HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සෙන් බොදු කතාවක් - තුති පුද කළ යුත්තේ දෙන තැනැත්තායි

කාමකුරාවල එන්ගාකු සෙන් බොදු ආරාමයේ නායකතුමන් ලෙස සිටියේ සෙයිට්සු කියා හිමි නමක්. එතුමන්ට අවශ්‍ය වුණා, තමන් ඉගැන්වීම් කළ ධර්ම ශාලාව තවත් විශාල කර ඉදි කරන්නට. එතුමන් කළ ධර්ම දේශනාවලට ආකර්ෂණය වූ විශාල පිරිස් එහි ඇදී ආවා. ඉගෙනීමට ආ පිරිස වැඩි වීමත් සමග එහි ඉඩකඩ මඳ බව හැමෝටම ප්‍රශ්නයක් වුණා.

ඒ නිසා ඉඩකඩ ඇති ධර්ම ශාලාවක් තැනීමට ආධාරයක් කරන්න එඩෝ නගරයේ වාසය කළ ධනවත් වෙළෙන්දකු වූ උමේසා සෙයිබෙයි තීරණය කළා. ඔහු රියෝ රන්මසු පන්සීයක මල්ලක් අරන් ආවේ, සෙයිට්සු හිමියන්ට දෙන්න කියලා හිතා ගෙනයි. 

‘මෙතන රියෝ රන්මසු පන්සීයක් තියෙනවා’ සෙයිබෙයි ඒ රන්මසු මල්ල ගුරුතුමන් අතට දෙමින් කීවා. 

‘හොඳයි, මං බාර ගන්නම්’ සෙයිට්සු හිමියන් ඊට කැමැත්ත පළ කළා. 

සෙයිට්සු හිමියන් ඒ රියෝ රන්මසු මල්ල උමේසා සෙයිබෙයිගෙන් බාර ගත්තා. 

ඒත් එය බාර ගත් ආකාරය ගැන උමේසා සෙයිබෙයි සෑහීමකට පත් වූයේ නෑ. ඒ කාලේ හැටියට රියෝ තුනක් කියන්නේ කෙනෙකුට අවුරුද්දක් විතර ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් මුදලක්. එහෙම තියෙද්දී රියෝ රන්මසු පන්සීයක් තරම් ලොකු මුදලක් දීලත් ඒකට ස්තුති කිරීමක්වත් නොකිරීම ගැන උමේසා සෙයිබෙයි තදින් ම කලකිරුණා. 

‘ඔය මල්ලේ රියෝ පන්සීයක්ම තියෙනවා.’ යයි සෙයිබෙයි යළිත් කීවේ තම සිතෙහි ඇති වූ හැඟීම ඇඟවීම පිණිසයි.  

‘ඒක ඔබ කලින් කීවා නෙ’ සෙයිට්සු හිමියන් කීවා. 

පෝසත් වෙළෙන්දකු හැටියට මට මේක ඒ තරම් මුදලක් නොවෙයි. ඒත් රන්මසු පන්සීයක් කියන්නේ විශාල මුදලක්’ සෙයිබෙයි තවදුරටත් කීවා. 

‘ඉතින් ඔබ මගෙන් ස්තුතියක් බලාපොරොත්තු වෙනවද?’ සෙයිට්සු හිමියන් ඇසුවා. 

‘එහෙම කළා නම් නේද හොඳ’ සෙයිබෙයි කීවා. 

‘ඒ මොකටද ? මං එහෙම කරන්‍නෙ ? දෙන තැනැත්තා නෙවැ ස්තුති කරන්න ඕනෑ’ සෙයිට්සු හිමියන් අවසාන වශයෙන් කීවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments