HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකාවේ ළමයින්ටත් වැඩිහිටියන්ටත් එකම දිනයක් ඇයි?

ඔක්තෝබර් 1 වැනිදා ශ්‍රී ලංකාව ලෝක ළමා දිනය සැමරුවා. ඒ එක්කම ලෝක වැඩිහිටි දිනයත් සැමරුවා. ළමයින්ටත් වැඩිහිටියන්ටත් එකම දිනයක් යොදා ගන්න එක හොඳ දෙයක්. ඒත් ශ්‍රී ලංකාව ලෝක ළමා දිනය සමරන එක නම් පොට වරද්දා ගැනීමක්. ලෝකයේ අනිත් රටවල් සියල්ල ම වෙනත් දවසක ලෝක ළමා දිනය සමරද්දී අපට විතරක් ලෝක ළමා දිනයක් තනිවම සමරන්න බැහැ. එහෙනම් ඒක ලෝක ළමා දිනය නෙවෙයි, ‘ජාතික ළමා දිනය’ කියලා වෙනස් වෙන්න ඕනෑ. 

ළමා පරපුර ගැන ලෝක අවධානය යොමුකරන්නයි ලෝක ළමා දිනය ඇත්තේ.

එහෙම ‘ජාතික ළමා දින’ පවත්වන රටවල් කීපයක් ම තියෙනවා. ඒ රටවල් ඒ දිනය ‘ලෝක ළමා දිනය’ කියා සමරන්නේ නැහැ. එක්සත් රාජධානිය, එරට ජාතික ළමා දිනය පැවැත්වෙන්නේ මැයි 17 වැනිදායි. ඉන්දියාවේ ජාතික ළමා දිනය යෙදෙන්නේ නේරුතුමාගේ උපන්දිනය වූ නොවැම්බර් 14 දාටයි. චීනයේ ජාතික ළමා දිනය යෙදී ඇත්තේ ජූනි 1 වැනිදාටයි. එය චීනයේ ජාතික නිවාඩු දිනයක්. ඕස්ට්‍රේලියාව ජාතික ළමා දිනය සමරන්නේ ඔක්තෝබර් 28 වැනිදාටයි. ශ්‍රී ලංකාව ලෝක ළමා දිනය කියා ඔක්තෝබර් 1 වැනිදා උත්සව පැවැත්වුවද එය ඇත්ත වශයෙන් ම ලෝක ළමා දිනය නෙවෙයි. 

මා එසේ කියන්නේ, නියම ලෝක ළමා දිනය‍ යෙදී ඇත්තේ නොවැම්බර් 20 වැනිදාට නිසයි. එය එදා නම් කෙරුණේ විශ්ව ළමා දිනය (Universal Children's Day) හැටියටයි. විශ්ව ළමා දිනය හෙවත් ලෝක ළමා දිනය සැමරීම ආරම්භ වූයේ වසර 66කට පෙර එනම් 1954 දෙසැම්බර් 14 වැනි දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත වූ ‍යෝජනාවකට අනුවයි. ඒ අනුව නොවැම්බර් 20 වැනිදා ලෝක ළමා දිනය ලෙස නම් කෙරුණා. එදා එය ඇරඹුණේ ලොව පුරා වෙසෙන ළමයින් පිළිබඳව, ළමුන්ගේ අවශ්‍යතා පිළිබඳව අන්තර්ජාතික වශයෙන් එක්ව සොයා බලා කටයුතු කරන්නයි. 

ඒ වගේ ම නොවැම්බර් 20 වැනිදා ලෝක ළමා පරපුරට විශේෂිත වූ දිනයක්. 1959 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය සම්මත කර ගත්තේ නොවැම්බර් 20 වැනිදායි. ඒ වාගේ ම ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත කර ගත්තේ 1989 නොවැම්බර් 20 වැනිදායි. ඒ නිසයි, නොවැම්බර් 20 වැනිදා ළමයින්ට අතිශයින් ම වැදගත් දිනයක් වන්නේ. ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත වෙලා මේ වසරට වසර 31ක්. ලෝකය පුරා ළමුන්ගේ ජීවිත නංවා ලීමට විශාල මෙහෙයක් එයින් සිදුවුණා. 

