HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකාවෙන් ගොස් නවසීලන්තයට තේරී පත් ප්‍රථම මන්ත්‍රීවරියට සුබ පැතුම්!

ශ්‍රී ලංකාවේ ඉපිද, නවසීලන්තයේ මැතිසබයට පත් වූ ප්‍රථම කාන්තාව බවට පත් වූ වානුෂී වෝල්ටර්ස්ට ලංකාවාසීන් වූ අපෙන් සුබ පැතුම්! නවසීලන්තය කාන්තා දේශපාලනය අතින් කීර්තියක් උසුලන රාජ්‍යයක්. ලෝකයේ කාන්තාවන්‍ අතරින් මුලින්ම ඡන්ද බලය හිමි වුණේ නවසීලන්ත කාන්තාවන්ටයි. ඒ නිසා ‍ම එරට කාන්තාවන් දේශපාලනයට වැඩි නැඹුරුවක් දක්වනවා. ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කළ ශ්‍රී ලංකාවේ අප, අපේ රටේ ඉපිද නවසීලන්තයේ මැතිසබයට තේරී පත්වීම ගැන වානුෂී ගැන ආඩම්බර වෙනවා. 

ලංකාවේ ඉපිද, නවසීලන්තයේ මැතිසබයට ගිය වානුෂී වෝල්ටර්ස් මන්ත්‍රීවරිය 

සමානුපාත ඡන්ද ක්‍රමයෙන් පසු මේ වතාවේ නවසීලන්තයේ මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට වැඩි බලයක් තනිවම ලබා ගන්නට කම්කරු පක්ෂයට හැකි වූයේ ජසින්තා ආර්ඩ්න් අගමැතිනියගේ කෘතහස්ත රාජ්‍ය පාලනය හේතුවෙනි. පසුගියදා ලෝක කෝවිඩ් වසංගතයට මුහුණදීමේදී ඇය දැක්වූ ප්‍රශස්ත භාවය නිසා ඇය මෙවර 2020 නොබෙල් සාම ත්‍යාගයටත් නම කර තිබුණා. 

ජසින්තා අර්ඩ්න් අගමැතිනිය සමග ඇගේ පක්ෂයෙන් නවසීලන්ත පාර්ලිමේන්තුවට පළමුවරට තේරී පත් වූ 39 හැවිරිදි වානුෂී වෝල්ටර්ස් දරුවන් තිදෙනෙකුගේ මවක්. ඇය ජය ගත්තේ වයඹදිග ඔක්ලන්ඩ්හී අපර් හාබර් ආසනයයි. ඇය පරාජය කළ ජාතික පක්ෂයේ අපේක්ෂක ජේක් බෙසන්ට් එරට ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම, තාක්ෂණික සමාගමක හිටපු ප්‍රධාන විධායකවරයෙක්. 

ශ්‍රී ලංකාවේ උපන් වානුෂී ඇගේ දෙමාපියන් සමග නවසීලන්තයේ පදිංචියට ගියේ පස් හැවිරිදි වියේ දීයි. ඇගේ පියා, ශ්‍රී ලංකාවේ මානවහිමිකම් ක්‍රියාධරයකු, රංගධරයකු, පුවත්කලාවේදියකු හා මානව හිතවාදියකු වූ දිවංගත රිචඩ් ද සොයිසාගේ ඥාති සහෝදරයෙකි. ඇය අධ්‍යාපනය ලැබුවේ නවසීලන්තයේදියි. පසුව එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ පදිංචියට ගිය ඈ පසු කලෙක යළිත් නවසීලන්තයට ආවාය. 

තමන්ගේ දේශපාලනයට පිවිසීම ගැන ඇය දක්වා ඇත්තේ මෙහෙම අදහසක්. ‘මා අසා තිබුණා, මගේ පියාගේ ඥාති සහෝදරයකු වූ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පත්‍රකලාවේදියකු, 1990 දී එවකට පැවති එරට රජය විවේචනය කිරීම හේතුවෙන් ඝාතනයට ලක් වූ බව. ඒ හේතුව නිසා මා පෙලඹුණා, ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට (Amnesty International) සම්බන්ධව ‍ස්වේච්ඡා ක්‍රියාකාරිණියක් ලෙස වැඩ කරන්නට. එයින් මා ලත් අත්දැකීම් නිසා මගේ සිත ඇදීගියා, සමාජ හා දේශපාලන කටයුතුවලට වගේ ම පරිපාලන ප්‍රතිපත්ති, තීන්දු තීරණ ගැනීම ආදියට. ඒ එක්කම, නවසීලන්තයේ ක්ෂමා මණ්ඩලයට මාව තෝරා ගනු ලැබුවා. මා ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ පාලක මණ්ඩලයේත් වසර හයක් සේවය කළා. එහි සිදු වූ බොහෝ වෙනස්කම්වලටත් අන්තර්ජාතික කටයුතුවලටත් දායක වීමට මට හැකිවුණා.’ ඇය කියනවා. මන්ත්‍රී පදවියට පත්වීමට පෙර ඇය මානවහිමිකම් නීතීඥවරියක ලෙසත් මානවහිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ කළමානාකාරිනියක ලෙසත් කටයුතු කර තියෙනවා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments