HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අන්ධ අය සඳහා වෙන් වූ සුදු සැරයටි දිනය අදයි.


සුදු සැරයටි දිනය හඳුන්වා දී මේ 2020 ඔක්තෝබර් 15 වැනිදාට වසර 99ක් වෙනවා. සුදු සැරයටිය දෘශ්‍යාබාධිත පුද්ගලයන් සංකේතවත් කරන්නක්. ලොව පුරා දෘශ්‍යාබාධිත පුද්ගලයන් මෙම සුදු සැරයටිය භාවිත කරනවා. අන්ධ පුද්ගලයන් ගැන සිහිපත් කරන හැම විට ම මගේ ඇස පෑදූ අන්ධයකු පිළිබඳ පැරණි උපමා කතාවක් මගේ මතකයට නැ‍‍ඟ‍ෙනවා. 

ඒ මීට වසර හැත්තෑවකට පෙර මා බාල වියේ දී කියැවූ පාඩම් පොතක තිබූ අපූරු කතාවක්. පොතේ නම මට හරියට මතක නැතත් කතාව නම් අකුරක් නෑර මට මතකයි. ඒ කතාවේ හැටියට එක්තරා අන්ධ තැනැත්තෙක් ලොකු හැළියක් කර තබාගෙන විශාල හුළු එළියක් අරන් වීථියක් දිගේ ගියා. වීථියේ රැස්ව උන් මිනිස්සු අන්ධයාට හිනා වුණා. 

‘ඇස් පෙන්නෙ නැති ඔහේට මොකටද හුළු එළියක්? ඒ එළියෙන් අලුතෙන් ඇස් පෙනීමක් ඔහෙට ලැබෙනවද?’ වීථියේ මිනිස්සු එ පවසමින් තවදුරටත් හිනා වුණා. 

හෙලන් කෙලර් දෑස නොපෙනුනත් සමාජයේ ඉහළට ම ගියා.

අන්ධයා ඒ මිනිස්සුන්ට පෙරළා හිනා වුණා. ‘අනේ මෝඩ මිනිස්සුනේ, මට අඳුරේ යන්න හුළු එළියක් ඕනෑ නෑ. ඒත් ‍මේ හුළු එළිය මට නොව නුඹලාටයි. නුඹලාට මාව පේන්නයි. මේ එළිය නුඹලාගෙන් මගේ මේ හැළිය බේරා ගන්නටයි’ ඔහු වීථියේ මිනිසුන්ට සිනාසෙමින් කීවා. 

ඒ පැරණි උපමා කතාවෙන් සැබෑ අන්ධයන් කවුරුන්දැයි හෙළිදරවු වුණා. අන්ධ තැනැත්තා සැබැවින් ම නුවණැස පෑදුණු අයෙකු බවත්, ඇස් පේන විථියේ මිනිසුන් ඔහුගේ නුවණ නොපෙනුණු අන්ධයන් බවත් හෙළිවුණා. මිනිසුන්ගේ නැණැස පාදන මේ වගේ උපමා කොතෙකුත් අප අසා තියෙනවා. 

ඇස් පෙනීමේ වැදගත්කම කොයි තරම්ද යන්න මට පොතින්පතින් හා අන් අයගේ අත්දැකීම්වලින් දැන ගත්තත් පසුගිය මාස හතරක් තිස්සේ ඒ අත්දැකීම මටත් අත්විඳින්නට සිදු වුණා. එක් ඇසක් සම්පූර්ණයෙන් ම අන්ධ වීම නිසා මට ඇස් පෙනීමේ වැදගත් කම හොඳින් ම පැහැදිලි වුණා. එක ඇසකින් පමණක් වැඩ කිරීම මට ටිකක් නෙමෙයි හුඟක් අසීරුවුණා. පසුගියදා අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මැතිනිය මට වසර ගාණකට උඩදි අප ලේක්හවුස් ආයතනයේ වැඩ කරන කාලෙ කී කතාවක් මට මතක් වුණා. ඇය වැඩ කරන ආකාරය හා ඇගේ මිනිස් ජීවිතයේ සියුම් තැන් දකින තියුණු ඇස ගැන ප්‍රශංසා කළ විට එතුමිය මට කීවේ ‘මං ඒ හැම එකක් ම කළේ එක ඇසකින්. මගේ එක ඇසක් කුඩා කලෙ ඉඳලම පෙනුනෙ නෑ. ඒ බවත් මං දැන ගත්තේ කාලකෙට පස්සෙ.’ කියමින් මං මවිතයට පත් කරමින්. මමත් ඇය නිසා ලත් ධෛර්යයෙන් යුතුව තනි ඇසට හුරු වුණා. 

දෑස නොපෙනුනත් දෑස නොපෙනුන සැමගේ ඇස් පෑදූ ලුවි බ්රේල්

ඇස් නෙ‍ාපෙනෙන අයට ධෛර්යයක් විය හැකි සුප්‍රකට පුද්ගලයන් රැසක් ලොව පුරා ඉන්නවා. එයින් මුලට ම එන්නේ ලුවිස් බ්රේල් නම් ප්‍රංශ ජාතික අධ්‍යාපනඥයායි. කුඩා කාලේ සිදු වූ හදිසි අනතුරකින් දෑසම අන්ධ වූ ඔහු තමා අන්ධ අයට කියවීමට ලිවීමට හැකියාව ලබා දුන් බ්රෙල් ක්‍රමය ලොවට දුන්නේ. ඔහු ප්‍රංශයේ අන්ධ තරුණයන් සඳහා වූ රාජකීය අධ්‍යාපනායතනයේ ශිෂ්‍යත්වයක් ලැබී ඉගෙන ගනිද්දී තමයි, බ්රේල් ක්‍රමය සැකසීම ආරම්භ කළේ. ඔහු විසින් මීට අවුරුදු 200කට පෙර ලොවට හඳුන්වා දුන් බ්රේල් ක්‍රමය කිසිදු වෙනසක් නොකර අදත් ඒ අයුරින් ම ලොවපුරා ඉතා සාර්ථකව භාවිත කෙරෙනවා. 

ඇමෙරිකාවේ කලා උපාධියක් ලත් ප්‍රථම අන්ධ කාන්තාව වූ හෙලන් කෙලර් ‍සමස්ත ලෝක කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කළ සමාජ සේවිකාවක්, අධ්‍යාපනඥවරියක්, දේශපාලන ක්‍රියාධරණියක් පමණක් නොව ප්‍රකට ලේඛිකාවක්. ඇය විසින් බිහි කරන ලද හෙලන් ‍ කෙලර් පදනම ලොවපුරා අන්ධ පුද්ගලයන්ට හැම අතකින් ම විශාල මෙහෙයක් සලසනවා. 

ඇමරිකන් ගායකයන් අතර ඉහළම තැනකට පත් වූ ස්ටීව් වොන්ඩර් ඉපදුනු පසුවයි ඔහු අන්ධ අයකු බව හෙළිවුණේ. ඔහු විස්මිත දරුවකු ලෙසයි සලකනු ලැබුවේ. වසර 13 දී තමයි ඔහුගේ මුල්ම ගීය ජනප්‍රිය වුණේ. ඒ වගේ ම රේ චාල්ස්, ඇන්ඩ්‍රියා බොසෙලි, ජෝස් ෆෙලිසියානෝ වගේ අයත් අන්ධ ගායක ගායිකාවන්. 

1921 ඉංග්‍රීසි ජාතික ඡායාරූප ශිල්පියකු වූ ජේම්ස් බිග්ස් හදිසි අනතුරකින් දෑස් නොපෙනී ගිය පසු ඔහු තමන් ගමන් ආධාරකයක් ලෙස භාවිත කළ සැරයටිය කාටත් හඳුනා ගැනීමට පහසු වනු පිණිස සුදු පැහැයෙන් පින්තාරු කර පාවිච්චි කළා. එදා තමයි සුදු සැරයටියේ මුලින් ම ආරම්භය ඇති වුණේ. 1931 දී ප්‍රංශය ජාතික සුදු සැරයටි දිනයක් ප්‍රකාශයට පත් කළා. ඒ සමගම ඇමරිකාවත් ජාතික සුදු සැරයටි දිනය පැවැත්වුවා. දෘශ්‍ය ආබාධිත අයගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස 1930 දී ඇමරිකාව සුදු සැරයටි දිනය හඳුන්වා දුන්නා. ඒ සඳහා සම්මත සැරයටියක් හඳුන්වා දුන්නේ පෙන්සිල්වේනියාවේ රෝහලක වෛද්‍යවරයකු වූ රිචඩ් හූවර් නිසා එරට ජනතාව ඒ සැරයටිය ‘හූවර් යෂ්ටිය’ කියාද හඳුන්වනවා. 

මේ හුරුබුහුටි උපකරණය දෘශ්‍යාබාධ ඇති අයට නිදහසේ ගමන්බිමන් යාමට මග පෑදුවා විතරක් නොවෙයි, ඔවුන් කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු කරවීමටත් හේතු වුණා. 

 - පර්සි ජයමාන්න.

Post a Comment

0 Comments