1990 සිට වසරක් පාසා ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සමරනවා. මේ වන විට ලොව පුරා රටවල් 194ක් එය තම රටවල නීති පද්ධතියට ඇතුළත් කර ගෙන ක්‍රියාත්මක කරන බවට එකඟ වී අත්සන් කර තියෙනවා. සෝමාලියාව, දකුණු සුඩානය හා ඇමරිකා එක්සත් ජනපදය විතරයි, එය පිළිගෙන නැත්තේ. එරට ව්‍යවස්ථාවට පටහැනි වගන්ති කීපයක් එහි ඇති නිසාය. 

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියෙන් ප්‍රධාන කරුණු හතරක් විශේෂයෙන් අවධාරණය කෙරෙනවා. ඒවා නම්, ළමයා මොන ආකාරයේ හෝ වෙනස්කම් කිරීමට ලක් නොකිරීම, ළමයාගේ ‍යහපත වෙනුවෙන් පූර්ණ කැපවීම, ළමයාගේ ජීවත්වීමේ අයිතිය සම්පූර්ණයෙන් ම තහවුරු කිරීම, ලොව කොතැනක සිටියත් ළමයාගේ ආරක්ෂාව හා සංවර්ධනය ඇති කිරීම ආදියයි. 

ලොව කොතැනක සිටියත් ළමයාගේ ආරක්ෂාව හා සංවර්ධනය ඇති කිරීම 
 ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියෙන් අවධාරණය කළ දෙයක්

විශ්ව ළමා දිනය සම්මත කර ගෙන වසර 36කට පස්සේ එනම්, 1990 දෙසැම්බර් 14 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී තවත් යෝජනාවක් සම්මත කෙරුණා, ඔක්තෝබර් 1 වැනිදා, වයස අවුරුදු 60ට වැඩි ලෝක පුරවැසියන් වෙනුවෙන් වූ, ‘ලෝක වැඩිහිටි දිනය’ ලෙස සලකන ලෙසට. ඒ අනුව එදා සිට ලෝකයේ රටවල් 194ක්, වැඩිහිටියන්ගේ දිනය ලෙස සමරනවා. අපිත් එය සමරන ගමන් අපේ ‍ ‘ලෝක ළමා දිනය’ත් සමරනවා. පොට වරද්දා ගෙන කළත්, මා මෙය දකින්නේ ඉතා හොඳ දෙයක් හැටියටයි. එයින් එකම දිනයකදී, එකිනෙකා කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, එකිනෙකා ගැන හොඳ අවබෝධයක් ඇති කර ගැනීමට දෙදෙනාට ම අවස්ථාවක් සැලසෙනවා කියලයි, මට හිතෙන්නෙ. 

පසුගිය වසර කීපය තිස්සේ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ලේකම් කාර්යාලය සමග එක්ව, වැඩිහිටියන් පිළිබඳව ළමයින් කළ නිර්මාණ විනිශ්වය කිරීමට මටත් අවස්ථාව ලැබුණා. එහිදී මා අත් දුටු දෙයක් නම් පාසල් ළමුන් වැඩි දෙනකු, සිය රචනාවලින් නිර්වචනය කළේ ළමයින් නොවන සියලු දෙනා වැඩිහිටියන් ලෙසයි. එසේ ම ළමයින් ලෙස ඔවුන් කළයුතු ප්‍රමුඛම කාර්යය විධියට වැඩි දෙනෙකු හඳුනා ගෙන තිබුණේ ‘වැඩිහිටියන්ට ගරු කිරීම’හා ‘වැඩිහිටියන්ගේ ඔවදන්’ පිළිගෙන ක්‍රියා කිරීම ආදියයි. ඒ හැරෙන්නට අනෙක් ළමුන් වැඩිහිටියන් ලෙස දැක්කේ, මහ මඟදී හමුවන යාචකයන්, අසීරුවෙන් ඇවිදින විවිධ දුබලතා ඇති මහලු අයයි. තමන්ගේ සීයා ආච්චි වැඩිහිටියන් ලෙස සලකපු අයත් හිටියා. ළමයින් වැඩි දෙනෙකු කල්පනා කළේ ඔවුන් අනුකම්පාව ලැබිය යුතු පිරිසක් හැටියටයි. නමුත් වැඩිහිටියන් පිළිබඳව මීට වඩා එහා ගිය දැනුමක් ළමයින්ට ලබා දෙන්න ඕනෑ. ළමයින්, වැඩිහිටියන් කෙරෙහි අනුකම්පා කරනවාට වඩා ආදරය හා සෙනෙහස දක්වන්නට යොමු කළ යුතුයි. ඒ වගේ ම ළමයින්ගේ දිනයේදී වැඩිහිටියන්වත් ළමයින් කෙරෙහි ආදරය දැක්වීමට යොමු කළ යුතුයි. 

මෙවර ළමා දිනය දා, අපේ ජනපතිතුමන් අතින් පුස්තකාල බවට පෙරළුෑ බස්රථ 5ක් දරුවන්ට පිරි නැමුණා.

ළමයින්ට ආදරය, සෙනෙහස දක්වන්නට වැඩිහිටියන් පෙලඹවීම ටිකක් අසීරු කරුණක්. ඒ වගේම වැඩිහිටියන්ගේ සැබෑ ආදරය හා බොරු ආදරය තේරුම් ගැනීමත් ළමයින්ට අසීරු දෙයක්. එයට එකම විසඳුම, පවුලේ ආදරය, මාපියන්ගේ හා සොයුරු සොයුරියන්ගේ ආදරය, දරුවන්ට නිසි වෙලාවට ලබා දීමට සැලැස්වීමයි. ඒ සඳහා අදාළ වැඩිහිටියන් දැනුවත් කිරීමට පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. එවිටයි, ළමයින් ගොදුරු ගැනීමට ‘බොරු ආදරය’ පාමින් එන ‘දුෂ්ට වැඩිහිටියන්’ගෙන් ළමුන් බේරා ගැනීමට හැකි වන්නේ. 

මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් මහනුවර පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රියන්ත ජයකොඩි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කීවේ ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට ම වරක් ළමයෙකු බරපතල ලෙස අපයෝජනයට ලක්වන බවයි. එයින් කරුණු දෙකක් ඔප්පු වෙනවා. එකක්, වැඩිහිටියන්ගෙන් ළමා වියේ දී ඔවුන්ට සැබැවින් ම ලැබිය යුතු නිසි ආදරය, නොලැබෙන ළමුන් දෙළොස් දෙනෙකු සෑම දිනකට වරක් හමුවන බවයි. ඔවුන් පැය දෙකකට වරක් ඔවුන්ගේ සමීපතමයන්ගෙන් නොලැබෙන ආදරය සොයා ‘දුෂ්ට වැඩිහිටියකුට’ ළං වෙනවා. මුළාවීම නිසා ඇති වන මේ තත්වය වගේ ම දරුණුයි, මව හෝ පියා අහිමි වීම, නොඑසේ නම් එකිනෙකාගෙන් වෙන්වීම හෝ මව විදේශ ගතවීම නිසා ළමුන් අසරණ භාවයට පත් වීම. බොහෝ විට එවැනි අවස්ථාවල දී අසරණ වයස්ගත ආච්චිලාට මුනුපුරු මිනිපිරියන් ඇති දැඩි කිරීමට සිදු වෙනවා. 

මෙවර ජාතික ළමා දිනයේ දී උපන් දිනය සමරන සත් හැවිරිදි පුංචි දැරියක් අපේ අවධානයට ලක් වුණා. ඒ තමා අව්කන, හස්තිපුර චතුරිකා ‍දිනේෂි දැරියයි. ඇයට තව කුඩා මල්ලී කෙනෙක් ඉන්නවා. මල්ලි ඉපදුනාට පස්සේ අම්මත් මියගියා. තාත්තා මානසික රෝගියෙක්. ඉතින් දැරිය බලා කියා ගැනීම පැවරුණේ ආච්චිටයි. ඇගේ ආච්චි වූ ආර්. ජී. ස්වර්ණලතාට ස්ථිර රැකියාවක් නැහැ. ඇය රැකියාවකට කරන්නේ පිරවුම් හල්වල සේවකයන්ට අත පිහින්න රෙදි කැබලි විකුණන එකයි. මිනිපිරියට අවුරුදු හතක් පිරුණත් තවම උප්පැන්න සහතිකයක් නැහැ. ඉපදුන වෙලාවෙ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දුන් තාවකාලික උපත් සහතිකයෙන් තමයි, ආච්චි සිය මිනිපිරියව පාසලට ඇතුළත් කළේ. ඇයට එක පාසල් නිල ඇඳුමයි තියෙන්නේ. ඔවුන් ජීවත් වන්නේ අසල්වාසීන් තනා දුන් පැලකයි. මේ වැනි දූලා ආච්චිලා අපේ රටේ කොතෙකුත් ඉන්නවා. 

අව්කන, හස්තිපුර චතුරිකා ‍දිනේෂි දැරිය හා ඇගේ ආච්චි ආර්. ජී. ස්වර්ණලතා

ලෝක වැඩිහිටි දිනය හා ලෝක ළමා දිනය එක විට පැවැත්වීමෙන් අපට ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ ප්‍රශ්න ගැන එක විට අවධානය යොමු කරන්නට හැකි වෙනවා. මෙවර වැඩ සටහන් බොහොමයක් මේ කරුණු මුල් කර ගෙන පැවැත් වූ බව පෙනෙනවා. මෙවර ලෝක ළමා දිනයේ දී ළමයින් වෙනුවෙන් සැලසූ සේවාවන් අතරින් මගේ සිත් වඩාත් ඇද ගත්තේ අපේ ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව පුස්තකාල නොමැති පාසල්වලට පුස්තකාල පරිත්‍යාග කිරීමයි. ඒ පුස්තකාල තනා තිබුණේ වැඩකට ගත නොහැකි යැයි ඉවත ලූ ලංගම බස්රථ වලයි. ඒවා අලුත් වැඩියා කර පුස්තකාල බවට පෙරළා තිබුණා. ආරම්භයට මෙවැනි පුස්තකාල 25ක් ඉදිකෙරෙන අතර ඉන් 5ක් ජාතික ළමා දින උත්සවයේ දී ජනාධිපතිතුමන් අතරින් දිවයිනේ පාසල් 5කට පිරිනැමුණා. 

ළමා දිනය හා වැඩිහිටි දිනය ගැන කතා කළ නිසා, ඔබ නව යොවුන් වියේ පසුවන්නෙකු නම්, දැන් ඔබ මගෙන් අහන්න බැරි නෑ, ‘නව යොවුන් අපට අන්තර්ජාතික දිනයක් නැද්ද?’ කියා. තියෙනවා. ඒ මාර්තු 21 වැනිදා. ඉංග්‍රීසියෙන් teenager යන්න සිංහලෙන් අපි හඳුන්වන්නේ ‘නව යෞවනයා’ කියායි. ඒ වෙනුවට අපට ‘භද්‍ර යෞවනයා, ගැටවරයා, දසක වයස්කයා, දශකස්ථයා, දසකීයයා ආදී වශයෙන් කියන්න පුලුවන්. මේ වයස් කාණ්ඩයට අයත් වන්නේ පොදුවේ අප ‘ළමා විය’ වශයෙන් හඳුන්වන කාලය තුළ ජීවත්වන අවුරුදු 13ත් 19ත් අතර දරුවන්. ඒ අය වෙනුවෙන් තමයි, අන්තර්ජාතික නව යොවුන් දිනය නම් කර තියෙන්නේ. 

 - පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments