මේ හෙළිදරව්වෙහි ඇති විශේෂ වැදගත්කම වන්නේ මේ ජලය ඇත්තේ ගැඹුරෙහි සැඟවී නොව ඊට හිරු එළිය වැටෙන මතුපිට පහසුවෙන් ලබා ගත හැකි ආකාරයට වීමයි.
මේ ගවේෂණය සිදු කළේ අඩි 41,000ක් සොෆියා නම් වූ විශේෂ අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයක සිටයි. එය බෝයිං747 ජෙට් යානයක් වෙනස් කර තනා ගත් එකක්. මේ නිරීක්ෂණ යානයට ‘සොෆියා’(Sofia) කියා නම් කර ඇත්තේ එහි දිග නම වූ අධෝරක්ත කිරණ භාවිත තාරකා විද්‍යාත්මක ස්තරගෝලීය නිරීක්ෂණාගාරය යන අරුත් දෙන Stratospheric Observatory for Infrared Astronomy යන ඉංග්‍රීසි වදන්වල මුල’කුරු වලින් තනා ගත් නමකිනුයි. මේ යානය තුළ සවි කර තියෙනවා, මුලුමනින් ම ජලයට පමණක් ආවේණික වූ ජලය තුළ ඇති අණුවල මූලික කම්පනයන් හඳුනා ගත මයික්‍රො මීටර හයක සංවේදකයක්. එය මේ කාර්යය සඳහා විශේෂයෙන් ම තනන ලද්දක්.
එයට පැවරුණු රාජකාරිය වූයේ 2009 දී හඳ මතුපිට හයිඩ්‍රජන් හා ඔක්සිජන් සංයෝග ඇතැයි කෙරුණු නිරීක්ෂණයක කරුණු විමසා බැලීමයි. වසර දහක් පැරණි ඒ නිරීක්ෂණයේ ස්වභාවය අනුව ඒ ඇත්තේ ජලය (H2O) ද එහෙමත් නැත්නම් හයිඩ්‍රොක්සිල් (OH) සංයෝගයක් ද කියා නිශ්චිතව කියන්නට ඒ තාරකා විද්‍යාඥයන්ට අවස්ථාවේ හැකියාවක් තිබුණේ නැහැ,
මෙම නව පර්යේෂණයට සම්බන්ධ නොවූ වෙස්ටර්න් සිඩ්නි විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ ආචාර්ය නික් හිල් ඒ ගැන පැවසුවේ මෙවන් අදහසක්. ‘ජලය අයිස් වශයෙන් ඇතැයි කිව හැකි සලකුණුවලින් කලින් සොයාගත් දෙයින් අපට කිව හැකි වූයේ ඔක්සිජන් හා හයිඩ්‍රජන් අණු එකට එක්ව සෑදුණු සංයෝග ඇති බව පමණයි.’ කියන ඔහු, ‘පෘථිවියේ දී නම් ඒ සංයෝගය ප්‍රධාන වශයෙන් ජලයයි. ඒත් සඳ මත දී එය එසේම විය හැකියයි අපට සහතික කියන්න බැහැ.’යැයි තවදුරටත් කියනවා.
මෙහිදී කලින් පැවති ගැටලුව වූයේ ඒ සඳහා භාවිත කළ උපකරණවලින් යැවූ මයික්‍රො මීටර තුනේ තරංග ආයාමය මගින් හයිඩ්‍රොක්සිල් ඛනිජ හා ජලය වෙන් කර හඳුනා ගැනීමට නොහැකි වීමයි. එය මේ සොෆියා යානයෙහි ඇති මයික්‍රොමිටර හයේ සංවේදක උපකරණ මගින් මේ ගැටලුව විසඳාගෙන තිබෙනවා. එයට ජලය පැහැදිලි ව හඳුනා ගත හැකිවී තියෙනවා.
‘මේ සොෆියා යානය මගින් කළ අධ්‍යයනයෙන් සොයා ගත හැකිවුණා, සඳෙහි දකුණු අර්ධගෝලයේ පිහිටි, පෘථිවියට පෙනෙන තරම් විශාල ආවාටයක් වූ කැල්වියස් ආවාටයෙහි තැන්පත්ව ජලය ඇති බව. මේ සොයා ගැනීම අනුව සඳ මත හිරු එළිය පතිත වන හරියෙහි ජලය ඇති බව නිසැකයි.’ මේ නව පර්යේෂණ අධ්‍යයනයට නායකත්වය දෙන හවායි විශ්ව විද්‍යාලයේ ආචාර්ය කේසී හොනිබෝල් පවසනවා.
‘අපට දැන් තහවුරු වී තියෙනවා, අපට හුරුපුරුදු ජලය (H2O) එහි ඇති බව. අපට පෙනෙන මතුපිට ආලෝකමත් ප්‍රදේශයේ ජලය තියෙනවා.’ යයි පෝල් හර්ට්ස් කියනවා. ඔහු වොෂින්ටනයේ නාසා මූලස්ථානයේ පිහිටි විද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයෙහි තාරකා භෞතික විද්‍යා අංශයේ අධ්‍යක්ෂවරයායි.
‘දැන් අප දන්නවා වතුර එහි තියෙන බව. මේ සොයා ගැනීම නිසා සඳ පෘෂ්ඨය පිළිබඳ අපේ දැනුම තවත් පුළුල් වෙනවා. ඒ සමග ම සඳෙහි ගර්භයෙහි තැන්පත්ව ඇති සම්පත් ගැනත් අලුතින් හිතන්නට අපට අවස්ථාව සැලසෙනවා.’යයි ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥයකු ආචාර්ය තේමිය නානායක්කාර පවසනවා.
නාසා ආයතනය කියන විදියට පර්යේෂකයන් සිය වාර්තාවෙහි දක්වා ඇත්තේ කියුබික් මීටරයක් තුළ මිලි ලීටර් 360ක පමණ ප්‍රමාණයක් එහි දකුණු අර්ධගෝලයේ ඇති බවයි. ‘සහරා කාන්තාරයටත් වඩා සිය ගුණයකවියළි තත්වයක්’ නාසා ප්‍රකාශකයෙක් කියනවා. ‘අපට හඳ මතුපිට දිය ඇල්ලක් හෝ විලක් හෝ දක්නට ලැබෙන්නේ නැහැ. එහි ඇති ජල සාන්ද්‍රතාව ඉතාමත් තුනී එකක්. එයත් ධ්‍රැවවලට සීමා වෙලයි තියෙන්නෙ. එහි මතුපිට වීදුරුවලින් හො පාෂාණවලින් ආවරණය වෙලයි තියෙන්නෙ.’ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ආචාර්ය බෙන් මෙන්ටෙට් ඒ ගැන සඳහන් කරනවා.
- පර්සි ජයමාන්න
0 Comments