HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කි.මි. 33 කෝටි තිස් ලක්ෂයක් ගෙවා ඔසිරිස් රෙක්ස් බෙනූට දෙන හාද්ද!

ඇමරිකාවේ නාසා ආයතනය 2016 දී යැවූ ඔසිරිස් රෙක්ස් නම් අභ්‍යවකාශ යානයක් පෘථිවියේ සිට කිලෝමීටර 333, 080,883ක් දුරින් පිහිටි බෙනූ (Bennu) නම් ග්‍රහකය වෙත යැව්වා, වසර දෙකක් තිස්සේ ග්‍රහකය ‍බලා ගිය බෙනූට ඊළඟට කරන්න තිබුණේ වසර දෙකක් තිස්සේ ඒ දෙස එබිකම් කරමින් සිටින්නයි. වසර දෙකක් විපරම් ඉඳලා, ඔක්. 20 වැනිදා තමයි, ඔසිරිස් රෙක්ස්ට ඒ ග්‍රහකයට සමීප වී හාද්දක් දෙන්න අවසර ලැබිලා තියෙන්නේ. ඒ අනුව ඔසිරිස් ඒ හාද්ද දී එකෙනෙහිම ආපසු හැරී පොළොව බලා ඒමට නියමිතයි.  

ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශ යානය බෙනූ ග්‍රහකය වෙත 
පහත් වන අයුරු නාසා ආයතනයෙන් නිකුත් කළ අලුත් ම ඡායාරූපයක්.

නාසා ආයතනය යැවූ ඔසිරිස් ‍රෙක්ස් අභ්‍යවකාශ යානය 20 වැනි අඟහරුවාදා බෙනූ ග්‍රහකය මතට ගොඩ බැසීමට නියමිතයි. ගොඩ බැසීමක් කීවාට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහිදී සිදු වන්නේ TAG හෙවත් Touch and Go නම් ‘ස්පර්ශ කර යාමක්’. එනම්,  බිමට සමීප වී ස්වයංක්‍රීය අතක් දිගු කර එහි පස්, පාෂාණ හා දූවිලි සාම්පල එක් රැස් කරගෙන ආපසු පෘථිවිය බලා එනවා ඇති. මෙය නාසා ආයතනය මුල්වරට තබන ඉතා වැදගත් පියවරක්. ඒ වගේ ම සෞරග්‍රහ මණ්ඩලය ගැන මෙතෙක් නොදත් රහස් හෙළි කර ගැනීමට මග පාදන අභ්‍යවකාශ විද්‍යාව අතින් කරන ජයග්‍රාහී කටයුත්තක්. 

ඔසිරිස් ‍රෙක්ස් සංකල්පය ආරම්භ වුණේ 2004දි. තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් අධ්‍යයන පත්‍රිකා හයක් ඉදිරිපත් කරමින් ග්‍රහකයක් පිළිබඳ යෝජනාවක් නාසා ආයතනයට ඉදිරිපත් කළා. ඒ අනුව වසර දහයකටත් වැඩි කාලයක් තිස්සේ කටයුතු සම්පාදනය කොට 2016 සැප්තැම්බර් 8 වැනිදා තමයි, ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් අභ්‍යවකාශ යානයක් ඒ බෙනූ ග්‍රහකය බලා යැව්වේ. ඒ ග්‍රහකය විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘ග්‍රහක අංක 101955 බෙනූ’ කියායි. ඇට්ලස් පහ රොකටයකින් තමයි, ඒ යානය යවනු ලැබුවේ. ඒක, ලොක්හීඩ් මාටින් හා බොයිං සමාගාම දෙක එක්ව පිහිටවූ යුනයිටඩ් ලෝන්ච් එලයන්ස් ආයතනයේ හවුල් ව්‍යාපෘතියක්. 

මාස 26ක් තිස්සේ ඒ යානය බෙනූ ග්‍රහකය බලා ගියා. එය එහි කක්ෂ ගත වූ 2018 දෙසැම්බර් 3 වැනි දායි. එය වසර දෙකක් තිස්සේ ඒ ග්‍රහකය වටා යමින් ඉහළ සිට එහි බිම සිතියම් ගත කළා. ඒ වගේ ම මතුපිට අ‍ාවේක්ෂණය කළා. එහි පස් හා පාෂාණ සාම්පල රැස් කර ගන්නට සුදුසු තැන් තීරණය කිරීමත් දැන් සිදුකර අවසන්. දැන් ඊළඟ පියවර වන්නේ ඒ මතට සීරුවෙන් ගොඩ බැස පස් හා පාෂාණ එක්රැස් ගැනීමයි. ඒ සඳහා පෙර පුහුණු පවා කර අවසන්. 

ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශ යානය

පස් සාම්පල ගෙන ඒමට ඒ යානය බෙනූ වෙත ගොඩ බසින්නේ ඔක්තෝබර් 20 වැනිදා 3.12 p.m. PT ටයි. එදා හඳ ගමන පෘථිවියේ සිටින අයට සජීවීව දැක හැකි වූයේ රූපවාහිනියෙන්. ශ්‍රී ලංකාවේ අපට හැකි වූයේ ගුවන් විදුලියෙන් අසා ගන්නට විතරයි. එහෙත් අද අන්තර්ජාලයෙන් ලෝකයේ ඕනෑම කෙනෙකුට සජීවීව දැක ගන්න පුලුවන්. 

ඇයි මේ සඳහා බෙනූ ග්‍රහකය තෝරා ගත්තේ? පෘථිවියට ආසන්නව ඇති මේ ග්‍රහකය සෑදී ඇත්තේ වසර බිලියන 4.5කට පෙර සෞරග්‍රහ මණ්ඩලය සෑදුණු අවස්ථාවේ සිදු වූ සංඝටනාවෙන් නිකුත් වූ කොස්මික් ධූලි අංශු දීර්ඝ කාලයක් හෙමින් සංකෝචන වීමේ ප්‍රතිඵලයක් වශයෙනැයි සැලකෙන නිසයි. මේ බෙනු මතුපිට කාබනික සංයෝග විශාල වශයෙන් ඇති බව නාසා ගොඩාඩ් ආයතනයේ ඇමී සයිමන් විසින් ඉදිරිපත් කෙරුණු අධ්‍යයන පත්‍රිකාවෙන් හෙළිවුණා. ‍එහි ජලය පැවති බවට සලකුණු විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. එහි ඇති සමහර කාබනේට් වර්ග ජලය සමග ප්‍රතික්‍රියාවෙන් සෑදුණු ඒවා විය හැකියැයි විද්‍යාඥයන් නිගමනය කරලා තියෙනවා. අපේ පෘථිවියේ ජීවය හැදුණු හැටි, අපට එහි සංයුතියෙන් හෙළි කර ගත හැකියි. 

බෙනූ ග්‍රහකය

ඔසිරිස් රෙක්ස් මේ ගමනේ දී එහි මතුපිට පස් හා පාෂාණ ග්‍රෑම් 60ත් 2000ක් අතර ප්‍රමාණයක් ඒ ග්‍රහක යානයේ ඇති විශේෂ ස්වයංක්‍රීය අතක් මගින් එකතු කර ගනු ලබනවා. ඒ වෙනම කැප්සියුලයක දමා ගෙනෙන අතර තවත් වසර දෙකක ගමනකින් පසු එය පෘථිවියට එවනු ඇති. ජපානයත් මීට කලින් ග්‍රහකයකට අභ්‍යවකාශයක් යවා පස් සාම්පල ගෙන්වා ගත්තා. ඒත් මේ ගවේෂණය විද්‍යාව අතින් කෙරෙන සුවිශේෂ එකක්. මෙයින් අපට හෙළිදරවු කර ගත හැකිවේවි, එහෙම වුණොත් එය මේ සියවසේ මිනිසා ලබන ලොකුම විද්‍යාත්මක ජයග්‍රහණය වේවි. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments