියෙහි 7 වැනි මුද්‍රණයත් නිකුත්වී තිබුණා. ඒ වන විට ඒ කතා එකතුවට කතා 211ක් එක්වී තිබුණා. ඒ වාගේ ඉතා චිත්තාකර්ෂණීය චිත්‍රවලින් ඒවා අලංකාර කෙරුණා. සොහොයුරා මියගිය පසු දැඩි සොවින් පසු වූ ජේකබ් මිය ගියේ 1863දියි. 

ජේකබ් හා විල්හෙල්ම් දෙදෙනා ජර්මනියේ විසූ භාෂා විශාරද ශාස්ත්‍රවන්තයන් දෙදෙනෙක්. ඔවුන් විශ්ව විද්‍යාල මහාචාර්ය පදවි මෙන්ම පුස්තකාලයාධිපති තනතුරු දරුවා. ශබ්දකෝෂ සංස්කාරකවරුන් ලෙස සේවය කළා. විවිධ ශාස්ත්‍රීය පොතපත තම නම්වලින් ලියුවත් ඔවුන් ලොව පුරා අදත් ප්‍රකටව සිටින්නේ සුරංගනා කතාකරුවන් ලෙසයි. 

 - පර්සි ජයමාන්න


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments